මගේ රංගන ජීවිතයේ හොඳම චරිතය ලියලා දුන්නාට ස්තූතියි…!

-අජිත් ජිනදාස-

කේ බී හේරත් ගැන මොනවා ලියන්නද හිතා ගන්න බැරිව මම මේ පින්තූර ටික දාලා නන්නත්තාර වෙලා වගේ හිටියා. නුවර බාර් එකකදි උපුල් විජේසිරිවර්ධන මුලින්ම හමුවෙලා ඔහු මට ආරාධනා කලේ සුමානෙකට නුවර එන්න කියලා. ඔහුගේ අලුත් නාට්‍යය කරන්න. මම කිව්වෙ “ඕක අරන් කොළඹ එන්න අපි හොඳම ටීම් එකක් දාලා කරමු” කියලා.

අපි අරක්කු බෝතල් එකයි කාලක් ඉවර කලා. ඒ 1985 විතර. නාට්‍යය “මායා දේවී”. මගේ අදහස ජයග්‍රහණය කලේ මම ලොකු පොරක් නිසා නෙවෙයි. කේ බී මුලින්ම කියූ ලෙස “මේ චරිතෙ කරන්න හරියන්නෙ තමුන්ම (මම) විතරයි” යන කරුණ නිසා..! කේ බී කොළඹ ආවෙ එහෙම. ඒක තමයි ඉතින් නාට්‍යය. ඒ වගෙ නාට්‍යය ආයෙ කවදා ඒවිද? මනෝ යි චන්ද්‍රා යි (කළුආරච්චි) ගේම පටන්ගත්තම රඟපානවා නෙවෙයි වෙඩි තියනවා. තකට තක. මාලනී අක්කා (මාලනී රණසිංහ) වැදගත් නිළිය, ඔය කෝලම් වැඩ හරියන්නෙ නෑ. Classic එකේ තමයි batting.

“බණ කියනවා අයියේ …… මෙලෝ කෙනෙකුට තේරෙන්නෙ නෑ” රත්නා ලාලනී ගේ උපරිමය. කවුරුත් තුෂ්නිම්භූතයි. ගීතාකාන්ති ජයකොඩි පුංචි role එකකට වෙනම සැපක් දුන්නා. මට තිබුනෙ නිකම්ම ඉන්න. මේ අල කලංචි අස්සෙ ඒක බෙල්ල ගලෝලා යන වැඩක්. 80 කණ්ඩායමේ දෙවෙනි නාට්‍යය හැටියට මායාදේවි ආවෙ එහෙම. කේ බී ගෙ නාට්‍යවල පිටපත් අපි කවුරුවත් ළඟ නෑ. ඔහු මුලින් අරන් එන පිටපත නෙවෙයි වේදිකාගත කරන්නෙ. Rehearsal දැකලා ආවේශ වෙන ඔහු පහුවෙනිදාට වෙනම එකක් ලියා ගෙන එනවා. අන්තිමට වෙනම කොළ ගොඩක්. මේක ඉවර කරන්න මට තේරෙන්නෙ නැහැ. උඹලා නැතුව අපි ජීවත් වෙලා මොකටද කියලා හිතෙනවනේ.

කේ බී “මගේ රංගන ජීවිතයේ හොඳම චරිතය ලියලා දුන්නට ස්තුතියි.” ඔහු දවසක් පරණ අපේ දෙබසක් මෙහෙම මතක් කලා. “ලොක්කා, උඹ දවසක් හොඳට බීලා මට කිව්වනේ, මායාදේවී උඹේ (කේබී ගෙ) නෙවෙයි මගේ” කියලා. ඇත්තටම අපිට එහෙම ඒවා බලා ගන්න ඔහු ඉඩ දීලා තිබුනා. ඔහුගේම දෙබසක් ඒ මේ අත පෙරලා ලියූවොත්, “මායාදේවී කරපු එකම මදෑ ඔය යකාට නිවන් දකින්න”

ඒත් මොන නිවන් දැකීමක් ද? අරෙහෙ මනෝ, චන්ද්‍රා, ලකී එහෙම සෙට්වෙලා මඟ බලගෙන ඇති. පරිස්සමින් යන්න. පිස්සු ලිව්වට මාර දුකයි බං…!
……………………………..

 

80 කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතමයා දිවි සැරිය නිමාකරයි

ඔහු 80 කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම නාට්‍යවේදියා ය. ‘සුදු කරල්, මායාදේවී, නාග ගුරුළා, දෝන කතිරිනා, දෙවෙනි මහින්ද හා වාසුදේව’ යන වේදිකා නාට්‍ය නිර්මාණකරුවා කේ.බී. ය. රාජ්‍ය සම්මානයෙන් මෙන්ම නාට්‍ය කීර්ති සම්මානයෙන් ද පිදුම් ලද ඔහුට පසුගිය වසරේ දී සෞන්දර්ය විශ්ව විද්‍යාලය විසින් ආචාර්ය උපාධිය ද පිරිනමන ලදි. වේදිකා නාට්‍ය මෙන්ම රූපවාහිනී නාට්‍ය රචනයෙහි ද හපන්කම් කළ කේ. බී, රූපවාහිනී ටෙලිනාට්‍ය රචනා සඳහා ද සුමති ආදී ටෙලි සම්මාන දිනා ඇත. ‘ඉසිවර අසපුව, ගජමන් නෝනා හා ඉන්ගම්මාරුව’ වැනි ටෙලි රචනා ඒ අතර ප්‍රධාන වේ. නාට්‍ය පෙළ සඳහා ද ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන ද දිනා ඇත්තේ ය.

අවමඟුල් කටයුතු පහත පරිදි සිදු කිරීමට නියමිතය.
ජනවාරි 30 පෙරවරු 10 සිට එදින රාත්‍රිය තෙක් ජයරත්න අවමඟුල් ශාලාවෙහි ද,
ජනවාරි 31 පෙරවරුවේ සිට පෙබරවාරි 01 බදාදා දහවල් 2 තෙක් ජයරත්න VIP – Respect හි ද, අවසන් ගෞරව සඳහා දේහය තැන්පත් කර තබනු ඇත.
අවසන් කටයුතු පෙබරවාරි 01 බදාදා පස්වරු 2.30 ට සිදුකිරීමට නියමිතය.
80 කණ්ඩායම

Social Sharing
අවකාශය නවතම