අවුරුදු දහස්ගනනක් පරණ කොන්දේසි නැති ආදරය…!

-කේ. සංජීව-

මේක ඇග හිරිවට්ටපු පින්තූරයක්. ඊයේ රෑ තුර්කියේ සහ සිරියාවේ භූ කම්පන තරංග විනාශය හරහා ඉන්ටර්නෙට්ටුවෙන් වේදනාත්මක සංචාරයක් කරන ඇසිල්ලක ඇස් උදුරාගෙන ලැප් තිරයේ අලෝපු පොටෝවක් මේක. පස්සේ හොයාබලනකොට මේක පරණ භූ කම්පන ව්‍යසනයකට අදාළ පොටෝවක්. ඒත් ආත්මය උරාගත්ත වේදනාව පහව ගියේ නෑ. ඒක නින්දත් නොනින්දත් අතර මාව එහෙට මෙහට තල්ලු කළා විතරක් නෙවෙයි අතීතයට මාව ගමනක් අරගෙන ගියා.

මේ පොටෝ එකේ දියවෙලා තියෙන්නේ භූ කම්පන තරංග සුනුකළ ගොඩනැගිල්ලකට යටවෙලා ඉන්න තමන්ගේ ස්වාමියා දිහා බලාගෙන වැළපෙන සුනඛ ප්‍රේමයක්. ඇත්තටම දියවෙලා විතරක් නෙවෙයි පොටෝවෙන් එළියට ගලාගෙන යන මූදක් වගේ ආදරයක් ඒක. ඉතිං හිත කොනිති ගහන්න තවත් මොනාද? ඇග හිරිවට්ටලා ආත්මය අස්සට දුවන්න තව මොනාද? ආත්මයේ අඳුරු අහුමුලු වලට ටෝච් ගහන්න හිතෙන මේ වගේ පින්තූර ඉඳලා හිටලා මෙහෙම හමුවෙනවා. එහෙම වෙලාවට මඟාරින්න නම් හොඳ නෑ. ඉතිං මගේ කතාව මෙහෙම ලියන්නම්.

අපි කවුරුත් දන්නවා බල්ලා, එහෙමත් නැත්තං සුනඛයා හෝමේසේපියන් ළඟට ඇවිත් අවුරුදු ගොඩාක් කල් කියලා. ඔව් හමුවෙලා තියෙන සාක්ෂි සාධක අනුව එහි කාල රේඛාවේ දිග වසර 15000කට වැඩී. ඒ කියන්නේ අපි බල්ලන්ව කැලෙන් අරං හදාගෙන අවුරුදු පහලොස් දාහක් වෙනවා. මේ සටහන් හමුවෙන කාලේ. ඒත් අවුරුදු ඊටත් එහාට දහස් ගානකට කලින් තමයි උන් සේපියන් මානව රංචු අස්සට රිංගන්න ඇත්තේ. එදා ඉඳලා අපේ විශ්වාසවන්තම හිතවතා සහකාරයා තමයි බල්ලා. ආහාර සොයා ඇවිදගෙන ගිය අවුරුදු දහස් ගානක් අපි පස්සෙන් ආපු අපේ විශ්වාසවන්තයා. ඉතිං අද බල්ලෝ සමහර හැඟීම්වලින් ආවේගයන් වලින් මිනිස්සු පාස්කරලා ගිහිං ද කොහේද කියලා හිතෙනවා මෙහෙම පින්තූර ඇහේ ඇලුනාම.

