පොලීසියට මූළික අයිතිවාසිකම් උළ්ලංඝනය කරන්න බැහැ – HRCSL

 

රාජ්‍ය මර්දනයට එරෙහිව වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන විරෝධතා රැලියක් සහ පා ගමනක් අද (02) පස්වරුවේ කොළඹදී පැවැත්වේ.
මේ සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මෙම පා ගමන අධීක්ෂණය කිරීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් යෙදවීමට අපේක්ෂා කරන බවයි.

පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කළ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සඳහා භාවිත නොකරන ලෙසත් මෙම අවස්ථාවේ යම් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සිදුවුවහොත් එය රටට බරපතළ ප්‍රතිවිපාක ඇති කළ හැකි බවත් මානව හිමිකම් කොමිසම පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙම නිවේදනය නිකුත් කළේ, අද පැවැත්වීමට සාමකාමී පා ගමනට අවසර ලබාගන්නැයි පොලීසිය නීති විරෝධී ලෙස දැනුම් දී ඇති බවට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ලකට ප්‍රතිචාර දක්වමිනි.

මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු යන මැයෙන් අද පස්වරුවේ විරෝධතාව ආරම්භ වන්නේ මරදානේ සිටයි.

සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, නිදහස ජාතික සභාව හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් මෙන්ම ශිෂ්‍ය සංවිධාන, වෘත්තිය සමිති ඇතුළු බහුජන සංවිධාන රැසක නියෝජිතයින් ඊට සහභාගී වනු ඇත.

පිරිස කොළඹ කොටුව දුම්රියපොළ දක්වා පා ගමනින් ගොස් එහි විරෝධතා රැළියක් ද පැවැත්වීමට නියමිතයි.

HRCSL Press Notice on 01 11 2022 and HRCSL letter to Ministry of Public Security on 28 10 2022

Social Sharing
නවතම