ඩොනා සමග යාබද අසුන්වල හිඳගෙන අන්තිම වතාවට පිච්චර් එකක් බැලූවේ මම ය. ඒ මේ අවුරුද්දේ (2022) අප්‍රේල් 23 වැනි දා හැන්දෑවේ කොළඹ තරංගනී සිනමා ශාලාවේදී ය. එහි පැවති සෝමසිරි දෙහිපිටිය සමරු උත්සවය සංවිධානය කළේ සෝමසිරි පුත් දමිත් හා දියණිය නයනාංජලී ය. මම ද සංවිධාන කාර්යයන්ට යම් පමණින් සහය වීමි. උත්සවයට දින දෙක තුනකට කලින් කුරුණෑගල සිට දුරකථනයෙන් මා ඇමතූයේ මා මිත්‍ර දොස්තර ආසිරි මුණසිංහ ය. ‘සමන් අයියාගෙ යාලූවෙක් එක්ක අපි සෙට් වෙලා ඉන්නෙ…’ ඔහු කීය. ආනන්ද සෝමසිරි නිවසේදී ඔවුන් සෙට්වී තිබුණේ ඩොනල්ඩ් කරුණාරත්න සමග ය. අමෙරිකාවේ සිට ඩොනා ලංකාවට පැමිණ ඇති බව මා දැනගත්තේ ඒ වෙලාවේ ය.
සෝමසිරි උපහාර උළෙල ගැන මම ඩොනාට කීවෙමි. පසුදා දමිත් ලවා නිල ආරාධනයක් ද කළෙමි. උත්සවයට සහභාගීවීමට ඩොනා පැමිණියේ එලෙස ය. අප යාබද අසුන්වල හිඳගෙන පරණ පම්පෝරි සිහිපත් කළෙමු. සමරු උත්සවය අවසානයේ එහි තිරගත වූයේ වසන්ත ඔබේසේකර අධ්‍යක්‍ෂණය කළ ‘දියමන්ති’ චිත්‍රපටයයි. එහි ආරම්භයේ එන විනාඩියක පමණ කාලයක් පුරා දිවෙන තනි අත් කැමරා දර්ශනය ගැන මම ඩොනාට කීවෙමි.
‘ස්ටෙඩි කැම් නැති කාලෙක උඹ අර බරපතල කැමරාවකුත් උස්සගෙන, පොඩියක්වත් ගස්සන්නෙ නැතුව මේ ෂොට් එක ගත්තු එක විශ්වකර්ම වැඩක් මචං. ඒ දවස්වල මේ ෂොට් එතට අපි පිස්සු වැටිලා හිටියේ…’ ඩොනා සිනාසුණා පමණි. පසුව චිත්‍රපටය ඇරඹි. එකී දර්ශනය තිරයේ දිස්වූ පසු – ‘උඹකිව්වෙ ඇත්ත නේන්නං. මරුවට අරන් තියෙනවා ඒ ෂොට් එක..’ ඇඟට පතට නොදැනී ඩොනා රහසින් මට කෙඳිරීය. ඩොනා එහෙම මනුස්සයෙකි. තමන් ගේ වැඩ ගැන කයිවාරු නොගසා, වැඩේ තිතට කළ වැඩකාරයෙකි. ඔහුගේ සිනමා සහ ටෙලි නිර්මාණ සමුච්චය ඊට කදිම උදාහරණ ය. ඒ ගැන බොහෝ දෙනෙක් කතා බහ කරන නිසාත්, ඒ ගැන බොහෝ දෙනක් දන්නා නිසාත් නැවත සිහිපත් නොකරන්නෙමි.
අවසන්වරට ඩොනා මට හමුවූයේ මැයි 07 වැනි දා දමිත් දෙහිපිටිය නිවසේදීය. සිය පියාගේ උපහාර උත්සවය සම්බන්ධයෙන් වෙහෙස වූ සහෘදයන් කීප දෙනෙකු වෙනුවෙන් ඔහු සංවිධානය කළ සැඳෑ සාමීචියක දී ය. එදා හෝමාගමට ගොස් ඩොනාව රැගෙන ඒමත්, සාමීචියෙන් පසුව ඩොනා යළි හෝමාගම නිවෙසට ඇරලවීමත් මට බාර වී තිබිණි.
ඒ වෙන විට අමෙරිකාවේ සිට පෙරළා පැමිණ ඩොනා සහ ඔහුගේ බිරිඳ ශිරානි හෝමාගම නිවාස සංකීර්ණයක පදිංචි වී සිටියහ.
