අපි අවාසනාවන්ත කාලයක ඉපදුණ අවාසනාවන්ත මිනිස්සු

– ජෙගන් ගනේෂන් –

රාජ්‍ය විසින් දකුණට සහ උතුරට හිමිකර දුන්නේ, එකම ආකාරයේ මර්දනයකි. දකුණේ දී මර්දනයට ලක් වූවන් උතුර මර්දනය කිරීම සඳහා රාජ්‍ය සමඟ අත්වැල් බැඳගත්තේ, කිසිවක් සිදු නොවූ ආකාරයකින් ය.

කත්‍යානා අමරසිංහ විසින් රචනා කරනු ලැබූ ධරණි තුළින් රාජ්‍ය මර්දනයට මුහුණ දුන් වින්දිතයන්ගේ හැඟීම් හුවමාරුවක් සඳහා කදීම ප්‍රවේශයක් යැයි හැඟේ. උත්තම පුරුෂ දෘෂ්ඨි කෝණයෙන් රචනා වී ඇති මෙම නව කතාව දුලන්‍යා, කුඩා වියේ සිට හමුවන චරිත ආශ්‍රයෙන් ගොඩනගා ඇත. කුඩා වියේ දී ලී බෝනික්කෙකු ඉල්ලූ දුලන්‍යාට හිමි වූයේ, රෙදි බෝනික්කෙකි. එය මෙම කතාව පුරාම ඇය පතන කිසිවක් නොලැබෙන බවට ලබා දෙන ඉඟියක් ලෙස ද සැලකිය හැකිය.

ගතානුගතික පවුලකින් පැවත එන දුලන්‍යා නිතරම ඉන් මිදීමට උත්සහා දරයි. එහි දී ඇයගේ සහයට සිටින්නේ, දකුණේ සිදු වූ තරුණ නැගිටීමට සම්බන්ධ වී සිටි ලොකු අයියා ය. ලොකු අයියා දුලන්‍යාගේ ක්‍රියවලට නිහඬව අනුබල දක්වයි. එය වැඩිමල් සහෝදරයන්ට ම ආවේණික වූ ලක්ෂණයක් ලෙස පැවසීමට හැකිය. ලොකු අයියාගේ මිතුරා වූ රවීන්ද්‍රන් ද එම තරුණ නැගිටීමේ කොටස්කරුවෙකි. ඔහුට එම කණ්ඩායම තුළ වඩාත් හොඳ පිළිගැනීමක් තිබූ බව දුලන්‍යා එක් අවස්ථාවක දී, වෙනත් කෙනෙකු මාර්ගයෙන් පවසයි. දකුණු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිටින රවීන්ද්‍රන්ව භාරගත් වම, උතුරේ සිටි රවීන්ද්‍රලාව භාර නොගත්තේ මන්ද යන්න මෙය කියවන අතරතුර මා තුළ මතු වූ ගැටලුවකි. විරුද්ධ දේශපාලන මත දරණ පිරිස් මර්දනය කිරීමට සමාජයක් ලෙස ඉතා නිහඬව හෝ ප්‍රසිද්ධියේ අනුමත කරන බව බිසෝ නැන්දාගේ චරිතය තුළින් පාඨකයා වෙත ඒත්තු ගැන්වීමට කතුවරිය උත්සහා ගෙන ඇත. තම සමාජය වෙත මුදා හරින ලද මර්දනය අනුමත කරන සමාජයකින් වෙනත් සමාජයක් වෙත මුදා හරින ලද මර්දනයට යුක්තිය බලාපොරොත්තු විය නොහැක යන්න කතුවරිය ව්‍යංගාර්ථයෙන් පැවසුවා යන්න ද සිතේ.

මෙවැනි මර්දනයන් අනුමත කරන සහ ගතානුගතික පවුල් වටපිටාව තුළ පමණක් නොව සමාජයක් විසින් පිළිගනු ලබන වෘත්තිය ක්ෂේත්‍ර තුළත් සිටින බවට කතුවරිය යොදා ගත් නිදසුන් ඉතා ප්‍රබලය. සමාජයක් වෙනස් කිරීමේ අතිමහත් වගකීමක් ගුරුවරන් සහ මාධ්‍යවේදීන් සතුව පවතින බව මා තරයේ විශ්වාස කරමි. එවැනි වෘත්තීය තුළ ද ඉහත සඳහන් කළ පිරිස් සිටීමෙන් සිදුවන්නේ සමාජය තවදුරටත් අගාධයකට යාමක් පමණයි. දුලන්‍යාගේ පෙම්වතා වූ වසන්ත, ගුණවතී ටීචර් සහ මාධ්‍යවේදීයෙකු වූ වික්‍රම බොරලුගොඩ වැනි චරිත හරහා නිරූපණය කරනු ලැබූවේ, වගකීම් සහිත පුද්ගලයන් දරණ මතවාද සමඟ තවදුරටත් මෙම සමාජය අගාධයකට තල්ලු විය හැකි බවය. ප්‍රගතිශීලි ලෙස කටයුතු කරන බව හඟවමින් රන්ජිත් අයියාගේ චරිතය නිර්මාණය කර තිබුණ ද අවසානයේ දී ඔහු ද එම ගතානුගතික සමාජයේ ගොදුරක් බවට පත්වෙයි.