ඒ ඉතිහාස කතාව පැත්තකට තියලා මගේ බලු බැඳියාවේ ඉතිහාසයට ටෝචෙක ගැහුවොත් මෙන්න මෙහෙමයි කතාව. මට මතක විඳිහට 3 වසරේ වගේ ඉන්නකොට මම ගඟෙන් එගොඩහා පතල්පොළකට ගියා යාලුවෝ එක්ක සෙල්ලමට. ඉස්සර විතරක් නෙවෙයි දැන් වුණත් පාතල්පොළකට ගියොත් බලු රංචු දැකගන්න අමාරු නෑ. දඩයමට හුරුකරපු බෙටි බලු කොල්ලෝ කෙල්ලෝ උනත් ඕසෙට තවමත් එහේ ඉන්නවා. ඉතිං මෙහෙම යනකොට මේ කිය දා කවදාවත් නැතිව එක බල්ලෙක් ඇගට පැනලා පෙරළගෙනම කෑවා. පතලේ කස්ටිය පැනලා බොහොම අමාරුවෙන් බේරගත්තා.

ඒකාලේ අපේ ගම්වල බලු බෙහෙත් විදින්නේ කලාතුරකින්, සිංහල බෙහෙත් තමයි කරන්නේ. බල්ලන් සපාකෑවාම බෙහෙත් කරන ප්‍රසිද්ධ ආච්චිකෙනෙක් හපුරුගල හිටියා. මතකය නිවැරදිනම්. අම්මා හවස මාව එතනට අරගෙන ගියා. කිලෝමීටර් හතක් අටක් ඒ දුර පයින්ම තමයි ගියේ. ගිය ගමන් මන්තරයක් මතුර මතුර තෙල් සාත්තුවක් තමයි කළේ. මට තාම ඒ ගෙදර මතකයි. අඳුරුයි. කටු මැටි. කාමරයි ඊට ඈදුව කාමරේ දිහා ඔහොක් කරගත්ත කුස්සියයි. දුම්මැස්සෙන් ආපු දුම් වළලු කාමරේට ගෙනාවේ භූතාවේශ පෙනුමක්. චුරු චුරු වැස්සේ අපි එහෙට යනකොට ඒ අත්තම්මා ඔලුවෙ ඉඳන් පොරෝගෙන මූන විතරක් ඔහොක් කරගෙන බලාගෙන. ඇදේ ඉඳගෙන මාත් හින්දුවාගෙන් අත අරගෙන නාඩි බලාගෙන මන්තර මතුර මතුරා හිටියේ. ඒක තාම මතක එහෙම..!

ඌරු මාංශය ජීවිත කාලෙටම තහනම්..! ඊට අමතරව තව ගොඩක් කෑම අලුකෙහෙල් අළු ගැවුන කෑම.. කෑම ජාති කියාගෙන කියාගෙන ගියා. ඒවා කෑවොත් ජල භීතිකාව ඇඟ අස්සේ සැඟවිලා තිබුණොත්, මතුවෙන්න පුලුවන් මැරෙන්න පුලුවන්. ඉතිං කවදාවත් ඒ උදෑසන සහ සවස අමතක වෙන්නේ නෑ.

‘ඉස්සර උඩවත්තේ ළමෙක් මැරුණනේ ඌරු මස් කාලා. පස්සේ තමයි දන්නේ ඒ කොල්ලා බල්ලෙක් කාලා ඉඳලා කියලා’ අම්මා ඉතිං නිතරම ඔය කතා කියනවා. මට ඌරු මස් තහනම මතක් කරන්න. ගෙදරට ඉතිං දඩයම් වල් ඌරු මස් ගොබයක් හම්බ වුණාම මම විඳින්නේ සුවඳ විතරයි. මට ඒ සුවඳත් හොඳ නෑ කියලා අම්මා වල් ඌරු මස් ගෙදරට ගන්න එක නතර කළා මට තවමත් මතකයි..! ඊටපස්සේ සෑහෙන්න කාලයක් ඌරු මස් ගෙදරට තහනම්..

