මිනිස් ඉතිහාසයේ වසංගත නොතිබුණ කාලයන් තිබුනේ නැහැ – ඔර්හාන් පමුක්

 

– සුභාෂිණී චතුරිකා –

ඔර්හාන් පමුක් යනු තුර්කි ජාතික නවකතාකරුවෙකි, 2006 වසරේ ඔහු නෝබල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේය. ඔහු කලම්බියා සරසවියේ, නිව්යෝර්ක් කලා අධ්‍යනාංශයේ මානව ශාස්ත්‍ර විෂයන් සම්බන්ධ මහාචාර්යවරයෙකි. ඔහුගේ කෘති ලොව පුරා භාෂා හැට තුනකින් පළවී, මිලියන තුනකට අධික සංඛ්‍යාවක් විකීණි ඇත. ඔහුගේ කෘති කිහිපයක්ම මේ වන විට සිංහල භාෂාවට ද පරිවර්තනය වී ඇත.

පහත දැක්වෙන්නේ 2021 වසරේ Alani Elkann interviews වෙබ් අඩවියේ පළවුනු, ඔර්හාන් පමුක් සමඟ, ඔහුගේ එම වස‍රේ දී පළවුණු “Veba Geceleri” නම් කෘතිය මූලික කරගෙන කරන ලද පිළිසදරක සංක්ෂිප්ත පරිවර්තනයකි. තුර්කි බසින් පළ වුණු එම කෘතිය මෙම වසරේ(2022) ඔක්‍තෝබර් මාසයෙ හතරවැනි දින Nights of Plague නමින් ඉංග්‍රීසි බසින් ප්‍රකාශයට පත් වීමට නියමිතය.

ඔර්හාන් පමුක්, ඔබ තුර්කි භාෂාවෙන් “Veba Geceleri” නම් කෘතියක් පළකොට තිබෙනවා, එහි ඉංග්‍රීසි කෘතිය Nights of Plague යන නමින් පළ කිරීමට නියමිතයි. කොයිතරම් අපූරු දෙයක්ද ඔබගේ මහාමාරිය (Plague) සම්බන්ධ කෘතිය කොවිඩි 19 වසංගතය කාලෙම ප්‍රකාශයට පත් කල එක?

ඒක හරිම අපූරුවට අහම්බෙන් සිදුවුනු දෙයක්. මොකක්ද සිදුවෙන්න නියමිත කියලා පුංචි අදහසක්වත් මට තිබුනේ නැහැ. 17 වැනි සියවසේ, ඒ කාලයේ කොන්ස්තන්තිනෝපලය නමින් හැඳින්වුණු, ඉස්තාන්බුල් නගරයේ සිදුවුනු මහාමාරියාවට සම්බන්ධ සිදුවීම් කිහිපයක්, මම පෙර ලියූ කෘතියක් වන White Castle නවකතාවෙ මම ලියලා තියෙනවා. අවුරුදු හතළිකට කලින් 1983 දී, මම ලියපු Silent House කෘතියේ මම සඳහන් කරලා තියෙනවා මහාමාරිය වසංගතයක් ගැන ඉතිහාසඥයෙක් පර්යේෂණ කිරීම පිළිබඳව. ඉන් පසු මම මගේ The Red Haired Woman කෘතිය ලියා අවසාන කළා. ඉතින් ඊට පස්සෙ මම මට ම කියා ගත්තා, මහාමාරිය පිළිබඳ මගේ ඓතිහාසික නවකතාව කොයිතරම් විශාල කර්තව්‍යයක් උනත් මම ඒක කොහොමහරි ලියන්න ඕනෙ කියන එක.

