හොට් චොකලට් සහ ගූඪ ලිංගික දිවිය..!

සෑම කෙනෙකුගේම ජීවිතයේ අඳුරු ප්‍රදේශ (Blackout Areas) තිබීම ජීවිතයේ සත්‍ය ස්වාභාවය. නමුත් බහුතරය තම තමන්ගේ ඊගෝවේ ප්‍රමාණය අනුව ඒවා සඟවා තබාගන්නට උත්සාහ දරනවා. ඒක ජීවත්වීමේම එක් කොටසක් බවට පත්වෙනවා. කිසියම් කෙනෙකුට තමන්ගේ තත්‍ය ජීවිතය සෑම අංශුමාත්‍රයකින්ම නිරාවරණය කළහැකිනම් ඔහු හෝ ඇය නිදහස් සත්වයෙක් බවට පත්වෙනවා. විශේෂයෙන් ලිංගික චරියාවන් හා බැඳුණු කොටස් ජීවිතයෙන් සඟවා තබාගන්නට අපි අඩුවැඩි වශයෙන් පෙළඹෙන්නේ අපට ලබාදී ඇති සමාජ – සංස්කෘතික අවකාශය විසින් අපි තත්වාරෝපණය (Condition ) කර ඇති තරමට.

සුරේඛා සමරසේන ගේ “හොට් චොකලට්” කෙටිකතා සංග්‍රහය මිනිසුන්ගේ ගූඪ ලිංගික ජීවිතය නිර්මාණාත්මකව නිරාවරණය කිරීමක්. එය කෙතරම් ස්වාභාවිකව ඇය කරණවාද කියනවා නම් අප පවා තිගැස්සෙන හා නිරුත්තර වන තරමට ඇය දර්පණ තලයක් අපේ ජීවිත ඉදිරියෙන් සිටවනවා. කෙටිකතා 07කින් සමන්විත ඇගේ කෘතිය තුල අපට හමුවන ගැහැනු පිරිමි චරිත කිසියම්ම හෝ ආගන්තුක බවක් පෙන්වන්නේ නැහැ. ඒවා අප ඇසුරුකරන, අපට මුණ ගැසෙන චරිත. ඒ චරිත නිර්මාණය කිරීමේදී ඒවා ඕපපාතික නොවී හේතු යුක්තීන් සහිතව නිර්මාණය කිරීමටත් ඇය වගබලා ගන්නවා.

විශේෂයෙන් ඇයගේ කෙටිකතාවල අතිබහුතරයක්  කේන්ද්‍රීය චරිතය වන්නේ ගැහැනුන්. පිරිමි චරිතයක් මුඛ්‍ය චරිතය බවට පත්වන්නේ ‘කොරෝනා කාලේ කතාවක්’ හි එන එදුස්සූරිය චරිතය පමණයි. ‘රේමන් ගේ ගෑනු’ කතාවේ රේමන් ගේ චරිතය වුණත් කේන්ද්‍රීය චරිතයක් ලෙස ඇය මතු කරන්නේ නෑ.

“ඉබාගාතේ යන යුදෙව්වා” කතාවේ හර්ෂි හා ඇගේ මිතුරිය, “බිම්මල් 1” සහ “බිම්මල් 2” කතා දෙකෙහි නර්මදා, “මලයාලම්” හි ප්‍රභාති, “හොට් චොකලට්” හි ශානි, රන්දි හා දිලිනි මුඛ්‍ය චරිත ලෙසින් ගෙන සුරේඛා සංස්කෘතික තත්වාරෝපණයක සිරවූ සමාජයක නිදහස් කාන්තාව මුහුණ දෙන සමාජ – සංස්කෘතික  අභියෝගයන් මතුකරන්නේ අපූර්ව ආකාරයෙන්. ආදරය, ලිංගික දිශානතිය, එහි සෞන්දර්ය මෙන්ම පීඩනය, නිදහස ඇය විසින් නිර්මිත චරිත වල ගවේෂණාත්මක අඩවි.

“බිම්මල් 1 සහ 2” කතා ද්විත්වය එකම සිදුවීම් මාලාවක් දෙස පර්යාලෝකය දෙකකින් බැලීමක්. එවැනි අත් හදා බැලීමක් මෑත කෙටිකතා කෘතියක අපට හමුවන්නේ ප්‍රින්ස් සේනාධීර ගේ කළු උස මනුස්සයෙක් කෙටිකතා කෘතියේ. එකම චරිත කිහිපයක් වටා ගොඩ නැගුනද කතා දෙක සමාන මෙන්ම අසමාන දෘෂ්ටි කෝණයන් තුලින් ගොඩනැගෙනවා.

සුරේඛා තමන්ගේ කතා තුල නූතනම අත්දැකීම් ගොඩ නගන්නේ අප පවා විශ්මයට පත්වන ආකාරයෙන්. නව තාක්ෂණය, අතත්‍ය සන්නිවේදන අවකාශය, වැනි දෑ මෙන්ම ඒවා හරහා සමාජය තුල නිර්මාණය වී ඇති නව ඉපැයීම් අවස්ථා හා නව ආරේ  මානව සම්බන්ධතා ඈ විවරණය කරන්නේ අපූරු පරිකල්පනයකින්.

කෙනෙකුට “හොට් චොකලට්” කෘතිය මිනිසුන්ගේ ලිංගික ජීවිතය පමණක් පදනම් කරගෙන ලියවුණු කථා මාලාවක එකතුවකැයි සිතෙන්නට පුලුවන්. නමුත් මානව ජීවිතේ මූලික අවශ්‍යතාවක් වන ලිංගික හැසිරීම් මගහැර පරිපූර්ණ චරිත නිර්මාණයක් කලහැකිදැයි සිතෙන තරමට ඇය එවැනි කාරණා පවා ඒ ඒ චරිතතුලින් මිසෙක ඉන් පරිබාහිරව ගොඩ නගන්නේ නෑ.

මේ නිසා “හොට් චොකලට්” කෙටිකතා එකතුව කෙටිකතා ලෝලී රසිකයින් විසින් සියුම්ව කියවා ජීවිතයේ ස්වභාවය ඒ සැටියෙන්ම තේරුම් ගැනීමට වාහකයක් ලෙස ගනු ඇතැයී අවසාන වශයෙන් සටහන් කරන්නට කැමතියි.

 

© කපිල එම්. ගමගේ

හොට් චොකලට් | සුරේඛා සමරසේන | සම පොත් ප්‍රකාශනයක් | පිටකවරය – විකුම් ජිතේන්ද්‍ර

Social Sharing
නවතම විශේෂාංග