මේ පවුලට මා සම්බන්ධ වෙන්නේ පාර්ශව දෙකකිනි. එකක් ඩොනා ගේ පාර්ශවයයි. අනෙක ඩොනාගේ බිරිය, ශිරානිගේ පාර්ශවය යි. ඇගේ පියා ලංකාවේ කීර්තිමත් ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වූ ක්‍රිස්ටි සෙනෙවිරත්න ය. ලේක් හවුසියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ක්‍රිස්ටි ජීවිතයේ අවසන් කාලයේ සේවය කළේ ගුවන් විදුලියේ ක්‍රීඩා අංශයේ අප සමග ය. ක්‍රිස්ටිත් ඩොනා වැනි ම ප්‍රාමාණිකයෙකි. ක්‍රිස්ටිට ගහන්න ක්‍රිකට් ගැන ඉංගිරිසියෙන් ලියන්න කෙනෙක් අද ද ලංකාවේ නැත.
එදින සාදයට පැරණි මිතුරන් කීපදෙනෙක් ද එක් වී සිටියහ. කීර්තිමත් ශබ්ද පරිපාලක ලාල් දිසානායක, ප්‍රවීණ පුවත්පත් කලාවේදී පී. බී ඉලංගසිංහ, ජ්‍යේෂඨ විද්‍යුත් මාධ්‍යවේදී පියදාස රත්නසිංහ ඒ අතර විණි. දිලීප ජයකොඩි, මාලක දේවප්‍රිය ඇතුළු තවත් සහෘදයන් කීප දෙනෙකුද සැඳෑ සාමීචිය රස පූර්ණ කළහ.
ඒ අපේ අතීත ඉස්ටෝරුව සම්පූර්ණයෙන්ම දොරගුලු හැර දැමූ සොඳුරු රැයකි. දිසානායක චිත්‍රපටවලින් පටන්ගෙන හන්තානේ හරහා අහස් ගව්ව නැඟ, තලකොටුව වත්ත හරහා, අනන්ත කතා සරිත් සාගරයක රස්තියාදු ගසා, පාන්දර ජාමේ අප කෑමට හිඳගත්තේ බඹරු ඇවිත් ලීලාවෙනි. ඩොනා හැරලීමට යන අතරතුර අප දෙදෙනා කතා බහ කළේ ඉදිරියේ කරන්නට අපේක්‍ෂිත මියුසික් වීඩියෝවක් ගැන ය.
‘හොඳ වැඩක්. අපි කරමු මචං’ සමුගනිද්දී ඩොනා කී ය.
නමුත් සති කීපයක් යාමට පෙර ඩොනා යළිඳු අසනීප තත්වයෙන් පෙළෙන්නට විණි. යටපත් වී තිබූ පිලිකාව ඔහු යටපත් කරමින් නැඟී සිටින්නට පටන් ගති. වැඩි දුර ප්‍රතිකාර සඳහා නැවත ඔහු අමෙරිකාවට ගෙන යන්නට පවුලේ උදවිය තීරණය කළහ. ඩොනා ගෙනා කාලය අවසන් වෙමින් පැවතිණි. සති ගණනාවක ප්‍රතිකාරයන්ගෙන් පසු රෝහලෙන් ඔහු මුදා හැරියේ ය. ජීවිතයේ අවසන් කාලය ඔහු ගත කළේ නිවසේ ය. අප හිතවත් භද්‍රජී විටින් විට ගොස් ගීත ගයමින් ඔහු සැනසීය. ලොස් ඇන්ජලීස්හි වෙසෙන නන්ද හිමියන් ප්‍රධාන ස්වාමීන්වහන්සේලා පැමිණ පිරිත් දෙසූහ. හැමදා ඩොනා බලා කියා ගත් ශිරානි ඔහුට සියළු ඇප උපස්ථාන කළා ය. අපටත්, ලාංකේය සිනමාවටත් කිසිදා අමතක නොවන මතක රැසක් ඉතිරි කරමින්, ඩොනා අගෝස්තු 28 වැනි දා යන්න ගියේය.
අහස් ගව්ව චිත්‍රපටයට චන්ද්‍රසිරි පල්ලියගුරු ලියූ ගීතයේ මෙසේ සඳහන් ය.
‘ඉර හඳ නැති වී – සුළඟ සුසුම්ලන දවසක් ඇවිදින් උදාගිරෙන්
කඳුලත් සුසුමත් හදින් ගලන තෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ’’
අපිදු ඩොනාට එය ම කියමු.
කඳුලත් සුසුමත් හදින් ගලන තෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ….!!
– සමන් ආතාවුදහෙට්ටි –
උපුටාගැනීම : ෆේස්බුක්