අවුරුදු හතරහාමාරකට කළින් මම ඒක ලියන්න පටන් ගනිද්දි මගේ මිතුරන් මගෙන් ඇසුවා ඇයි තරමක් අපහැදිලි දෙයක් ගැන නවකතාවක් ලියන්නේ කියලා. ඔවුන් හිතුවේ කිසිවෙක් මගේ ඒ කෘතිය තේරුම් ගන්න එකක් නැහැ කියලා. මහාමාරිය වසංගතය අවසන් වුනා, මානව වර්ගයා මේ අවලස්සන දේ ඉතිරි කළා. මම ඔවුන්ව විශ්වාස කරන්න පටන් ගත්තා, ඒත් ඒ අතරවාරේ මම මේ නවකතාව ලියන්නත් අධිෂ්ඨාන කරගත්තා. මම ලියාගෙන ලියාගෙන ගියා. ඉතින් නැහැ! මම මේ වසංගතය අපේක්ෂා කළේ නැහැ. ඒත් මිනිස් ඉතිහාසයේ වසංගත නොතිබුණා කාලයන් තිබුනේ නැහැ.

ඔබ Nights of Plague කෘතිය ලියන විටදී ඔබ ඇල්බෙයා කැමූ, අලිසන්ද්‍රෝ මන්සෝනි, ඩැනියෙල් ඩිෆෝ සහ තව වෙනත් ලේඛකයන්ගෙන් කිසියම් අනුප්‍රාණයක් ලැබුවද?

අනෙක් හැම කෙනාම වගේ මමත් නව යොවුන් වියේ දී ඇල්බෙයාර් කැමූ ගේ “The Plague” කෘතිය කියවලා තියෙනවා. මම ඒ වෙද්දි සිත්තරුවෙක් වෙන්න ඕනෑකමින් සිටි තරුණ පිරිමි දරුවෙක්. ඒ පොත කියවලා මම තරමක් සසල වුනා. ඒත් මම වඩාත් වැඩි අභාෂයක් ලැබුවේ අලිසන්ද්‍රෝ මන්සෝනි විසින් රචනා කරන ලද “The Betrothed”නම් ඉතාලියානු වීර කාව්‍යයි. එම කෘතියේ මහාමාරිය ගැන තියෙන්න පිටු තිස්පහක විතරයි, ඒත් ඒක ඇල්බෙයාර් කැමූගේ කෘතියට වඩා යථාර්තවාදීයි, මන්සෝනී ගෙ එම කෘතිය මහාමාරිය ගැන ලියැවුණු හොඳ කෘතියක්. ඒත් වසංගතයක් ගැන ලියැවුණු හොඳම කෘතිය ලීවේ ඩැනියෙන් ඩිෆෝ. සාහිත්යික ඉතිහාසඥයන් අපට කියා තිබෙනවා රොබින්සන් කෘසෝ කතුවරයා, 1665 ලන්ඩනයේ දැවැන්ත මහාමාරියා වසංගතය පිළිබඳ ඔහුගේ ගේ මාමා කෙනෙකු විසින් ලියන ලද දින පොතක්, ඉන් වසර හැත්තෑවට පසු කයවා “A Journal of the Plague Year” කෘතිය ලීවා කියලා.

ඔබ රොබින්සන් කෘසෝ ගැන සඳහන් කළා. ඔබගේ“Nights of Plague” නවකතාවේ ඔබ විස්තර කරනවා මින්ගර් කියන ප්‍රබන්ධාත්මක ඔටෝමාන් දූපතක් ගැන. එහි තමයි කෘතියේ එන චරිත වන වෛද්‍යවරයෙක්, ආණ්ඩුකාරයෙක් සහ හමුදාවේ මේජර්ව‍රයෙක් යන තිදෙනා ඉන්නෙ. ඇය ඔබ මාහාමාරිය වගේ විෂයක් තෝරා ගත්තේ?

මහාමාරිය පිළිබඳ මගේ නවකතාව මම අවුරුදු හතලික් තිස්සෙ වගේ ගොඩනඟමින් උන්නා. මම මුලින් කිව්වා වගේ මට මුලින්ම බලපෑමක් වු‍නේ ඇල්බෙයාර් කැමූ. මන්සෝනීගේ පොතේ තුර්කි පරිවර්තනය කියෙව්වාට පසු, මම ඉන් බොහෝ සේ කැළඹුණා. මම කැමතියි සාමාන්‍යයෙන් ඓතිහාසික නවකතා ලියන්න, ඉතින් එය මහාමාරිය හෝ වසංගතය කාලයක් පසුබිම් කොටගනිමින් ලියන්න මම පෙළඹුණා.