ජයකාන්තන් සහ රාජිනී යන චරිතවල පැමිණීම ධරණි නවකතාවේ උච්චතම අවස්ථාව ලෙස හඳුන්වා දිය හැකිය. ඔවුන් දෙදෙනාම උතුරේ ජීවත් වූවන් දෙදෙනෙකු විය. ජයකාන්තන් සැබෑ ලෝකය තුළ ජීවත් වූ අතර ම රාජිනී දුලන්‍යාගේ මනඃකල්පිත ලෝකය තුළ ජීවත් වූවා ය. ජයකාන්තන් සහ දුලන්‍යා අතර සිදුවන සංවාද මෙරට පැවැති සිවිල් යුද වාතාවරණය සම්බන්ධයෙන් පාඨකයාට යම් අවබෝධයක් ලබා ගැනීමට හැකි යැයි සිතමි.

වසර විස්සකට පසුව ලංකාවට පැමිණෙන ජයකාන්තන් තම අතීතය අමතක කර නැත. ඔහුට එම අතීතයෙන් පැන යාමට නොහැක. ඉන් පැන යාමට තැත් කරන සෑම අවස්ථාවක දීම ඔහු තුළ යළිත් එම මතකයන් යළි ආවර්ජනය වෙමින් තිබේ. උතුරේ සිදු වූ බොහෝ සිදුවීම් එම ජනයා තුළ තවමත් මතකයේ තිබෙන්නේ, මෙම හේතුව නිසාය. කෙසේ වෙතත් දකුණ ඊට හාත්පසින් වෙනස් ය. දැඩි ලෙස මර්දනයට ලක් වූ දකුණේ විප්ලවකාරී කණ්ඩායම් වසර පහක් වැනි කෙටි කාලයක් තුළ තම සගයන් මර්දනය කළ පාලකයන් සමඟ අත්වැල් බැඳගත්තේ ද එම අමතක වීම් නිසාමය. පීඩනය උතුරට සහ දකුණට පොදුය යන මතවාදයක් මේ වනවිට සමාජය තුළ ස්ථාපිත වී ඇත. එම පීඩනය කිසිඳු අවස්ථාවක සමාන වන්නේ නැත. එය ජයකාන්තන්ගේ දෙබසක් ඇසුරෙන් මෙලෙස උපුටා දැක්විය හැක.

“දකුණෙ ඉන්න පීඩිත පන්තියේ මිනිහ එකවරක් තැලෙන කොට මෙහෙ ඉන්න කෙනා ජාතිය නිසා තව දෙතුන් වතාවක් තැලෙන බව හුඟාක් අයට අමතක වෙනවා. මේක පන්ති ප්‍රශ්නයකට ලඝු කරන්නේ එහෙම අය නේ. එයාලා කියන විදිහට මෙහෙ මිනිසුන්ට කන්න බොන්න දීලා, රස්සා දීලා, පාරවල් ටික හදලා දීලා දුප්පත්කම නැති කළා ම හරි. ප්‍රශ්නේ ඉවරයි එතනින්.”

බොහෝ පිරිස් මෙරට ජාතික ගැටලුවට මෙය සාධනීය විසඳුමක් ලෙස යෝජනා කළ ද එය ඊට හාත්පසින් වෙනස් බව කතුවරිය අවධාරණය කර තිබීම ප්‍රශංසා කළ යුතුය. උතුරේ ජනයා දෛනික ජීවිතයේ මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ජයකාන්තන්ගේ පෙරියප්පා හරහා පාඨකයා වෙත රැගෙන ඒමට කතුවරිය කටයුතු කර ඇත. ජයකාන්තන් ඉතිහාසය සහ පුරාවිද්‍යා යන විෂයන් සම්බන්ධයෙන් කිසිඳු ප්‍රියතාවයක් නොමැති බවට පවසන්නේ ද හේතුවක් සහිතවය. සෑම අවස්ථාවක දී ම එම විෂයන් ද්වීත්වය ඔවුන්ට එදිරිව සිටීම ඊට හේතුවයි.

