ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ අනාගතයට වැදගත් වන හැටි

– අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට එකඟ වීම මේ මොහොතේ දේශපාලනීක වශයෙන් වැදගත් වීමට හේතු ශ්‍රී ලංකාව සමග ජා.මූ.අ. නියෝජිත පිරිස විසින් පවත්වන ලද දසදින සාකච්ඡාවලින් අනතුරුව කිකුත් කරන ලද නිවේදනයේ මෙසේ සඳහන් විය:

“මෙම සංදර්භය තුළ, සාකච්ඡා පැවැත්වුණේ, මහේක්ෂ ආර්ථික අසමතුලිතතා නිවැරදි කිරීම, රාජ්‍ය සම්බන්ධ තිරසරභාවය යළි නිර්මාණය කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා තිබෙන අවස්ථා යථාවත්  කිරීම සඳහා වන පරිපූර්ණ ආර්ථික වැඩසටහනක් කෙරෙහි අවධානය යොමුකරමිනි.”

“In this context, discussions focused on designing a comprehensive economic program to correct the macroeconomic imbalances, restore public debt sustainability, and realize Sri Lanka’s growth potential.” – IMF

මෙහි සඳහන් කාරණා තුන වනාහි ලංකාව සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සහ අනිවාර්ය කොන්දේසි වේ.

  1. ශ්‍රී ලංකාව සමස්තයක් ලෙස අපනයන ආදායම අනුව ආනයන කරන, පරිභෝජනය සඳහා නොව වර්ධනය සඳහා ණය ගන්නා රටක් විය යුතුය. ඒ සඳහා, රට මෙහෙයවන රජය ආදායම් වැඩිකරගෙන වියදම් අඩුකළ යුතුය. ආර්ථික, දේශපාලනික වශයෙන් ලංකා රජයට ගැඹුරු ප්‍රතිසංස්කරණ අවශ්‍යය.
  2. රජය දේශීය හා විදේශීය වශයෙන් අධික ලෙස ණය වී තිබේ. අප ඒ ණය ⁣ආපසු ගෙවීම හා ඉදිරියට ගන්නා ණය නිසි ලෙස කළමනාකරණය කරගැනීම අවශ්‍යය. ලෝකය සමග බැඳුණු ලාංකීය ආර්ථිකයේ පැවැත්ම සඳහා එය අත්‍යවශ්‍යය.
  3. අප දිනාගත් ජීවිතය තිරසර කරගැනීමට නම්, අප ආර්ථික වශයෙන් අඛණ්ඩව වර්ධනය විය යුතුය. ඒ සඳහා තිබෙන අවස්ථා හඳුනාගෙන භාවිතා කළ යුතුය. සම්පත් සීමිත වුවත්, භූ දේශපාලනික වශයෙන් අතිශය වැදගත් ස්ථානයක පිහිටි රටක් වන ලංකාවේ අපට අවස්ථා තිබෙන්නේ ගෝලීය හා කලාපීය සංදර්භය තුළය. අප ආර්ථික හා සමාජමය වශයෙන් උග්‍ර ජාතිවාදයෙන් අන්ධ නොවී, ඉන්දියාව, සෙසු දකුණු ආසියාතික රටවල්, චීනය, ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය, ජපානය, ඕස්ට්‍රේලියාව, රුසියාව වැනි හිතවත් රටවල් සමග බුද්ධිමත් සම්බන්ධතා ගොඩනගාගත යුත්තේ එහෙයිනි.

දැනට ක්‍රියාත්මක ආණ්ඩුව හා බලතුලනය ඔස්සේ මේ කාර්යයන් සඳහා මුලපිරිය යුතුය. ඒ සඳහා අවශ්‍ය හැකියාව එම ආණ්ඩුවට ඇති බව අපි විශ්වාස කරමු. ගැටලු තිබෙනමුත් මෙය ආණ්ඩු පෙරළීමට ප්‍රමුඛතාව ලබාදිය යුතු අවස්ථාවක් නොවේ.

ආණ්ඩුකරණයට සැරසෙන දේශපාලන පක්ෂ ඉහත දක්වන ලද තත්වයන්ට අවශ්‍ය පරිදි හැඩගැසිය යුතුය. සුදුසු තත්වයක් ඇතිකරගත් පසු මැතිවරණ පවත්වා වඩා සුදුසු ආණ්ඩුවක් පත්කරගත යුතුය. විප්ලවයකින් බලය ගත්තත්, ලංකාව ඉහත කී අභියෝග තුන අනිවාර්යයෙන්ම ජයගැනීම අවශ්‍යය.

Social Sharing
නවතම