ආරම්භයේදී මම ඒ ගැන සිතුවේ සාංදෘෂ්ටික ශෝචනීයත්වය සහ මරණය අභිමුව ඇතිවන අප‍ගේ පාරභෞතික සිත් තැවීම් වලින් උත්තේජනය ලබන කිසිවක් විදියට: ජිවිතය, ජීවිතයේ අර්ථය, මිනිසුන් මියයාම. ඒවගේම දෙවියෝ. දෙවි කෙනෙක් සිටින්නේ නම් ඇයි මේ දේවල් සිදුවෙන්නේ? එය අප බාර ගන්නෙ කොහොමද? මම මහාමාරිය ගැන නවකතාවක් අවුරුදු තිහකට විතර කලින් ලීවා නම් එය මරණය සම්බන්ධයෙන් පැන නැ‍‍ඟෙන කාංසාව කිසියම් ආකාරයක තනි පුද්ගල පැවැත්මක් ගෙන එන්නෙ කොහොමද කියන එක පිළිබඳ ලියැවුණු කෘතියක් වීමට ඉඩ තිබුනා: එක පිරිසක් කණ්ඩායාම් වලට, සමූහයන්ට, තම මිතුරන්ට, තම පවුලේ අයට එකතු වෙද්දී තව සමහරක් අය තම ඇතුළාන්තයට ගිහින් ලියනවා, තාර්කික ආකාරයකට ප්‍රතික්‍රියා දක්වනවා.

කාලයත් සමඟ එම කේන්ද්‍රීය අවධානය වෙනස් වුනේ කොහොමද?

මම ඒ ගැන අවුරුදු විස්සකට පස්සේ හිතන විට, එය තවදුරටත් මරණය පිළිබඳ සාංදෘෂ්ටික සිත් තැවුල් පිළිබඳ යමක් වූයේ නැහැ, එය සම්බන්ධ වුනේ පෙරදිග සහ අපරදිග සංසන්දනයකට. 17, 18 සහ 19 ශතවර්ෂ වල ලියැවුණු යුරෝපීයයන්ගේ චාරිකා සටහන් වල දැක්වුනු අදහසක් තමයි තුර්කි සහ මුස්ලිම්වරු යනු කිසිවක් නොකරන, දෙවියන් විශ්වාස කරන දෛවවාදියෝ කියලා. ටික කාලයක් පුරා මට ඕනෑ කලේ ඒ අගතියට ප්‍රතිවිරුද්ධව ලියලා මගේ නවකතාව ඒ අනුව ගොනු කරන්න, ඒත් ප්‍රධාන අදහසක් විදියට තිබුණු ඒ අරමුණත් කාලයත් සමඟ මැකී ගියා.

ඉතින් අවසානයේදී?

අවසානයෙදී මට ඕනෑ කලේ නිරෝධානය පැනවීම නිසා ඇති වුණු ගැටලු පිළිබඳ කතා කරන්න. ‍ඩි‍ෆෝ සහ මන්සෝනී ගෙන් තමයි මම ඉගෙන ගත්තේ, මේ වඩාත් දේශපාලනික දේ දිහා බලන්න, මොකද මානව වර්ගයා ක්‍රියාකරන්නේ හැමතිස්සෙම එකම විදියට. පළමුව රාජ්‍යය එය ප්‍රතික්ෂේප කරනවා, ප්‍රතික්‍රියා දක්වන්න කල් ගන්නවා: අනික ජනතාවටත් එය විශ්වාස කරන්න ඕනෑකමක් නෑ, විශේෂයෙන් කඩ සාප්පු හිමියන්ට, ව්‍යාපාරිකයන්ට ඕනෑකමක් නෑ වසංගතයක් පැතිරෙනවා, ඒ නිසා කඩසාප්පු වහලා ගෙවල් වලට වෙලා ඉන්න ඕනෙය කියන එක පිළිගන්න.

