ධම්මික : රාජපක්ෂලාගේ ගැළවුම්කරු

– කේ. සංජීව –

අද ජුනි 09 වෙනිදා. මැයි 09 සහාසික ප්‍රහාරය සහ ඊට පසුව රටතුළ උද්ගත වුණ ප්‍රතිප්‍රචණ්ඩත්වයට අදට මාසයක්. මේ මාසය ගතවීම නිමිත්තෙන් අද ගෝල්ෆේස් අරගල භූමියේ වගේම තැන තැන අනුස්මරණ උත්සව හමුවීම් තිබෙන බව වාර්තා වෙනවා. ඒ අස්සේ වාර්තා වෙන තව දෙයක් තමයි අද නිළ වශයෙන් බැසිල් රෝහණ රාජපක්ෂ දේශපාලනයෙන් සමුගන්නවා, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් සමුගන්නවා කියන දේ. බැසිල් රෝහණ රාජපක්ෂ සිය පාක්ෂිකයන්ට අද විශේෂ මාධ්‍ය හමුවක් තියලා එම තීරණය ප්‍රකාශ කරන්න නියමිතයි කියලා ආරංචි වෙනවා.

මේ සමුගැන්මට මොකද්ද හේතුව කියලා අහනකොට ඔහු තමන්ගේ සමීපතම පුද්ගලයන්ට ප්‍රකාශ කරලා තිබෙන්නේ තමන් පොහොට්ටුවට සහ මේ රටට කරපු සේවය මිනිසුන් පාක්ෂිකයන් අමතක කළා කියලා. මේ තොරතුර ඇත්තනම් අපි කොහොම කොතනින් සිනාසිය යුතුද කියලා ඔහුම කියන්න ඕනී. කොහොමවුණත් බැසිල් දේශපාලනයