මාලිමා රැල්ල දෙස බාලා හිඳීමේ සවුන්දර්‍ය…!!

ජාතික ජන බලවේගය විශාල ජන ප්‍රසාදයක් අත් කරගෙන. ෆේස්බුක් පෙන බුබුල කෙසේ වෙතත් භූමියේත් තියෙන්නේ රැල්ලක්. ජවිපේ මුලින් අරගලයට සහාය නොදුන්නත් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම අරගලය ඔවුන් සතු කරගෙන ඉවරයි. ඒක ඔවුන්ගේ දේශපාලනයේ විශාලම ජයග්‍රහනයක්.

ඔව් ඒක තමයි දේශපාලනය කියලා කියන්නේ. ඇත්තටම ජවිපෙට වඩා භූමියේ කැමැත්ත නිර්මාණය වෙමින් තිබෙන්නේ ජාතික ජන බලවේගය වටේ. ඒක ජවිපේ තේරුන් ගත්තොත් ඊළඟ ජනාධිපතිවරණයෙන් ජාජාබ නායකයෙක් ජනාධිපති වේවි…! ඒක එහෙම වුණොත් මේ රටේ දේශපාලනය අක්ෂය වෙනස් වේවී. හොඳට හෝ නරකට. මම නම් ඒකට එක පයින් කැමතියි.

ඇත්තටම මේ මොකද්ද වෙමින් තිබෙන්නේ? මටනම් මේක අරුමයක් නෙවෙයි. අවුරුදු 70කට වඩා තට්ටු මාරුවට උන්ට මුන්ට ඡන්දේ දීලා අද මිනිස්සු ඒක වෙනස් කරන්න තමයි මේ ලෑස්තිය. “කෙළවෙන්න හරි අපි මුන්ටත් දෙනවා” කියන සිතුවිල්ල තමයි මේ මොහොතේ මේ රැල්ල උඩ පිහිනන ඡන්දදායකයාගේ එකම සිතුවිල්ල.

මම දැන් සෑහෙන්න කාලයක් ජීවත් වෙන්නේ ගාල්ලේ. කරන්දෙණිය කියන ප්‍රදේශයේ. මේවා එක්තරා දුරකට තවමත් ගම්. මේ ගම්වල ඉන්න බහුතරය පොහොට්ටුවට කතිකරය ගහපු අපි බයියෝ කියලා හඳුන්වන මිනිස්සු. මේ මිනිස්සුත් මේ මොහොතේ රැල්ලට තමන් ජාජාබට කතිරය ගහනවා කියන දේ තමයි කියන්නේ. මුලු ඉතිහාසයේම කුල පීඩනයෙන් කොන්වුණ මේවගේ ප්‍රදේශවල හැමදාම ජවිපෙට ඡන්ද පදනමක් තිබුණා කියලා කාටහරි තර්ක කරන්න පුලුවන්. ඔව් ඒක ඇත්ත. ඒත් මේ ඡන්ද පදනම මේ වෙනකොට විශාල වෙලා. ප්‍රසාරණය වෙලා. ඒකට හේතුව ජවිපේ දේශපාලනයට වඩා ජාජාබ දේශපාලනය.

මේ ඉතිහාසය අස්සේ කවුරු වැරදිකාරයා වුණත් නැතත් දැන් මේ රටට කෙළවෙලා ඉවරයි. මේ කෙළවිල්ල ආපස්සට හරවන්න ලේසි නෑ. ඒ ආපස්සට හැරවීමට සමත් නායකත්වයක් කොයි පැත්තෙන්වත් මටනම් පේන්නේ නෑ. කාටවත් ඒ සඳහා අවශ්‍ය ඉදිරි දර්ශනයකුත් නෑ. රාජ්‍ය මෙහෙයවන උසස් රාජ්‍ය නිළධාරීන් පවා දෙකයි පනහේ ලපයි සිපයි රාජ්‍යකරණයක් තමයි පෙන්වන්නේ. කිසිම දේකින් යාවත්කාලීන නොවෙන රාජ්‍ය සේවකයට මෙතනින් එහාට ගමනකුත් නෑ. ඒක තමයි අපිට මේ කෝප් රැස්වීම්වලින් එහෙම පේන්නේ.

ඉතිං මේ තත්ත්වය අස්සේ මගේ අදහස මේ රට විනාශයට සහ නැත්තටම නැතිවෙන තැනට වැටෙනවා කියන දේ. ඒක වළක්වන්න සක්‍රයගේ පුතා වයිමටවත් බැරිවෙන තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. ඉතිං දැන් මටනම් තිබෙන ප්‍රශ්නය ලංකාව, බ්‍රසීලය ආජන්ටිනාව වගේ දකුණු ඇමරිකානු පන්නයේ රටක් වගේ වෙයිද? එහෙම නැත්තං ලෙබනනය යේමනය ඊජිප්තුව වගේ මැදපෙරදිග පන්නයේ රටක් වෙයිද කියන එකයි.

පාස්පෝට් කන්තෝරුවේ පෝලිම සහ රට හැරයන උදවිය ගැන බැලුවාම අපි යමින් ඉන්නේ කොතනට ද කියන එක ගැන අපිට යම් තක්සේරුවකට එන්න බැරිකමක් නෑ. ඒක කඩාගෙන වැටීමේ එක දර්ශකයක් විතරයි. කොහොම වුණත් ඉන්දියාව සහ ඇමරිකාව මැදිහත්වෙලා යම් කාල සීමාවකට අපි පල්ලන් බහින වේගය අඩුකරලා තිබෙනවා. ඒත් අපිට වාහනය නැවත කන්ද පැත්තට හරවාගන්න ඩ්‍රයිවර් කෙනෙක් සොයාගන්න බැරිවෙලා තියෙනවා. එහෙම කෙනෙක් පේන මානයකවත් නෑ.

ඉතිං මෙවැනි අවිනිශ්චිත කාලෙක කෙළවෙලාම යන්න හරි මුන්ටත් දෙනවා කියන සිතුවිල්ලට මිනිස්සු එන එක සාධාරණයි. ඔව් මට උනත් එහෙම තමයි මේ මොහොතේ සිතෙන්නේ. අනික අවුරුදු 2500ක් දියසෙන් ඇවිත් රට හදයි කියලා බලාගෙන හිටපු ජාතියක් තමයි මේ රටේ තවමත් ඉන්නේ. එහෙම බලාගෙන හිටියා විතරක් නෙවෙයි ‘දිය සේන’ කියලා හරි යාන්තම් ඡායාවක් හෝ පෙනුනොත් බිම දිගෑදිලා කතිරේ ගහපු ජාතියක් අපි. එහෙව් ඉතිහාසයක් උරුම රටක් මේ වෙලාවෙ මෙහෙම රැල්ලක පිහිනීම අසාධාරණයි කියලා මම නම් මොහොතකටවත් හිතන්නේ නෑ. මෙහෙම රැල්ලක් නොආවානම් තමයි පුදුමය.

ඒනිසා මම නම් එක පයින් කැමතියි රාණි සඳුන් සබන් ගාලා මේ රැල්ලේ පීනන්න. පීනලා මේ අලුත් රටේ අලුත් ජීවිතයක් ලබාගන්න..!!
කාටූනය අවන්තගේ..!!

 

Social Sharing
නවතම විශේෂාංග