ආදර ප්‍රගීත්ට….! මීට සන්ධ්‍යා එක්නැළිගොඩ..!

මීට සන්ධ්‍යා එක්නැළිගොඩ,

ප්‍රගීත් අද රාජ අණ නොතකා ආදරවන්තයන් එකතු කර ඒ වෙනුවෙන් ජීවිතය පූජා කළ වැලන්ටයින් ශාන්තුවරයා සිහිපත් කරන දිනය හෙවත් ආදරවන්තයන් ගේ දිනය. ඉතින් මමත් හිතුව මේ සුවිශේෂී දිනයේ ඔයාට තෑග්ගක් දිය යුතුයි කියලා. පුරා අවුරුදු 13ක් ඔබ වෙනුවෙන් යුක්තිය සොයමින් යන මා අත්විඳි සියලුම දුක්ඛ දෝමනස්සයන් බෙදාගන්න හැක්කේ ඔබ සමගින්ම විතරමයි. මා මේ වියමන ඔයාට ගෙත්තම් කරන්න හිතුවෙත් ඒකයි. හැබැයි මට මෙය අදම අවසන් කිරීමට නොහැකි වේවි. ඒ බෙදා ගන්නට කරුණු කාරනා බොහො ඇති බැවිනි. ඒත් මම අද එයට මුල පුරන්නෙමි.

ඔයාට මතකද, ජීවිතේ ප්‍රථම වතාවට මම ඔයාට ලියුමක් ලිව්ව 2015 අගෝස්තු මාසේ 05 වෙනිදා. එදා මම ඔයාට ලිව්වා 2015/08/17 පත්වෙන පාර්ලිමේන්තුව ජාවාරම්කරුවන් නැති යහපත් පාර්ලිමේන්තුවක් පත් වුවහොත් අපට යුක්තිය ඉටුවේවි කියලා. ඒත් ඒ අයත් අපි හිතපු පතපු තරම් යහපත් පාලකයින් වුණේ නැහැ. ඔයාව පැහැරගෙන ගිය ආකාරය, පළමු වන පැහැරගෙන යාම හා දෙවන එක අතර සම්බන්ධය, හා එතෙක් නොදැන සිටි බොහෝ දේවල් දැනගන්න ලැබුණත්, බොහෝ බාධක මැද අපරාධකාරයන්ට විරුද්ධව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය අපරාධ නඩු ගොනුකර තිබුණත් අපට තාම යුක්තිය බොහෝ ඈතයි.

මේ කාලය තුළ මට දරුවන්ට, අහන්න, දකින්න ලැබුන අත්දැකීම කිසිඳු කෙනෙකුට හිමි නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒවා ඒ තරම්ම කෲරයි. ළඟදි දවසක් ෆේස්බුක් එකේ එක පුද්ගලයෙක් අහල තිබුන දැක්ක ඔයා නැති වුනා කියලා එක දවසක් දරුවන් බඩගින්නෙ හිටියද කියලා. පොලොවේ පය ගහල ඉන්න ගැහැණුන්ට දරුවන්ගෙ කුස පුරවන්න පුලුවන් වුනාට තාත්තෙක්ගෙන් ලබන දැනුම, ආකල්ප, පරිචය, සතුට දෙන්න පුලුවන්ද?

මේ පෙබරවාරි මාසෙ 19දා තමයි ඔබ වෙනුවෙන් යුක්තිය සොයාගෙන අධිකරණයට මුලින්ම ගියේ. මේ සම්බන්ධව තොරතුරු, හමුවූ මිනිසුන් ආයතන පිළිබඳව කොච්චරක් දේ තියෙනවද ප්‍රගීත්… මම හිතන්නෙ ඔයාට මතක ඇති සරත්ල එක්ක හිටපු උදය තෙන්නකෝන්, එයා කියනවා ‘කාලි’ සරණ යන්න එපා ‘බුදුන්’ සරණ යන්න කියලා. අනේ මන්ද ප්‍රගීත්..!

Social Sharing
නවතම විශේෂාංග