ගමනක මුලට ගිය ගමනක්

[සමකාලීන සෛංහලීය ලේඛක නිකර ශේඛරායමාන ගුණදාස අමරසේකර මහාශයන් සිය 94 වන වියට එළැඹෙනුයේ 2022 නොවැම්බර් 12 වන දාය. මේ හෘදයංගම අතීත ආවර්ජනය ඒ නිමිත්තෙනි!]

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විරචිත ස්වාත්ම වෘත්තාන්තය වන ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ කෘතියෙහි පහත එන පාඨය හමුවෙයි.
“….නොබෝ දිනකින් මට ගුවන් විදුලි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් ලියුමක් ලැබුණි. එහි ‘යෞවන සමාජය’ නම් අලුත් වැඩ සටහනක් ආරම්භ කරන මෙන් මට ආරාධනා කොට තිබුණේය.

” ‘යෞවන සමාජය’ වැඩ සටහනින් විකාශනය කිරීම සඳහා මම කෙටි කතා, නාට්‍ය, කාව්‍ය රචනා ආදිය ඉල්ලුයෙමි. මට එවන ලද ප්‍රයත්න පරීක්ෂා කොට ඒවා රචනා කළ අය අතරින් උපනි:ශ්‍රය ඇත්තෙකු සේ පෙනෙන කෙනෙක් සිටී නම් ඔහු ගෙන්වා වැඩ සටහනෙහි යොදවමි.

“මට ගුණදාස අමරසේකරද පළමු වරට හමු වූයේ ඒ දවස් වලය. කිසියම් විදේශ ප්‍රකාශන සමාගමක් විසින් නොයෙක් රටවල ආධුනික ලේඛකයන් විසින් රචනා කරන ලද කෙටි කතාවල සංග්‍රහයක් පළ කරන්නට අදහස් කර අපේ රටින්ද කෙටි කතාවක් තෝරා එවන මෙන් ආරාධනා කරන ලදී. ඒ සඳහා පවත්වන ලද තරගයට එවන ලද කෙටිකතා අතුරින් එකක් තේරීම මටත් එම්. ජේ. පෙරේරාටත් බාර විය. ගුණදාස අමරසේකරගේ ‘සෝමා’ නම් කෙටි කතාව අප විසින් තෝරා ගන්නා ලදී.

“මේ කතාව ඉංග්‍රීසියට පෙරළා යවන්නට සිදු වූ බැවින් මම පරිවර්තන කාර්යය භාර ගතිමි. ඊට එහි කර්තෘ ගුණදාසගේ සහාය මම පැතීමි. විශාල ඇස් සඟලකින් යුත් ඔහුගේ බුද්ධිමත් මුහුණ මගේ දෘෂ්ටි පථයට පිවිසුණු පළමු මොහොත මගේ සිහියෙන් මැකී නොයයි. ගුණදාසගේ කතාව යුරෝපීය හා ආසියාතික තරුණ ලේඛකයන්ගේ කෘති සමග නොබෝ දවසකට පසු ජාත්‍යන්තර සංග්‍රහයක පළ වී තිබෙනු මම දුටිමි. මම ඔහුගේ ‘සෝමා’ ‘යෞවන සමාජය’ වැඩ සටහනින් විකාශනයට පත් කළෙමි. ටික කලක් ගුණදාස මගේ වැඩ සටහනට මට සහාය වූයේය.”