කටකතා මේ ගැටළුවෙ එක කොටසක්. මගෙ නවකතාවෙන් කියවෙන්නෙ පසුගිය අවුරුද්දෙ සියළුම රටවලට විසඳීමට සිදුවුනු, වසංගතයක් කෙරෙහි දක්වන සදාතනික ප්‍රතිචාරය පිළිබඳ ගැටළුව. ආණ්ඩුව සංචරණ සීමා දැඩි කලා නම් ව්‍යාපාර කඩන් වැටෙනවා, ඊට පසු හැමකෙනාම ඒ ගැන චෝදනා කරයි. ආණ්ඩුව එසේ නොකරනවා නම්, ඒ කිසි දෙයක් වෙන එකක් නෑ, ඒත් මිනිස්සු බොහොමයක් මැරිලා යනවා.

ඇයි ඔබ තීරණය කලේ ඔබගේ කෘතියේ චරිත ත්‍රිත්වය ප්‍රබන්ධාත්මක දූපතක තබන්න?

කෘතිය කිසියම් ස්ථානයක් අරඹයා නිර්මාණය කරන්න මට ඕනෑ කම තිබුණා. එය දුපතක් විය හැකියි, නැතිනම් මගේ “Snow” නවකතාවේ වගේ අධික හිම පතනය නිසා සෙසු ශිෂ්ඨ සමාජය හා සබඳතා බිඳ වැටුනු, හිමවලින් වැසුනු දුර බැහැර රටක කුඩා නගරයක් විය හැකියි. මෙතනදි මම තෝරාගත්තේ දූපතක්. වසංගතයක් පැතිරෙනවා. එවිට ඔවුන් මුළු දිවයිනටම බලපැවැත්වෙන විදියට සංචරණ සීමා පනවනවා. සෙසු මිනිස් වාසයෙන් වෙන්ව මිනිසුන් ජීවත්වෙන වටපිටාවක් මට අවශ්‍ය වෙලා තිබුනා. මොකද මගෙ පරිකල්පනය වැඩ කලේ එහෙමයි. එසේම මෙම ප්‍රබන්ධාත්මක ඔටෝමාන් දූපතට සංචරණ සීමා පැනවීමේ වගකීම තියෙන මිනිස්සු පිරිසකුත් මට ඕනෑ කලා. කල්පිත ස්ථානයක් පැවතීමේ නිදහස ඒ නිසා මට ගොඩක් වැදගත් වුනා.

ඔබ හිතනවද මහාමාරිය කෝවිඩ් 19ට වඩා බියජනකයි කියලා?

එය උත්ප්‍රාසාත්මකයි වගේම පරස්පරයි. මහාමාරිය බැක්ටීරියාව නිසා තුන්දෙනෙක් අතරින් එක්කෙනෙක් මිය ගියා, ඒත් කොරෝනා වයිරසයේ මැරුනෙ සියයකට එකයි, ඒකත් විශේෂයෙන් වැඩමහළු අය. මේ අනුපාතය බලන්න. ඒ අනුව අපට බය වෙන්න හේතුවක් නෑ. ඒත් අපි මහාමාරියට වගේම කොවිඩ් වලටත් එකසේම බය වුණා.

ඒ ඇයි?

