The Guest List | ගෙස්ට් ලිස්ට්

අයර්ලන්ත මුහුදු සීමාවේ හුදකලා දූපතක පැවැත්වෙන, සෝබන පිරුණු විවාහ මංගල්‍යයක්; මනාලයා – විල් ස්ලේටර්, කඩවසම් රූපවාහිනී තරුවක්; මනාලිය – ජූල්ස් කීගන්, ස්වෝත්සාහයෙන් දියුණු වූ ඔන්ලයින් සඟරාවක හිමිකාරිණියක්. පරිච්ඡේදයෙන් පරිච්ඡේදය ලියවී ඇත්තේ මංගල සැලසුම් ශිල්පිනිය, දෙවන මනාලිය සහ මනාලිය ඇතුළු තවත් අයගේ දෘෂ්ටිකෝණවලිනි. ප්‍රධාන චරිත සියල්ලේම පාහේ හෘද අභ්‍යන්තරයේ කැලතෙන සිතුවිලි පොදි කතාව අවසානය දක්වා දිග හැරේ.

ඔබ බලාපොරොත්තු වන්නේ කතාරම්භයේ සිදුවන මිනිමැරුමක්, ගලායෑම තුළ හමුවන සාක්ෂි හෝඩුවාවන් සහ කතාවසානයේ මාංචු වැටෙන මිනිමරුවෙක් පිළිබඳ සුලබ මිනිමැරුම් අබිරහසක් නම්, The Guest List ඔබ වෙනුවෙන් නොවෙයි.

මෙහි, පැය හතළිස් අටක් පමණක් තුළ සිදුවන සිදුවීම් පෙළක් පිටු පන්සියයක් පුරා දුවන අතර ඒ පැය හතළිස් අට එකිනෙකාගේ දෘෂ්ටි කෝණවලින් ලියවී තිබෙන අයුරු අපූරුය. සිනා මුහුණු යටින් එකිනෙකාගේ හදවත් මධ්‍යයේ රිදුම් දෙන තැන්, බිඳවැටුණු තැන්, පෑරුණු තුවාල ඇදුම්කන තැන් සහ පශ්චත්තාපීය සිතුවිලි වෙන වෙන ම අවබෝධ කරවමින් කතාව දිවයයි.

පසුවදන කියවා, දූපතෙන් පිටව යෑමට වාසනාව අහිමි වන අමුත්තා කවුදැයි දැනගැනීමේ පිපාසයෙන්, මොහොතින් මොහොත එක් එක් චරිත කෙරෙහි අනුකම්පාව, කේන්තිය, සහකම්පනය සහ කණගාටුව පළ කරමින් එක හුස්මට කියවාගෙන යා හැකි කතන්දරයකි.

පරිවර්තන කාර්‍ය ඉස්තරම් ය. මම හුදකලා, මූසල දූපතක සිරවී සිටින බැව් හැඟෙන තරමට දූපතේ ශාපලත්, අඳුරු, මරණීය, කාලකණ්ණි ස්වභාවය විස්තර කර ඇත. මගේ විවාහය පිළිබඳ මා වද වෙන බවක් දැනෙන තරමට ම විවාහ මංගලෝත්සව ලක ලැහැස්තිය ගැන වර්ණනා ය. මුල් කෘතියේ සඳහන්, අපි නොදන්නා යුරෝපීය යෙදුම් බොහොමයක් ගැන කුඩා පැහැදිලි කිරීම් ද ඇතුළත්ව, කියවාගෙන යාමට පහසු සුන්දර ශෛලියකින් පරිවර්තිත ය.

මගේ පුද්ගලික හැඟීම නම්, මිනීමැරුමක් ගැන කුතුහලයෙන් පසුවීමට වඩා විවිධ පුද්ගලයන්ගේ සිත් සන්තානවල දුක්ඛිත, ඛේදනීය සහ වංචනික ස්වභාවය කියවාගැනීමට මෙම කෘතිය අපිට ඉඩ හසර සපයා දුන් බවයි.

ඊට අමතරව මගේ සිත් ගත් කුඩා ඡේදයක් මෙහි අමුණා තබන්නම්,

“විවාහයක් කියන්නේ ලෝකේ ඔයා හොඳටම දන්න පුද්ගලයාව හොයාගන්න එක මිසක්, අනික් කෙනා කෝපි බොන්නෙ කොහොමද කියන එකවත්, එයාලගෙ කැමතිම චිත්‍රපටිය හරි, මුලින්ම එයාලා හදපු පූසගෙ නම දැනගන්න එක හරි නෙවෙයි. ඊට වඩා ගැඹුරින් අනික් කෙනා ගැන අවබෝධයක් තියෙන්න ඕනෙ. අනික් කෙනාගේ ආත්මය ගැන, හිත ගැන දැනගෙන ඉන්න එකයි වැදගත්ම දේ.”

කෘතිය : The Guest List
කර්තෘ : Lucy Foley
පරිවර්තක : නිලේකා ධනංජනී ගුණවර්ධන
ප්‍රකාශක : මියුසස්

උපුටාගැනීම : ෆේස්බුක්

Social Sharing
අවකාශය නවතම