මහාචාර්ය සරච්චන්ද්‍රයන්, උපනි:ශ්‍රය ඇති කෙටිකතා කරුවෙකු වශයෙන් ගුණදාස අමරසේකරයන් නමෝ විත්තියෙන් හැඳින ගත් ආකාරය තත් ග්‍රන්ථ සාධකයෙන් විශද වෙයි. එනයින්ම උපනි:ශ්‍රය ඇති කවියෙකු ලෙසද ගුණදාස අමරසේකරයන් හා හා පුරා කියා හඳුනා ගන්නට ඇත්තේද සරච්චන්ද්‍රයන්ම යැයි අනුමාන කරන්නට පහත දැක්වෙන මුල් කාලීන අමරසේකර කාව්‍ය රචනය අනුබල දෙයි. මෙය පළමු වරට ප්‍රචාරය වී ඇත්තේ සරච්චන්ද්‍රයන් විසින් නිෂ්පාදිතව 1953 අප්‍රේල් මස 24 වැනි දා ඉදිරිපත් කෙරුණු ගුවන් විදුලි ‘යෞවන සමාජය’ වැඩ සටහනෙනි. මවිසින් මේ කාව්‍ය රචනය උපුටා ගන්නා ලද්දේ එකල ගුවන් විදුලියේ සේවය කළ කෘතහස්ත මාධ්‍යවේදී කුලසිරි අමරතුංගයන්ගේ සංස්කාරකත්වයෙන් පළ කෙරුණු
විශිෂ්ට මට්ටමේ වාර සඟරාවක් වූ ‘තරංගිණී’ නම් ගුවන්විදුලි (1953 නොවැම්බර්) සඟරාවෙනි.

සුන්දරත්වය

මල් වැටී විසුරුණ
පාළු ඇළබඩ
ඔබ හා එක්ව
කතාවෙන් තොරව
සැඳෑ අඳුරෙහි
ඇවිදීමට
ප්‍රේමිය,
මා හද
ශෝකයෙන් ළතවෙයි.
එහෙත්,
මම එය නොපතමි.
එහි කිනම් සැපතක්ද?

සොඳුර,
පියකරු උදයක
ගලා යන
හිරු රැසින් යුත්
කාමරයෙහි
ඔබ අසලට වුත්
ඔබේ මොළොක් සුරත ගෙන
මා මුහුණට
තද කළ විට
ඔබ
ප්‍රේමයෙන් නඟන
සිනහව
ඇසීමට
සොඳුර
දිවා රෑ
මා හද ළතවෙයි.
එහෙත්,
මම එය නොපතමි.
එහි කිනම් සැපතක්ද?

රාත්‍රියෙහි
දික් මේසය අසල
නැඹුරු වී
පොත් බලන
ඔබේ
සිහින් කෙස් රොදක්
අතැඟිලි අගින් ගෙන
පටලවන විට
ඔබ හිසොසවා
නෙතගින්
මා දෙස
බලනු දැක්මට
සොඳුර,
මා හද
ශෝකයෙන් ළතවෙයි.
එහෙත්,
මම එය නොපතමි.
එහි කිනම් සැපතක්ද?

ඔබ හා
එක් වන මට
ඔබේ
සුන්දරත්වය
නොවැටහෙතියි මට සිතේ.
සුන්දරත්වය ඇත්තේ
එක් වීමෙන් තොර
ඒ ශෝකී
සිතුවිල්ලෙහිය.

මහාචාර්ය සරච්චන්ද්‍රයන් තෙමේම ආංගල බසට නගා ලොවට හඳුන්වා දුන් ‘සෝමා’ කෙටි කතාව පසුව ගුණදාස අමරසේකරයන්ගේ නෑඹුල් කෙටි කතා සංග්‍රහය වන ‘රතු රෝස මල’ කෘතියට ඇතුළු වූ අතර ‘සුන්දරත්වය’ නමැති කාව්‍ය රචනය සපුරා සැකසී ඔහුගේ නෑඹුල් කාව්‍ය සංග්‍රහය වන ‘භාව ගීත’ කෘතියට ඇතුළුව ඇත.