අපි දේවල් දැනගත්තා වැඩියි. හැම රාත්‍රියක දීම අපි දකිනවා මිනිස්සු අමාරුවෙන් හුස්ම ගන්න හැටි, මියයන හැටි. අවුරුද්දකට කලින් ඉතාලියේ තැතිගන්වන සුලු දේ සිදුවුණා. අපි රූපවාහිනි ඉස්සරහා ඇලවිලා ඉඳගෙන, මේ රෝහල් සහ මිනී පිට්ටනි දැක ගත්තා. අපි දැන් ඉන්දියාවේ භයානක දේ සිදුවෙනවා දකිනවා. එහෙ මිනිස්සුන්ව පුච්චනවා. ආණ්ඩුව අපිට කියනවා එළියට යන්න එපා කියලා. අනුපාතය සියයට එකක් වුනත් අපි බයයි. එය අන්තර්ජාල පහසුකම්, රූපවාහිනී, පත්තර නැති, මිනිස්සුන්ගෙන් සියයට පහක් පමණක් ලියන්න කියවන්න දන්න කාලෙ වගේ නෙමෙයි. ඒ කාලෙ දේවල් දැන ගත්තේ කටකතා මඟින්. භයානක මහාමාරිය වසංගත පටන්ගත්තාම, බියට පත් වුනු මිනිස්සු එකිනෙකා දිහා බැලුවා, එච්චරයි. ඒත් කාටවත් මුකුත්ම තේරුනේ නැහැ.

ඉතින් ඔබ බය උනාද?

මම ගොඩක් බය වුණා, ඒ සමහර විට මගේ වයස හැටපහක් වූ නිසා වෙන්න පුළුවනි, නැත්නම් ආරම්භයේදී ඒ ගැන එතරම් ත‍ොරතුරු නොලැබුණු නිසා වෙන්න ඇති. මම හොඳින් සවන් දීලා සංචරණ සීමා හොඳින් පිළිපැද්දා. දැන් තුර්කියේ වෛරසය පැතිරෙමින් යනවා, ඒත් මුලදී තුර්කි ආණ්ඩුව හොඳින් ක්‍රියා කලා, එය ඉස්ලාම් ආණ්ඩුවක් විදියට හැසි‍රුනේ නැහැ. යුරෝපයේ සහ ඇමරිකාවේ පල්ලි වසා දමන්න කළින් තමයි ඔවුන් මෙහෙ මුස්ලිම් පල්ලි වසා දැමුවෙ. මම ඒ ගැන ගොඩක් සතුටු වුණා. ඒත් වසරක් ගත වෙද්දි, ඔවුන් මිනිස් ජීවිත වලට වඩා වැඩිපුර හිතුවේ ව්‍යාපාර ගැන, හරියට ඉන්දියාවෙ වගේ. දුර්වල ආණ්ඩු හිතුවේ සංචරණ සීමා පැනවූවාම ව්‍යාපාර කඩන් වැටිලා ඊළඟ මැතිවරණයෙ දි එයාලා පරාද වෙයි කියලා, ඉතින් එයාලා තුර්කියෙ වගේම ඉන්දියාවේ ව්‍යාපාර කරගෙන යන්න ඉඩ දුන්නා. අද වෙද්දි තුර්කියට වඩා ඉන්දියාව තියෙන්නෙ නරක තත්වයක. තුර්කියත් වේලාසන රට විවෘත කලා, ඉතින් වෛරසය පැතිරුණා. මම ඉතින් බය විය යුතුයිනෙ. ඒත් මම වැක්සීන දෙකම ගත්තා, ඒවගේම තමයි මිනිසුන්ගේ හැසිරීමත් වෙනස් වුනා. වසරකට කළින් බොහොම සුළු පිරිසක් තමයි ඇත්තටම බය වුනේ. ආරක්ෂාවෙන්න උත්සාහ කලේම නෑ. දැන් හැම කෙනාටම වගේ තේරෙනවා. හැම කෙනාම මුහුණ ආවරණ පළඳිනවා. දැන් මම එතරම් බය නෑ.

වඩාත්ම සිත් ගන්නා සුළු දේ තමයි වසංගතය ප්‍රජාතන්ත්‍රවාදීයි, මරණය හැමකෙනා මතම බලපානවා?