මේ බලු පෙරළාගෙන කෑම මට මාර වේදනාවක් සහ බයක් වුණා. ඊට පස්සේ මම බල්ලන්ට මාර බයයි. ඒ වගේම බල්ලෝ මට අප්‍රියයි. කැමති නෑ. බල්ලෝ එක්ක වැඩි බජනෙට යන එව්නුත් මට පෙනුනේ බව් බව් ලා වගේ. කොහොමහරි මීට අවුරුදු එක හමාරකට විතර කලින් ගෙදරට ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙක් ගෙනාවා. පැටියා කාලේ. ගේනකොට මල අප්පිරියාවයි. කැමති නැති වුණත් අන් සැපතට ආශාවට ඉඩ හදලා වකුටු වෙලා බලාගෙන හිටියා. මූ ටික ටික මාව ආක්‍රමනය කළා. බලෙන්ම ළඟට ඇවිත් දැවටෙන්න උනා. මලහෝන්තුවක් වගේ ලෙවකන්න ඇගට පනින්න වටේ දුවන්න වගේ නානා විකාර සෝවක් අස්සේ බලෙන්ම ආදරේ වීසි කරන්න පටන් ගත්තා. මේක මාර කෙළියක් නේ යකෝ කියලා හිතෙන බැරෑරුම් තත්ත්වයක් ඒක…!

අවසානේ බලු භීතිකාව සඳහටම වාෂ්ප වුණා. ඊටපස්සේ ඉතිං තව තවත් බල්ලෝ හදන්න හිතෙන කාලයක් තමයි උදාවුණේ. ඒත් ඒකට සල්ලි නෑ. ගෙදර යනකොට අසීමිත සතුටින් ආදරෙන් පිළිගන්න බලාගෙන ඉන්න, ප්‍රංස හාදු දෙන්න මූනට පනින මිත්‍රයෙක් ගෙදර ඉන්නවා කියන්නේ.. ගෙදරින් එනකොට දුකින් වේදනාවෙන් මිරිකෙමින් බලාගෙන ඉන්න, ‘ඔව්’ නොපෙනී ගිහිනුත් සෑහෙන්න වෙලාවක් බලන් ඉන්න, දුක දිය කරගෙන වේදනාවෙන් මිරිකෙන්න හැමවෙලාවෙම සූදානම් ‍යාලුවෙක් ජීවිතේට සෙට් වෙනවා කියන්නේ ඒක වෙනම සොමියක්..!

ඇත්තටම මට හිතාගන්න බෑ බව් බව් ලා මෙච්චර මිනිස්සුන්ට දයාබරිත වුණේ ආදරණීය වුණේ කොහොමද කියලා. බල්ලා මිනිස්සු ළඟට ඇවිත් සෑහෙන්න කාලෙකට පස්සේ තමයි පූසෝ මිනිස්සු ළඟට ආවේ. නිකං හිතලා බලන්න පූසෝ කොහොමද හැසිරෙන්නේ කියලා…! ඉතිං මේ වගේ ව්‍යසන අස්සේ තමන්ගේ ස්වාමියා නැතිවුණ සොවින් තැවෙන බලූස්ලා ගැන කතා, ස්වාමියාගේ මරණය අස නිහඬව ලතෙත්ව ලතවෙන බලූස්ලගේ කතා, ඕසෙට සොයාගන්න පුලුවන්. ඒ හැමතැනකම දියවෙලා තියෙන්නේ කොන්දේසි විරහිත අසීමිත ආදරය. ආදරය කියන්නේ ජීවත් වෙන විදිහක් මිසක් ප්‍රදානය කරන දෙයක් නෙවෙයි. ඒක සුළඟේ පාකරන්න ඕනී දෙයක්. කොන්දේසියක් එතන නෑ. ඇත්තටම ආදරේ අස්සේ තියෙන්න ඕනී මොනාද? ගෞරවය, තේරුන් ගැනීම, විශ්වාසය, හැඳිනීම, අල්ලාගැනීම, නතුකරගැනීම වගේ දේවල් නේද ආදරේ අස්සේ පිරිලා තියෙන්නේ. ඒ හැම දෙයක්ම නොවඩුව තියෙනවා මේ බව් බව් ලා ළඟ.. ඒක තමයි බව් බව් ආදරේ කතාව..!

Social Sharing
අවකාශය නවතම