සාහිත්‍ය විචාරකයෙකු හැටියට මතුවීමටද අමරසේකරයන්ට මග හෙළි කරන්නට ඇත්තේ සරච්චන්ද්‍රයන්ම විය හැකි බැව් සිතන්නට අමරසේකරයන්ගේ පළමු සාහිත්‍ය විචාර ග්‍රන්ථය වන ‘විනෝදය හා විචාරය’ (එය ගුණසේන සමාගමේ ළිහිණි පොතකි.) අනුබල දෙයි. 1955 වර්ෂයේ පළමු වරට පළ වුණු ඒ කෘතිය සම්පාදනය කොට ඇත්තේ අමරසේකරයන් විසින් ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කරන ලද ශාස්ත්‍රීය කතා කීපයක් සංග්‍රහ කිරීමෙනි. ඇතැම් විට ඒවා ප්‍රචාරය වන්නට ඇත්තේ සරච්චන්ද්‍රයන් විසින් නිෂ්පාදිත ‘යෞවන සමාජය’ වැඩ සටහන ඔස්සේ හෝ එකල ඔහුගේම උපදෙස් මත ආරම්භ කරන ලද ගුවන් විදුලි ‘ශාස්ත්‍රීය සංග්‍රහය’ ඔස්සේ විය හැකිය. එකල බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ Second Programme නමින් ප්‍රචාරය වුණු වැඩ සටහන සිහි කරමින් සැකසුණු ලංකා ගුවන් විදුලි ‘ශාස්ත්‍රීය සංග්‍රහය’ සඳහා සංඥා වාදනය වශයෙන් යොදා ගැනුණේ භාරතයේ විසූ දුර්ලභ ගණයේ වාදන චාතූර්යකින් සහෘද ජන හෘදය රංජනය කළ ශංකර් රාව් නම් ගාන්ධර්වේශ්වරයා විසින් වාදිත ජෝගියා රාගය ආත්ම කරගත් කර්ණ රසායන ඒකල ෂෙහනායි වාදනයකි. එය දැනුදු මගේ දෙකන්හි නාද නින්නාද වීම කාට නම් වැළකිය හැකිද? එම සංඥා වාදනය තෝරා දී ඇත්තේද සාහිත්‍යය මෙන්ම සංගීතය විෂයෙහිද හසළයෙක් වූ මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසින් බැව් ප්‍රකටය.

මෙවේලේ මගේ මතකය තුදුස් වසරක් අතීතයට ඇදී යයි. ගුණදාස අමරසේකරයන් අසූ වියට එළැඹුණේ 2009 වර්ෂයේ නොවැම්බර් මස 12 වැනි දාය. එම ජන්මෝත්සවය නිමිති කර ගෙන 2008 වර්ෂයේ නොවැම්බර් මස 12 වැනි දින පටන් 2009 වර්ෂයේ නොවැම්බර් මස 12 වැනි දින දක්වා පුරා වසරක් තිස්සේ ඔහුගේ සාහිත්‍ය හා සමාජ සේවය ප්‍රත්‍යවලෝකනය කිරීමේ වැඩ සටහන් මාලාවක් ආරම්භ කෙරුණි. එය සංවිධානය වූයේ ‘විසිදුනු’ ග්‍රන්ථ ප්‍රකාශන ආයතනාධිපති ගෙවිඳු කුමාරතුංගයන්ගේ පුරෝගාමිත්වයෙන් හා අනුග්‍රාහකත්වයෙනි. එහි ප්‍රාරම්භ උත්සවය පවත්වන ලද්දේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය. එහිදී තම දේශනය පැවැත්වූ අමරසේකරයන් එය අවසන් කළේ මේ වචනවලිනි.
“මට තියෙන්නෙ පුංචිම පුංචි ‘ම’ යනු දෙකක්.”

ගුණදාස අමරසේකරයන්ගේ චරිතාංග මගින් එකී කියමන මනාව සනාථ වෙතියි යනු මගේ අවංක හැඟීමයි. අඩ සිය වසක් සා දිගු කලක් ඔහු ඉතා සමීපව හා ළැදිව ඇසුරු කිරීමෙන් මා ලත් අත්දැකීම් ඊට සාක්ෂි සපයයි. මහා ලේඛක මාර්ටින් වික්‍රමසිංහ ප්‍රාඥයන් සමග අමරසේකර ලේඛකයාණෝද මගේ විවාහයේ සාක්ෂිකරුවෙක් වූහ.