යුද්ධය අවසන් වී වසර ගණනාවක් ගත වී තිබුණ ද, උතුරේ මිනිසුන් තවමත් එකම තැනය. ඇතැම් පිරිස් අවතැන් කඳවුරුවලය. ඇතැමුන් සිරගෙවල්වලය, තවත් විශාල සංඛ්‍යාවක් අතුරුදන් වී ඇත. මෙලෙස එම ප්‍රදේශවල ජනයා මුහුණ දෙන බොහෝ ගැටලු තිබේ. ඒවාට දකුණ තවදුරටත් සමස්තයක් ලෙස සංවේදී වුණා ද යන සැකය පවතියි. ජයකාන්තන් සහ ඔහුගේ පෙරියප්පා යන චරිත තුළ එම කරුණු සිංහල පාඨකයා වෙතට රැගෙන ඒමට කතුවරිය සමත් වී ඇත. උතුරේ ජීවත් වන මිනිසුන්ගේ එක් අර්ධයක් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති ආකාරය, හිස් බැල්මක් හෙළන මිනිසුන් යන සංකේතාත්මක ලක්ෂණවල උතුරේ ජන ජීවිතය වඩාත් හොඳින් කියවාගත හැක.

රාජිනී, ජයකාන්තන්ගේ පෙම්වතියයි. ඇය ජයකාන්තන්ට උමතුවෙන් ආදරය කළා ය. ජයකාන්තන් ද එසේ ය. කෙසේ වෙතත් ඔවුන්ගේ මෙම ප්‍රේම සබඳතාවය විවාහ ජීවිතය දක්වා සාර්ථව රැගෙන යාමට නොහැකි වූයේ, පෞද්ගලික ජීවිතය පසෙක තබා අරමුණු වෙනුවෙන් ජීවිතය කැප කිරීමට සිදු වීම නිසා ය. රාජිනීට ද සිදු වූයේ එලෙස අරමුණ වෙනුවෙන් ජීවිතය කැප කිරීමටය. ජයකාන්තන් ජීවිතාරක්ෂාව සඳහා රටින් පැන ගියේ ය. යුද්ධය නිසා රටින් පැන ගිය දෙමළ ජාතිකයන් විදේශීය රටවල සුඛමුදිත ජීවිතයක් ගත කරන බවට අප පොදුවේ දරණ මතය වී ඇත. නමුත් එය එසේ නොවන බවට ජයකාන්තන් හරහා ම ලේඛිකාව පවසයි. එරට ඔවුන් විඳින පීඩා සම්බන්ධයෙන් අවබෝධයක් ඇත්තේ ඔවුන්ට ම ය. මනඃකල්පතිව තමන් විසින් මවා ගන්නා ලද රාජිනී සමඟ සංවාද කිරීමේ දී දුලන්‍යා තුළ ජයකාන්තන් කෙරෙහි තිබූ ප්‍රේමය වැඩි වන ආකාරයක් දැගත හැකිය. රාජිනී තුළින් ඇය ජයකාන්තන්ට ආදරය කරයි. දුලන්‍යා ව වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාම දක්වා ම එම සංවාදයන් දිගු ඒවා විය. රෙදි බෝනික්කා සමඟ සංවාද කළ දුලන්‍යා අවසානයේ දී රාජිනී සමඟ සංවාද කරන තත්ත්වය දක්වා පැමිණ ඇත. ඉන් ගම්‍ය වන්නේ ජයකාන්තන් දුලන්‍යාගේ සිතෙහි වැඩි ඉඩක් හිමි කරගෙන ඇති ආකාරයයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ දුලන්‍යා, ජයකාන්තන්ට ආදරය කිරීමය. ජාතිවාදයට විරුද්ධව ලියවෙන කතාවට සාපේක්ෂව මෙහි ඇති වෙනස නම් සිංහල තරුණියක විසින් දෙමළ තරුණයෙකුට ආදරය කිරීමයි. උමතුවෙන් ඔහුට ආදරය කිරීමයි. පුරුෂාධිපත්‍යයෙන් ජාතිවාදය මතු කර පෙන්වීමට කටයුතු කරන කථා අතුරින් මෙය සුවිශේෂි වන්නේ එම හේතුව නිසාම ය. ලේඛිකාව ධරණි ලිවීම සඳහා උතුරේ සිදු කළ සංචාරයකින් අනතුරුව එහි දී ලද අත්දැකීම් මුසුකොට මෙය රචනා කර ඇති ආකාරයක් දැකගත හැකිය.

අවසානයේ දී කීමට ඇත්තේ එක් දෙයක් පමණි, ‘අපි අවාසනාවන්ත කාලයක ඉපදුණ අවාසනාවන්ත මිනිස්සු’ යනුවෙන් ය.

උපුටාගැනීම : ෆේස්බුක්

Social Sharing
අවකාශය නවතම