අත්හැරීමෙන් පරිපූර්ණත්වය වෙත

බුදු දහම මූලික ආගමික සම්ප්‍රදායන් තුළ විමුක්තිය ලබා ගැනීම වෙනුවෙන් පවතින මූලික විධික්‍රමය වන්නේ අතහැරීමයි. එහෙත් ක්‍රිස්තියානි වැනි ආගමික සම්ප්‍රදායන් විමුක්තිය ලබා ගන්නේ දෙවියන් වහන්සේ වෙතින් පරිපූර්ණත්වයට පත්වීමෙන්ය. මෙම සම්ප්‍රදායන් දෙක ශුන්‍යත්වය හා පරිපූර්ණත්වය දෙපසකට ගමන් කළද අවසාන අර්ථයෙන් අරමුණ වන්නේ විමුක්තිය ලගා කරගැනීමයි. මේ අදහස කලා කෘතියක් නිර්මාණය කිරීම සමග සන්සන්ඳය කිරීමට සිත් වූයේ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ ‘වෙඩි නොවදින ළමයි‘ චිත්‍රපටිය නැරඹීමෙන් පසුවයි.

මෙහිදී උත්සාහ කරන්නේ මෙම චිත්‍රපටිය සම්බන්ධයෙන් දෘෂ්ටිවාදාත්මක හෝ සිනමාව තුළින් විචාරයක් සිදු කිරීමට නොවේ. මන්ද මෙම චිත්‍රපටියේ සහය අධ්‍යක්ෂවරයෙක් ලෙස මා කටයුතු කළ නිසා එය එතරම් ආචාර ධාර්මික නොවන්නට ඉඩ තිබේ. එහෙත් මෙම චිත්‍රපටිය ලද අත්දැකීම් කවුරුන් හෝ සටහන් කර තබන්නේ නම් එය අනාගතයේ සිනමාව වෙතට පිවෙසන අයට මෙන්ම සිනමාව පිළිබඳ උනන්දුවක් දක්වන අයට බෙහෙවින් වැදගත් වනු ඇත.

චිත්‍රපටියේ රූගත කිරීම් සිදු වුණේ මීට වසර පහකට පමණ පෙරය. කොළඹ දර්ශන කිහිපයක් සහ අනෙකුත් දර්ශන අනුරාධපුරයේ රූගත කෙරුණි. මෙහි විශේෂත්වය සහ අභියෝගය වූයේ රූගත කිරීම් රාත්‍රී 6 සිට උදෑසන 6 දක්වා වැඩි ප්‍රමාණයක් බස් රථයක් තුළ සැලසුම් කර තීබීමයි. මෙය දින 48ක් සිදු වූ අතර දින 37ක් නොකඩවා රූගත කිරීම් පැවතුණි.

කලා නිර්මාණයක් සිදු කිරීමේදී බොහෝ ඉවත් කිරීම්, එකතු කිරීම් සිදු වේ. මෙය සංස්කරණය කියා නම් කළ හැකිය. මේ චිත්‍රපටයේද සංස්කරණ ශිල්පියක් සිටියි. අප අසා ඇති පරිදි ගීත රචකයන් තම ගීත රචනා කිරීමේදී බොහෝ කඩදාසි ප්‍රමාණයක් ඉවත දමයි, කුණු කූඩයට වීසි කරයි, ඔවුන් තෘප්තිමත් වන තුරු ලියයි. චිත්‍රපටි නිර්මාණයේදී මෙම සංස්කරණ කටයුත්ත නිසා බොහෝ රූගත කළ දර්ශන ඉවත් කිරීමට සිදු වේ. එහිදී විවිධ තත්ත්වයෙන් සලකා බැලෙන අතර එහි අරමුණ වන්නේ පරිසමාප්ත කෘතියක් නිර්මාණය කිරීමයි. යම් යම් ආයතනික අවශ්‍යතා මේ අතර තිබිය හැකි වුවත් මේ සියල්ලේ අරමුණ වන්නේ බොහෝ විට පරිපූර්ණ නිර්මාණයක් වෙත යාමයි. එම අර්ථයෙන් මෙහිදී සිදු වන්නේ යම් අත්හැරීමක් තුළින් පරිපූර්ණත්වයට පත් වීමයි. ‘වෙඩි නොවදින ළමයි‘ වැනි චිත්‍රපයට මෙය වඩා සංකීර්ණ වන්නේ මෙම අත්හැරීම මිල කිරීමක් මගින් තීරණය කරනවාට වඩා විශාල මිනිස් ශ්‍රමයක් ඒ පිටුපස තිබෙනා නිසාය. අධ්‍යක්ෂවරයා මෙම අත්හරින කොටස් වෙනුවෙන් කෙතරම් උනන්දුවකින් තම ආත්මීය මැදිහත්වීම ලබා දෙනවාද සහ එම මැදිහත්වීම යළි නිර්මාණය පෙළ ගැස්වීමේදී අත්හැරීමට තරම් එඩිතර වීමේ කලාව තුළම තිබෙනා නෛසර්ගික මානුෂීය වටිනාකමකි. එම නිසා කලාව යනු අත්හැරීම තුළින් පරිපූර්ණත්වය වෙත පිවිසිය හැකි මාර්ගය වන්නේ යැයි ඇතැමෙකු පැවසීම බොහෝ විට නිවැරදි වේ.

‘වෙඩි නොවදින ළමයි‘ චිත්‍රපටිය නරඹන්න. ඔබට ආරාධනා!

– රංග මනුප්‍රිය –
උපුටාගැනීම : ෆේස්බුක්

Social Sharing
අවකාශය නවතම