2009 වසරේ නොවැම්බරයේ පැවැත්වීමට නියමිතව තිබුණු අමරසේකර ප්‍රත්‍යවලෝකන සමාප්ති උත්සවයට පෙර පැවැත්වුණු උත්සව මාලාවේ අවසාන උත්සවය වශයෙන් එක්තරා වෙසෙස් උළෙලක් සංවිධානය කොට තිබුණි. ‘නිජබිම ආවර්ජනා’ යනුවෙන් නම් කෙරුණු එහි ආරම්භක උලෙළ පැවැත්වුණේ 2009 වසරේම ඔක්තෝබර් මස 25 වැනි ඉරිදා ප්‍රභාත කාලයේ යටලමත්ත විදුහල් පරිසරයේදීය. අමරසේකරයන් පළමුව මෙලොව එළිය දුටු තිඹිරි ගෙය වන ගුරු නිවාසය අයත් එම පාසල ඊට පතිරූප දේසයක් වීය. ඔහු එම පාසලේ ගුරු නිවස තුළ උපත ලබන විට ඔහුගේ මවු තොමෝ එහි මුල් ගුරුවරිය වූවාය. ප්‍රකට වෙදැදුරෙක් වූ පියා විද්‍යෝදය පරිවේණාධිපති වරයෙකුව වැඩ හුන් මහා පඬි බද්දේගම පියරතන නා හිමිපාණන්ගේ එක කුස හොත් බාල සොහොයුරා විය. එදිනම නිශා භාගයේ කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාර එළිමහන් භුමියේ පැවැති අමරසේකර කාව්‍ය රසාස්වාද මණ්ඩපයකි. ඔක්තෝබර් 26 වැනි සඳුදා ගාලු පුරහලේ මුළු දුන් මහා සාහිත්‍යෝත්සව සභාව ‘නිජබිම ආවර්ජනා’ වෙසෙස් උළෙලේ සමාප්ති අංගය වුණි.

ගුණදාස අමරසේකර ප්‍රත්‍යවලෝකන වැඩ සටහන් මාලාවට අයත් ‘නිජබිම ආවර්ජනා’ වෙසෙස් උලෙළට සහභාගී වනු වස් අප එදා කොළඹ සිට යටලමත්ත බලා ගියේ විශේෂ බස් රියකිනි. ගුණදාස අමරසේකරයන් සහ ඔහු බිරිය චන්ද්‍රාවන් , කේ. ජයතිලකයන් සහ බිරිය සුමනාවන් , තිස්ස කාරියවසමුන් , ගුණසේන විතානයන් , ලීලානන්ද ගමාච්චීන් , ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේයන් , ගෙවිඳු කුමාරතුංගයන් , දයාපාල ජයනෙත්තීන් සහ මා ඇතුළු සාහිත්‍ය ලෝලීන් විශාල පිරිසක් එදා එම බසයේ එකට ගමන් ගත් අයුරු මෙවේලේ මගේ සිහියට නැගෙයි. අමරසේකරයන්ගේ හැම්මෑලියේ මහ ගෙදර අසලදී ඔහුගේ එක කුස ඔත් වැඩි මහල් සොහොයුරු ධර්මදාස සූරියආරච්චි අමරසේකරයන්ද (සූරියආරච්චි නාමය ගුණදාස අමරසේකරයන්ටද වෙයි.) අප ගිය බසයට ගොඩ වුණා මට මතකය.

අමරසේකරයන්ගේ උපතට තිඹිරි ගෙය වූ ගුරු නිවාසය අයත් ඔහුගේ මුල් පාසල වන යටලමත්ත විදුහල කිසිදු වෙනසකට භාජන නොවී පෙර සේම පැවති බව අපි එදා දුටුවෙමු. අමරසේකරයන් විසින් ප්‍රකාශිත මහාර්ඝ කෙටි කතා සංග්‍රහයක් වන ‘ජීවන සුවඳ’ කෘතියෙහි එන ‘ආපසු ගමන’ නම් ආත්ම චරිතාත්මක කතාවේදී මෙම සංවාදාත්මක හා වර්ණනාත්මක පාඨය හමුවෙයි.

අම්මා යළිත් නැවතිල්ලේ කියවන්නට විය.
‘උඹ දුව පැන ඇවිදින කාලෙ තමයි මේ ඔක්කොම වැඩ ඉවර කරල ඔය කාමරෙත් හදල මුළු ස්කෝල සාලෙම සිමෙන්ති දැම්මෙ. තවම ඇති ඒ සිමෙන්ති දාපු පාර උඹ තියාපු අඩි…….. ඔය සිමෙන්ති දාන දවසක අපි ගාලු ගිහිල්ල පස්ස පැත්තෙන් කාමරේට ඇවිල්ල දොර ඇරී හැටියෙ උඹ ස්කෝල සාලෙට දුව ගෙන ගියා. තවම ඇති ඒ තියාපු අඩි අගේට’ යි කී ඈ නැගිට ස්කෝල සාලයෙහි ගුරු නිවාසයට ඇතුළු වන දොර අසලට ගියාය.

