නැකත් බල බලා නොයිද අස්වී රට යථාවත් කරනු..!

-කේ. සංජීව-

ගෝඨාභය – රනිල් සුසංයෝගය හරිනම් ඊයේ (09) රෑම ඉල්ලා අස්වෙන්න ඕනී. ඉල්ලා අස්වෙලා කතානායකට වැඩබලන ජනාධිපති විදිහට දිවුරන්න ඉඩ හදන්න ඕනී. ඊටපස්සේ රට සන්සුන් කරලා ඉතාමත් ඉක්මනින් ස්ථිර ජනාධිපති කෙනෙක් පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් තෝරගෙන අද වෙනකොට අගමැතිවරයෙක් සමග අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕනී. ඒක තමයි විය යුතුව තිබුණේ. ඒත් ඊයේ රාත්‍රියේ මාධ්‍ය අමතපු කතානායකවරයා ප්‍රකාශ කළේ ලබන බදාදා (13) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් සමුගන්න තීරණය කළා කියලා.

ඒත් මේ වෙලාවේ ඉල්ලා අස්වෙන්න නැකත් බල බලා ඉඳලා හරියන්නේ නෑ. ඊයේ ජනතාව පාරට ඇවිත් එක හඬින් කිව්වේ උබලා දෙන්නම අපේ පාලකයෝ වෙන්න සුදුසු නෑ වහාම ඉවත්වෙලා පලයල්ලා කියලා. ඉතිං තව තවත් නැකත් බැලුවත් හොරගල් ඇහින්දත් ඔච්චර තමයි. කල් මැරීමෙන් වෙන්න පුලුවන් දේ තමයි ජනතාවගේ බලාපොරොත්තු කඩවීම. එහෙම හැඟීමක් මිනිස්සුන්ට ආවොත් ආයෙත් මිනිස්සු නොසන්සුන් වෙන්න තියෙන ඉඩ වැඩී. ඒ නිසා දැන්වත් මේ පාලකයෝ වඟකීම් සහගතව හැසිරෙන්න ඕනී. රාජපක්ෂ පවුල ගෙදර යවලා වික්‍රමසිංහ පවුල රැකගන්න මිනිස්සු පාරට ආවේ නෑ. මිනිස්සු පාරට ආවේ රට රැකගන්න. ටිකක් නිවී සැනසීමේ හුස්ම අරං ජීවත් වෙන්න. ඒ නිසා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තවත් පිස්සු කෙළින්නේ නැතුව පාලනය අතාරින්න ඕනී. බංකර් අස්සේ ඉඳලා රටවල් පාලනය කරන්න බෑ. මේ රට ලෙබනනයක් නොකරගැනීම සඳහා අපිට සෑහෙන්න වඟකීමක් තියෙනවා.

පක්ෂ නායක රැස්වීමක් තිබුණට පස්සේ එකේ බහුතරය එකඟ මතය ජනාධිපතිවරයාට දන්වනවා මිසක්, එම බහුතර මතය සමග තමන්ගේ මතය කියලා වෙනම අගමැතිගේ මතය දක්වන්න අවශ්‍ය නෑ. ඒත් ඊයේ ඒ දේ වුණා. එහෙම දේවල් වලින් ජනතාව කුපිත වෙන්න පුලුවන්. ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ඉල්ලා අස්වුණාම අගමැති ජනාධිපති වෙනවා තමයි, ඒත් මේක සුවිශේෂ තත්ත්වයක්, ජනතාව එකම විට දෙදෙනාටම කීවේ ගෙදර යන්න කියලා. අපි මේක බොහොම බැරෑරුම් විඳිහට ගන්න අවශ්‍යයි. අනික ව්‍යවස්ථාවේ මොනා තිබුණත් දැන් තිබෙන ජනමතයට විරුද්ධ දේවල් කරන්න අපිට කිසිම අයිතියක් නෑ. 69 ලක්ෂයක ජන මතය වුණත් දැන් නෑ ඒක තමයි ඇත්ත. ඒ නිසා ව්‍යවස්ථාවේ වගන්ති පෙන්නලා සෙල්ලම් දාන්න එක රටේ අනාගතයට අසුබ වෙන්න පුලුවන්. රට ලෙබනන්කරණය වෙන්න ඒක බලපාන්න පුලුවන්.

අවම හෙට (11) දිනයේ වත් ජනාධිපති අගමැති සහ ආණ්ඩුව පත් කරගැනීම සඳහා යම් උත්සාහයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නායකයන් විසින් ගන්න අවශ්‍යයි. පාලකයන්ට අපි මෙහෙම කිව යුතුයි. ‘ඔයාලා දැන් මේ නෙළමින් ඉන්නේ ඔයාලා වපුරපු බීජවල අස්වැන්න තමයි’.

මේ රට ලේ විලක් මතින් ලෙබනනයක් කරනවාද නැද්ද කියන එක මේ ජනතාව ප්‍රතික්ෂේප කරපු පාලකයෝ දෙන්නට තීරණය කරන්න ඉඩ නොදී පක්ෂ නායකයන් දැන්වත් රට ගැන හිතලා කොන්ද කෙළින්කරගෙන රාජපක්ෂ පවුලට විරුද්ධව ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි.

ඒ ඉක්මන විශාල විනාශයක් වළකනු නියතයි..!

Social Sharing
නවතම විශේෂාංග