සීමා මායිම් ලකුණු කිරීම..!

‘සිනමාව යනු අත්‍යන්ත විපරීත කලාව යි’ කියලා කියන්නේ ස්ලෙවොයි ශිෂෙක්. Cinema is the ultimate pervert art … විපරීත කලාවක් ඇතුළෙන් වුණත් ජීවිත ආශාවන් හරි මතක සේයාවන් හරි දකින්න පුළුවන් නම් ජීවිතය විඳින්න පුළුවන් නම් එතැනින් එහාට තව මොනවද ?

චිත්‍රපටය ‘ගුරුගෙදර’. ලෝ ප්‍රකට සිනමාවේදී බර්ග්මාන් 1982 දි අධ්‍යක්ෂණය කරපු Fanny and Alexander චිත්‍රපටය ගැන හාංකවිසියක් නොදැන සිටි දූපතකට 1990 දි විජය ධර්ම ශ්‍රී විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කරපු ‘ගුරුගෙදර’ නැවුම් සහ අපූර්ව අත්දැකීමක් වුණා. කතාවේ හැටියට අර්ජුන් කියන්නේ විවාහක එක්දරු පියෙක්. අර්ජුන් විදියට රවීන්ද්‍ර රන්දෙණියත් ගුරුවරියක වන ඔහුගේ බිරිඳ ලෙස අනෝජා වීරසිංහත් යොවුන් පුත්‍රයා ලෙස ජගත් චමිලත් රංගනයේ යෙදෙනවා. මැදිවිය ඉක්මවමින් සිටින අර්ජුන් තමාට වඩා වයසින් ඉතා අඩු නීලා නම් යුවතියක සමඟ පෙම් සබඳතාවක් පවත්වනවා. නීලා ලෙස රඟන යශෝධා විමලධර්ම වගේ ම ජගත් චමිලත් සිනමාවට අවතීර්ණය වුණේ ‘ගුරුගෙදර’ හරහා.

නීලා සහ අර්ජුන් සාදයක දී පියානෝවක් වයමින් ‘මගේ මන්ද්‍රි නම් බිසෝගේ’ නම් නූර්ති ගීය ගායනා කරන සුන්දර දර්ශනයක් මේ චිත්‍රපටයේ තිබෙනවා. ඒ ගීතයේ අමරසිරි පීරිස් සමග ගායනයේ යෙදුණු නිර්මලා රණතුංග හට 1991 වසරේ හොඳම ගායිකාව ලෙස ස්වර්ණසංඛ සම්මානය හිමි වුණා. අදාල ගීතයෙන් පස්සේ සාදය පැවති ශාලාවෙන් එළිමහනට යන පෙම්වතුන් යුවළ අඩ අඳුරේ තීරණාත්මක සහ හැඟීම්බර කතාබහක යෙදෙනවා.

අර්ජුන් : –  මම ඒ තරම් දැඩි ආත්ම ශක්තියක් නැති මිනිහෙක්. ඒ හින්දා ඔය රතු ඉරෙන් එහාට ඔයා එක අඩියක් තිබ්බොත් මම අසරණ වෙනවා.

නීලා : –  ඒත් ….. ඒ අද්දරටම එනකං ඇයි අර්ජුන් අයියේ මට ඔය ටික නොකිව්වේ.

මැදිවිය පසුකරමින් සිටින,වෛවාහක බන්ධනයේ මනා අත්දැකීම් ඇති පිරිමියා අර්ජුන්. ඔහු ඉතා සූක්ෂ්ම සහ හැඟීම්බර තුරුම්පුවක් ගෙනත් තමන්ගේ කඩවසම් පෙනුම පසුපස සැඟවුණු විරූපී  ආත්මාර්ථකාමීත්වය වසා ගන්නට උත්සාහ කරනවා. නමුත් වයසින් ලාබාල නොමේරූ යුවතිය නීලා ඒ මොහොතේ නොබියව ප්‍රශ්න කරනවා.

‘ඒත් ….. ඒ අද්දරටම එනකං ඇයි අර්ජුන් අයියේ මට ඔය ටික නොකිව්වේ’

නීලා මේ ප්‍රශ්න කරන්නේ හුදෙකලා අර්ජුන්ව පමණක් නොවෙයි. මෙලොව පවතින බොහෝ බැඳීම්වල අවසාන ඉරණම නීලාගේ භග්න ස්වරය තුළින් ප්‍රශ්න කෙරෙනවා. තමන්ට අවාසිදායක මොහොත එනතුරුම සීමා මායිම් පිළිබඳ කිසිම වගක් නිනව්වක් නොමැතිව හැසිරෙන බොහෝ දෙනෙක්ට මේ ප්‍රශ්නය කිණිසි තුඩක් මෙන් පාරවනසුලු විය හැකියි. නමුත් කුමන මට්ටමෙන් පැවති සම්බන්ධයක් අරභයා වුව ද නීලා අසන්නට උවමනා ම ප්‍රශ්නය ඉතා පැහැදිලිව අසන්නට සමත් වුණා.

‘ගුරුගෙදර’ චිත්‍රපටයේ දී නම් මේ සාදයෙන් පසුව පිටත් වන අර්ජුන් රිය අනතුරකට මුහුණ දී ජීවිතක්ෂයට පත් වෙනවා. නමුත් එසේ වූ පමණින් නීලා අහන ප්‍රශ්නය යටපත් කරන්නට හෝ වළදමන්නට හැකියාවක් නැහැ. බර්ග්මාන් ස්පර්ශ නොකරන සංවේදී ඉසව්වක් විජය ධර්ම ශ්‍රීගේ සිනමා ඇසට හසුවෙන්නේ සහෘද හිත් ඇතුළේ නානාප්‍රකාර සංවේදක ස්නායු පෙළමින්, රිදවමින් විය හැකියි.

අදටත්, සීමාව අද්දරට එන තෙක් ම සීමාව ගැන නොකියන, අවැසි වූ විට පමණක් ඉතා ආත්මාර්ථකාමී ලෙස සීමාව ලකුණු කරන බොහෝ මිනිස් සබඳතා, රිය අනතුරුවලින් බේරෙමින්, නමුත් හෘද සාක්ෂ්‍යයේ ගැටෙමින් වේදනා පසුතැවීම් මැද නොනැසී එහෙත් අක්‍රීයව පවතිනවා.

 

– සහන් කසීර වික්‍රමසිංහ –

Social Sharing
නවතම විශේෂාංග