මම එයාගෙ මලගෙදර ගියා………!

මිනිය ඉස්සරහ මල්වඩමට ටිකක් මෙහායින් රෝද පුටුවක ගෑනු කෙනෙක් හිටිය. සුදුපාට ගවුමක් ඇඳගෙන හිටපු එයාගෙ ඇස් කඳුළුවල බරට රතුපාටට කඩාගෙන වැටිල තිබුන . මම හිටපු ඒ කෙටි කාලය අතරතුර විතරක් එයා රෝද පුටුව උඩ හතර සැරයක් සිහිනැතුව වැටුන.

මිනී දෑතේ ඇඟිලි බිත්තර අස්සෙ තෙරපිලා සුදු රෝසමල් පොකුරක් තිබුන . ඒව ඇඬුවද වැළපුනාද කියල මට මතක නෑ . පොල්තෙල් පාන නම් දෙපැත්තට වැනි වැනී හොඳටම කම්පාවෙලා හිටිය . ප්‍රශ්න අමතක කරන්ඩ කියල පාන්වැටි හොඳටම පොල්තෙල් බිව්ව. ප්‍රශ්න අමතක කරන්ඩ බොන එක හරිම මෝඩ වැඩක් කියල එම්බාම් කාරයෙකුයි උත්තර පත්‍ර පරීක්ෂා කරන කෙනෙකුයි මගෙ සමරු පොතේ ලියල තිබුන ………..!!

මැරුණු කෙනාගෙ ඡායාරූප බිත්තියේ අනිත් පැත්තට හරවල තිබුන . ඒ එකකට යටවෙලා කොට්ටමකුළුවෙක් මැරිල හිටිය . නිකම් නෙමෙයි බඩේ බැඳගත්ත කොට්ටෙත් එක්ක. පැටව් සී සීකඩ. මං හිතාගත්ත මහපාරෙ හරි කනත්තක හරි නිදාගත්තත් කොට්ට උඩ බුදියන්නෙ නෑ කියල .
චුට්ටක් එතනින් ඈත්වෙලා මම එලියෙ පුටුවක ඉඳගත්තහම කෙල්ලෙක් බීම වගේකුයි බිස්කට් වගේකුයි අරන් ඇවිත් අතීතය මරල දාන්ඩ කිව්ව. මට අතපැන් වක්කරන එකයි පැන් වඩවන එකයි දෙකම පැටලිලා හිටියෙ . එතකොට තමයි මම සුදුයකඩ මලකඩ කන්නෙ නෑ කියල හරියටම තේරුම් ගත්තෙ .රත්තරන් ලෝකෙක සුදුයකඩ ජීවිත වීමත් වාසනාවක් බව මට කියල දුන්නෙ කම්මල් බාස් කෙනෙක්. මම එතන අඩු පඩියට වැඩකළා……….!!

මල්වඩමෙ ලස්සන කතාවක් කුරුමිණියෙක් ලියල තිබුන . ” ඕගොල්ලො ආදරේ කරන්නෙ මස්වලට මිසක් හිත්වලට නෙමෙයි ” කියල මිනිහ ලියල තිබුන .
මං රෝද පුටුව උඩ හිටපු ඒ කඳුළු පෙරන ඇස්වලට ගිහින් එන්නම් කියල කියනකොට එයා මගෙ පපුව දිහා බලාගෙන එක දෙයක් කිව්ව වගේ මතකයි.

” මිනිය ගන්නව තුනහමාරට…….! ”

—————————————————-

ඉතින් කෙකිණිය ලයාදර
නුඹ ගෙනා මල්වඩම මනහර
ලිහිනියාගේ මිනිය අසලින්
තබා යන්නට අවසර………….

දැන් ඉතින් වයන්නට පුළුවන්
හදේ ගැඹුරුම තැනින් මලබෙර………!!!

-ධර්මසිරි බෙනඩික්-
උපුටාගැනීම : ෆේස්බුක්

Social Sharing
අවකාශය නවතම