කන්දකාඩු රැදවියා මියගියේ හමුදා පහරදීමකින්ද?

පොලොන්නරුව, කන්දකාඩුහි පිහිටි ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටි මත්කුඩු ලෝලියෙක් සැක සහිත ලෙස මිය යෑමක් මුල්කරගෙන ඇති වූ නොසන්සුන් තත්ත්වයත් සමඟ එහි පුනරුත්ථාපනය වෙමින් සිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 750 දෙනෙක් ගේට්ටු සහ වැටවල් කඩාගෙන ඊයේ දවසේ (29) වරින් වර පලා ගොස් ඇත.

එසේ පලා ගිය පිරිස් කොටු කර ගැනීමට හමුදාව සහ පොලිසිය එක්ව විශේෂ මෙහෙයුමක් ද ඊයේ දවස පුරා ආරම්භ කර තිබිණි. සෝමාවතිය රක්ෂිතයට ද පිරිසක් ඇතුළු වූ බවට තොරතුරු ලැබීමත් සමඟ හමුදාව රක්ෂිතය තුළ ද මෙහෙයුමක් දියත් කළේය.

එම මෙහෙයුම්වලින් පලා ගිය අයගෙන් 250ක් පමණ ඊයේ (29) සවස් වන විට අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබිණි. ඒ අයව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලොන්නරුව පොලිසිය පියවර ගෙන තිබිණි. එසේ අත්අඩංගුවට ගත් අය අතර සිටින වැඩි පිරිසක් නැවත කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථනයට යෑමට නොහැකි බව පැවසීම නිසා අධිකරණයේ තීරණය මත ඔවුන් සම්බන්ධයෙන් පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ නොසන්සුන් තත්ත්වයට මුල් වූ මරණය සිදුවී ඇත්තේ පෙරේදා (28) රාත්‍රි කාලයත් ඊයේ (29) උදෑසන කාලයත් අතර තුරදීය. එහිදී මිය ගොස් ඇත්තේ දෙමෝදර පදිංචි 36 වියැති පුද්ගලයෙකි.

මේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ක්‍රියාත්මක වන්නේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය යටතේය. දීර්ඝ කාලීනව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා මේ මධ්‍යස්ථානයට යොමු කෙරෙන්නේ අධිකරණය මඟිනි. යුද හමුදාවේ අධීක්ෂණය සහ ආරක්ෂාව ඇතිව මේ මධ්‍යස්ථානය ක්‍රියාත්මක වේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් දහස් ගණනක් පසුගිය කාලය පුරාවට මේ මධ්‍යස්ථානයෙන් සාර්ථක ලෙස පුනරුත්ථාපනය වී පිටව ගොස් ඇත.

මේ මධ්‍යස්ථානය තුළ ඊයේ නොසන්සුන් තත්ත්වය ඇති වන විට එහි පුනරුත්ථාපනය වෙමින් සිටි පිරිස 997ක් බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. මේ මධ්‍යස්ථානය එළිමහන් නිදහස් පරිසරයක පිහිටා ඇති බැවින් ඇති වූ නොසන්සුන් තත්ත්වය හමුවේ ඒ අයගෙන් 447 දෙනකු උදෑසන කාලයේ සවස මළසිරුර රැගෙන සෙසු පිරිසක් පිටතට පලා ගිය බව ඔහු පැවසීය.

ගේට්ටු බිඳ කම්බි වැටවල් කඩා බිඳ එම පිරිස් පලා ගිය බවත් ඔවුන්ව වළක්වන්නට උත්සාහ දැරූ ආරක්ෂාවට සිටි හමුදා සාමාජිකයන්ට පවා පොලුමුගුරු ගෙන ඔවුන් පහරදී ඇති බවත් පොලිසිය සඳහන් කරයි. එහිදී බස් රථයක් යතුරු පැදියක් ඇතුළු දේපොළ රැසකට ද හානි සිදුව තිබේ. තත්ත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කිරීමට පොලිසියට සිදු විය.

මරණයට පත් වූ පුද්ගලයා ඉකුත් මැයි 22දා මෙහි පුනරුත්ථාපනය සඳහා අධිකරණය මඟින් යොමු කළ අයෙකි. මේ පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ භාවිත කිරීමට තහනම් ද්‍රව්‍යයක් වූ දුම්කොළ සුළු ප්‍රමාණයක් මරණයට පත් වූ පුද්ගලයා සතුව තිබී පෙරේදා (28) එහි උපදේශකයකුට හසුවී ඇති බව පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. දුම්කොළ හසුවීමත් සමඟ ඔහුට එම දුම්කොළ ලැබුණු ආකාරය ගැන විමසමින් උපදේශකයන් පහර දුන් බවත් එම පහරදීම්වලින් ඔහු මිය ගිය බවත් පුනරුත්ථාපනය වෙමින් සිටින සෙසු පිරිස් චෝදනා කරන බව පොලිසිය සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් යම් නොසන්සුන් තත්ත්වයක් පෙරේදා (28) සිට පැවති බව සඳහන්ය.