‘මේ තියෙන්නෙ……. මේ දුවගෙන ගිය අඩි’ යි කී ඈ මට ඒ මගේ අඩි පාරවල් පෙන්වුවාය.
‘මම , හා පුතේ මෙහේ මෙහේ කියලා කෑ ගැහුවා. ඒ පාර ආපහු දුවගෙන ආපු අඩි තමයි මේ’ යි කී ඈ ආපසු පැමිණි අඩිද පෙන්වුවාය.
‘මේව තව සැරයක් සිමෙන්ති දානකන් මෙහෙම තියේවි.’

‘නිජබිම ආවර්ජනා’ උලෙළට සහභාගී වනු පිණිස යටලමත්ත විදුහලට ගිය අප කවුරුත් එහි විදුහල් සාලයේ පැරණි සිමෙන්ති පොළොවේ කොටු කර තිබුණු එක්තරා වෙසෙස් තැනක් වෙත නෙත් හෙළමින් බලා උන්නේ මහත් කුහුලිනි. අසූ වියට එළැඹි අමරසේකරයෝද එතන අප ඉදිරියේ නැගී සිටිති. ඔහු තම විසල් නෙත් සඟල විදහා මඳක් ඉරි තැළී ගිය සිමෙන්තියේ තවමත් ඉතිරිව ඇති තම බිළිඳු පතුල් සටහන දෙස එබී බැලුවේ බලවත් හැඟීමෙකිනැයි සිතමි

මා කලින් උපුටා දැක්වූ කෙටි කතා පාඨයට අනතුරුව එම කතාවේ එන ආඛ්‍යාන පාඨය මෙසේය.

“නැඹුරු වී ඒ දෙස බලා උන් මට ඒවා අතගා බැලීමටද සිතිණ. මම නැඹුරු වී ඒවා අතගා බැලුවෙමි. ‘මාපට ඇඟිල්ල , අනික් ඇඟිලි , විලුඹ’ ඒ සියල්ලම එහි ඇත. මම මගේ දෙපා දෙස හැරී බැලුවෙමි.එක්තරා සතුටකින් විස්මයකින් හා ස්නේහයකින් මගේ හිත වෙළී යන්නා සේ මට දැනිණ. ‘මගේ නේද? අනේ දෙයියනේ මේ ඔක්කොම මගේ නේද?’ යි මම අවට දෙස බලමින් මටම කියා ගතිමි. මේ සියල්ල ඇද වැළඳ ගැනීමට තරම් ප්‍රේමයකින් මගේ සිත මොලොක් වූවා සේ මට දැනිණ. මගේ දෙනෙත් තෙත් වී ඇතැයි මට හැඟිණ.”

තම බිළිඳු වියේ පතුල් සටහනට එබී
බලා නැගී සිට සිනා මුහුණින් අප දෙස බැලූ , අසූ වියට එළැඹි ගුණදාස අමරසේකරයන්ගේ මුහුණ දකිත්ම යට කී කෙටි කතා පාඨය මගේ සිහියට නැගෙනු කෙසේ නම් වැළකිය හැකිද?
තම තිඹිරි ගෙය වන එම පැරැණි ගුරු නිවාසයට අප සමග ඇතුළු වුණු අමරසේකරයන් කුඩා වියේ තමා එහි උන් හිටි තැන් , කළ කී දෑ අපට නොසඟවා හෙළි කළේ බලවත් ආසාවෙනි. එවේලේ ඔහුගේ ‘ආවර්ජනා’ කාව්‍ය සංග්‍රහයෙහි එන ‘නිජ බිම ආවර්ජනා’ නම් කාව්‍ය රචනය මගේ මතකයෙන් මතු වූයේ ඉබේය. අමරසේකරයන් එය රචනා කර ඇත්තේ වරක් විදුහල්පතිගේ ආරාධනයෙන් යටලමත්ත විදුහල් උලෙළක විශේෂ අමුත්තා වශයෙන් එහි ගිය අවස්ථාවක ලද හෘදයංගම අත්දැකීම් වස්තු කර ගනිමිනි. එවේලේ ඔහු අපට හෙළි කළ අතීත සැමරුම් අසා සිටින මට ඔහුගේ ‘නිජබිම ආවර්ජනා’ කාව්‍ය රචනයේ එන තම හද බසින් බැඳි මේ පැදි වහා සිහි වනු කවර අරුමයක්ද?