මරණය සම අවස්ථා ලබා දෙනවා, ඒත් සංස්කෘතීන් තමයි වෙනස්. මේ අනුකම්පාවිරහිත මරණය අප වෙත ආවිට, අපෙන් සමහරු ඇතුළාන්තයට යනවා, දින සටහන් ලියනවා, ජීවිතයේ අර්ථය පිළිබඳ සිතන්න පටන් ගන්නවා, ඒ අතරතුර සමහරු පල්ලියට, කෝපි සැළට, යාළුවන් වෙත, පවුල වෙත ගිහින් තමන්ගේ අයගේ සැනසීම ගැන සිතනවා. යුරෝපීය ජාතිකයන්, නවීනයන් තමන් වෙතට හැරෙනවා, සංචරණ සීමා හොඳින් පිළිපදිනවා, එකට ගොනු ගැසී ජිවත්වීම වඩාත් ශක්තිමත් දෙයක් වුණු, ලෝකේ මගේ වගේ රටවල මිනිසුන්ගේ සම්ප්‍රදායන් කඩන්න ටිකක් අමාරුයි. දාහත්වැනි සියවසට අයත් ඔටෝමාන් සටහනක් තියෙනවා, එහි සඳහන් වෙනවා 1665 ඉස්තාන්බුල් නගරයේ මහාමාරිය පැතිරුණු කාලයේ එක පුද්ගලයෙක් එක මළ ගෙදරකින් තව එකකට අඬ අඬා ගමන් කරනවා. ඔහු කිසිදිනෙක පාර‍‍භෞතික ප්‍රශ්නවත්, සංචරණ සීමා පිළිබඳ ප්‍රශ්න ගැනවත් හිතන්නේ නැහැ. ලෝකයේ මම ඉන්නා පැත්තේ මිනිස්සු රෝගය ලේසියෙන් පැතිරෙන එකට වඩා සැළකිලිමත් වෙන්නෙ සමූහය මැද ඔවුන්ට දැනෙන සැනසිල්ල ගැන.

ආරංචියක් තියෙනවා ඔබ ඉස්තාන්බුල්වල සිත්තරෙක් ගැන කියවෙන කෘතියක් ලියන්න හදනවා කියලා. එය ස්වයං චරිතාපදානයක්ද?

ඔව්. “Nights of Plague” කෘතිය ‍වඩාත්ම පොදු කාරණයක් ගැන පදනම් වුනා. දැන් මට ඕනෑ වඩාත් පුද්ගලික යමක් ගැන ලියන්න. මම අසමත් චිත්‍ර ශිල්පියෙක්. අවුරුදු විසි දෙක විතර වෙන තුරු මට ඕනෑ වුන‍ෙ සිත්තරෙක් වෙන්න. මගෙ ස්වයං චරිතාපදානය වන “Istanbul” කෘතියේ සඳහන් කර ඇති වා සේම, මගේ ජිවිතයේ යමක් සිදු වුනා. ජිවිතයේ කිසියම් උමතුවක් ඇති වුනා, ඉතින් මම චිත්‍ර අඳින එක නවත්වලා නවකතා ලියන්න පටන් ගත්තා.

ඔබ ලියන්නෙ භාවිතා කරන්නේ පෑනද?

මම අතින් ලියන කෙනෙක්, බාගවිට මම එහෙම ලියන අන්තම කෙනා වෙන්න ඇති. මම පැරණි මිනිහෙක්, මට ඒ පරණ පුරුදු ‍සේරම තියෙනවා. ගෙවුනු අවුරුදු හතලිස් පහ පුරා මම ලියපු හැම කඩදාසියක්ම මා ළඟ මේ දැනුත් තියෙනවා. ලබන අවුරුද්දෙ මට අවුරුදු හැත්තෑවක් වෙනවා, ඉතින් මගේ ප්‍රකාශකයා බලාපොරොත්තු වෙනවා අවුරුදු හතලිස්පහක් තිස්සේ අතින් ලියන මේ මිනිහ ගැන ප්‍රදර්ශනයක් පවත්වන්න.

කවදහරි ඔබ පරිඝණකයෙන් ලියන්න උත්සාහ කරලා තියෙනවාද?