මේ මරණය ගැන වැලිකන්ද පොලිසියට දැනුම් දීමක් සිදුව ඇත්තේ ඊයේ (29) උදෑසනය. ඒ අනුව පොලිසිය එහි ගොස් මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට යෑමේදී ඊට පුනරුත්ථාපනය වෙමින් සිටි පිරිස් දැඩි විරෝධයක් දක්වමින් මළසිරුර ඇති ස්ථානයට ලංවීමටවත් පොලිසියට ඉඩ දී නැත. ඔවුන් එක හඬින් ඉල්ලා ඇත්තේ ජනමාධ්‍ය එහි කැඳවන ලෙසය. ජනමාධ්‍ය පැමිණීමෙන් පසු මළසිරුර රැගෙන යෑමට ඉඩ දෙන බව කියමින් ඔවුන් කෑගසා තිබේ. පොලිසිය ඒ සම්බන්ධයෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ බලධාරීන් සමඟ සාකච්ඡාවක ද නිරතව ඇතත් ඔවුන්ගේ ප්‍රතිචාර ප්‍රමාද වෙමින් තිබියදී පුනරුත්ථාපනය වෙමින් සිටි පිරිස් කලහකාරි වී දේපොළවලට හානි කරමින් ගේට්ටු සහ ආරක්ෂක වැටවල් දෙකම බිඳ පලා යන්නට පටන් ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

පොලොන්නරුව මහේස්ත්‍රාත්වරයා ඊයේ (29) සවස මේ මරණය වූ ස්ථානයට ගොස් නිරීක්ෂණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

අනතුරුව පොලොන්නරුව අධිකරණ වෛද්‍ය නිලධාරියා එම ස්ථානය නිරික්ෂණය කර පිටවීමෙන් අනතුරුව මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා පොලොන්නරුව රෝහලට රැගෙන යෑමට සූදානම් වූ අවස්ථාවේදී එහි රැදී සිටි සෙසු පිරිස කලහකාරි ලෙස හැසිරීමට පටන් ගෙන තිබේ. ඔවුන් මළසිරුර කරේ තබාගෙන සෝමාවතිය මාර්ගය දෙසට ගමන් කළේය. ඔවුන්ව පාලනය කිරීමට පොලිසියට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු විය. අනතුරුව ඔවුන් ඊයේ රාත්‍රීෙය්දී මළ සිරුර පොලිසියට භාර දී තිබේ. මෙම මරණය සැක සහිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පැවසීය. පශ්චාත් මරණ පරික්ෂණයෙන් මරණයට හේතුව පැහැදිලිවම අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි ඔහු පැවසීය. මෙම මළ සිරුර කරමත තබාගෙන මාර්ගයේ ගමන් කළ පිරිස්ද පොලිසියට භාර වී ඇත. ඔවුන්වද පොලිසිය බස්රථවල නංවාගෙන පොළොන්නරුව පොලිස් ස්ථානය වෙත රැගෙනත් තිබේ. ඒ අනුව ඊයේ රාත්‍රී 7.00ට පමණ වන විට වනවිට පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඉතිරිව සිටියේ පුද්ගලයන් 250කට ආසන්න පිරිසක් පමණි.

‘‘මේ මධ්‍යස්ථානයට පුනරුත්ථාපනය සඳහා යොමු කරන්නේ දීර්ඝ කාලීනව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන්. ඒ අය පළමු මාසය තුළ ගත කරන්නේ ඉතා අසහනයෙන්. මොකද එයාලට මත්ද්‍රව්‍ය මෙහිදී ලැබෙන්නේ නැති නිසා. ගහගන්නවා. සිරුරු කපා ගන්නවා. බැණ ගන්නවා. සිය දිවි හානි කර ගන්න හදනවා. මේ වගේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා‘‘ යැයි මේ සිදු වීම සම්බන්ධයෙන් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

‘‘යම් සිදුවීමක් වෙලා තියෙනවා. දුම්කොළ හමුවීමක් සම්බන්ධයෙන් උපදේශකයෙක් මිය ගිය පුද්ගලයාගෙන් ප්‍රශ්න කර තිබෙනවා. එහිදී යම් ප්‍රශ්නයකුත් ඇති වෙලා තියෙනවා. පස්සේ එම ගැටලුව නිරාකරණය වෙලා. මේ පුද්ගලයා මිය ගිහින් කියල දැන ගන්නේ උදෑසන ඔහු අවධි නොවීම නිසයි. මම වගකීමකින් කියනවා මේ මරණය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් කරන බව. යම් පුද්ගලයෙක් වරදක් කළ බවට තහවුරු වුණොත් ඔහුට නිසි දඬුවම් දෙනවා.‘‘ යැයිද පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ සහ ලංකාපුර සමූහ ලයනල් ද සොයිසා, පොලොන්නරුව දිස්ත්‍රික් සමූහ ඇම්.පී. සරත්

Social Sharing
නවතම