ජිනීවාවලට ශ්‍රී ලංකාව ගැන අලුත් යෝජනාවක්

ලබන 12 වැනි දා ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්ලසයේ 51 වන සැසිවාරයේදි මෙරට මානව හිමිකම් කඩවීම් හා උල්ලංඝනයවීම් හා වගවීම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මුලිකත්වයෙන් නව යෝජනාවක් ඉදිරිපත් වෙන බව වාර්තා වෙයි.

මේ අනුව අරගලකරුවන් සම්බන්ධයෙන් සිදුවන මානව හිමිකම් කඩකිරීම්, අත්අඩංගුවට ගැනීම්, හදිසි නීතීය ක්‍රියාත්මක කිරීම , අහෝසි කරනු ලබන තෙක් ක්‍රියාත්මක නොකරන බවට පොරොන්දු දී ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත ක්‍රියාත්මක කිරීම හා එමගින් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්චිතයින්ට යුක්තිය ඉටු නොවීම යන කරුණු සමග පරණ කරුණු ද මෙම නව යෝජනාවට ඇතුලත් වන බව එම යෝජනා සකස් කිරීම සඳහා දායකවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් ලංකාදීපයට ප්‍රකාශ කර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී. එම් . ඒ සුමන්තිරන් එහිදී ප්‍රකාශ කරන්නේ මෙම යෝජනාවට ඇමෙරිකාව, කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියා, මලාවි ඇතුළු රටවල්ද අනුග්‍රහය දක්වන බවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වන සැසිවාරයේ දි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වු 46/1 යෝජනාවේ කාලය අවසන්වීම හේතුවෙන් නව යෝජනාවක් මෙලෙස සම්මත කිරීමට තීරණය කර ඇත.

මෙම යෝජනාවට 2012 වසරේ සිටම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වු යෝජනාවල ඇතුළත් ක්‍රියාත්මක නොවුණු කරුණු හා නිර්දේශ මෙන්ම 46/1 යෝජනාවේ සඳහන්ව ක්‍රියාත්මක නොවුණු කරුණු ද ඇතුළත් කිරීමට නියමිත බව ඒ මහතා ප්‍රකාශ කරයි.

මෙරට සිදුවු මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට සාමාජිකයන් අට දෙනකුගෙන් යුත් ආයතනයක් පත් පිහිටුවීම පිළිබඳ ද නව යෝජනාවට ඇතුළත් වනු ඇත.

තවද ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලබා ගැනීම, යුද්ධය හේතුවෙන් අතුරුදන්වුවන් වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීම හා වගවීම යන කරුණුද මෙම යෝජනාවට ඇතුළත් කෙරෙනු ඇත.

 

 

Social Sharing
නවතම පුවත්