මම ඊමේල් යවනවා. මම හෙමින් ලියන ලේඛකයෙක්, මට ඕනෙ නෑ මුළු දවසම පරිඝණයක් දිහා බලාගෙන ඉන්න. ප්‍රවෘත්ති කියවීමට සහ ඊමේල් යවන්න ඒ දිහා බැලුවාම ඇති. මගෙ සමහර මිතුරන් විදුලි යතුරු ලියන භාවිතා කරනවා, මට නම් බැරිව ගියා පරිඝණකයට මාරු වෙන්න. ඒ තිරය දිහා බලන්න ඉන්න මට මහ එක ඇ‍ඬෙන වැඩක්. ඉතින් මගේ සංස්කාරකට මගෙ භයානක අත් අකුරු වලින් ලියැවුණු අත්පිටපත් යවන එක ගැන මම හරි ප්‍රසිද්ධයි.

ජේම්ස් ජොයිස් ව ප්‍රසිද්ධ වුනේ “Ulysses” කෘතිය නිසා. ඇබර්ටෝ මොරාවියෝ “The Time of Indifference” කෘතිය නිසා. උම්බෙර්තෝ එකෝ “The Name of the Rose” නිසා. ඔබ ප්‍රසිද්ධියට පත් වුනු කෘතියක් තියෙනවාද?

මට සතුටුයි කියන්න එහෙම එකක් මට නැහැ. මට මතකයි බොලෝඤ්ඤා වලදි වරක් මට උම්බෙර්තෝ එකෝ මෙහෙම කිව්වා “ඔර්හාන් මම අලුත් නවකතාවක් ලිව්ව හැම විටකදීම වැඩි පුර විකිණෙන්නෙ Rose! (සිනාසෙමින්) මට එහෙම දෙයක් නැහැ. මට ආඩම්බරයි කියන්න එක එක රටවල මම ප්‍රසිද්ධ වෙනස් වෙනස් පොත් වලට. චිනයෙ මාව දන්නෙ “My Name is Red” නිසා. ඇමරිකාවේ “Snow” මොකද ඇමරිකාව දේශපාලනික ඉස්ලාම් දහමට කැමති නිසා. තුර්කියෙ ප්‍රසිද්ධ “The Black Book” සහ “A Strangeness in My Mind” කියන කෘති. මගේ වැඩිපුරම විකිණිලා තියෙන පොත් බාගවිට “Snow”, “Museum of Innocence” සහ මගේ ස්වයං චරිතාපදානය “Istanbul” වෙන්න ඇති. සමහරවිට යම් දවසක “The Name of the Rose” වගේ කෘතියක් මමත් ලියාවි!

 

Orhan Pamuk – https://www.google.com/search?q=Orhan+pamuk&tbm=isch&ved=2ahUKEwih8peH1J_6AhVJkdgFHYDEAckQ2-cCegQIABAA&oq=Orhan+pamuk&gs_lcp=CgNpbWcQAzIECCMQJzIFCAAQgAQyBQgAEIAEMgUIABCABDIFCAAQgAQyBQgAEIAEMgUIABCABDIFCAAQgAQyBQgAEIAEMgUIABCABDoECAAQHlDYBljuH2DyImgAcAB4AIABjAKIAeAVkgEFMC41LjiYAQCgAQGqAQtnd3Mtd2l6LWltZ8ABAQ&sclient=img&ei=cL8nY6H6LMmi4t4PgImHyAw&bih=603&biw=122

Night of Plague

https://www.google.com/search?q=Nights+of+Palgue+orhan+Pamuk&tbm=isch&ved=2ahUKEwjhlI-y1J_6AhWwKbcAHabRBYMQ2-cCegQIABAA&oq=Nights+of+Palgue+orhan+Pamuk&gs_lcp=CgNpbWcQAzoECCMQJ1DMB1ijH2CqI2gAcAB4AIAB5gGIAZQUkgEFMC44LjWYAQCgAQGqAQtnd3Mtd2l6LWltZ8ABAQ&sclient=img&ei=yr8nY-GHL7DT3LUPpqOXmAg&bih=603&biw=1229

 

 

Social Sharing
අවකාශය නවතම