මේ මගේ නිජ බිමයි
මකව් සිත දිනු බිමයි
මෙහි සෑම අඟලක්ම
පිදුම් ලැබ ඇත මහද

මෙය නොවෙද අප එදා
විසල් ගෙයකැයි සිතූ
පස් දෙනම රැඳී උන්
දෙපැත්තෙහි ඇඳන් තැබු
කවුළු දෙකකින් සැදුණු
නිවාසය ‘අපේ ගෙය’

තුටින් මත් මට නොහැක
නොපෙන්වා සිටින්නට
තිබුණු තැන අපේ ඇඳ
මා කැටිව එන ඔහුට

අර ඇඳේ බුදියෑවෙ
නඟයි අම්මයි අපේ
මම උපන්නේ අතන
කෑම කාමරයේලු
මගෙ නෙතට හුරු පුරුදු
ඒ අඳුර තවම ඇත
අත ගෑමි විසල් දොර
ඇරෙන සාලාව වෙත

මෙතන ඉඳ ගෙන තමයි
සියලු කව් රස වින්දෙ
මගේ මව උගැන්නුව
සැල ළිහිණි ගුත්තිලය
දැන ඇඳින ගත්තෙ මම

‘නිජබිම ආවර්ජනා’ ආරම්භක උත්සවය පැවැත්වුණේ වෙනත් තැනක ගොඩ නගන ලද යටලමත්ත අලුත් විදුහල් සාලාවේය. එහි ප්‍රධාන දේශකයා වූයේ මහාචාර්ය තිස්ස කාරියවසම්හුය. උත්සව සභාවට සහභාගී වූ සම්භාවනීය පිරිස අතර මාර්ටින් වික්‍රමසිංහ ප්‍රාඥ ලේඛකයාණන්ගේ බාල පුත් වෛද්‍ය රංග වික්‍රමසිංහයන් සමග වැඩිමහල් දියණිය රූපා සපරමාදු මහත්මියද වූවාය. උලෙළ අවසානයේ ගුණදාස අමරසේකරයන් නමින් යටලමත්ත විදුහලේ දක්ෂතම කුඩා සිසු දැරියට ශිෂ්‍යත්වයක්ද පිරිනැමුණි. එවේලේ යළිත් ඉබේම මගේ සිහියට නැඟුණේ පෙර සඳහන් කළ ‘නිජබිම ආවර්ජනා’ කාව්‍ය රචනයේ ආද්‍යන්ත පද්‍ය යුගලයයි.
මේ එහි ආදි පද්‍යයයි.

දෙඇස් දල්වා බලත්
ගොළු බසින් මුසපත්ව
හොටු පෙරා ගත් මුහුණු
විහිදුවා දෙකන් පෙති
විරිත්තා දත් දෙපෙළ
කවුද මේ තැනැත්තා
දිස්න දෙන රියෙන් බට
ගුරුතුමා කැටිව යන

එය අන්ත වන්නේ මේ පද්‍යයෙනි.

ඉටා ගත්තෙමි මෙදින
මගින් සොටු පෙරි මුහුණු
මකා ලමි මපිළිබිඹු
අරිමි තා වෙත මහද
උගත්තෙමි තා වෙතින්
මෙතෙක් නූගත් වදන
තවෙත එමි ළඟ දිනක
විබුද කවියර ලෙසින

– කරුණාරත්න අමරසිංහ –
උපුටාගැනීම : ෆේස්බුක්

Social Sharing
අවකාශය නවතම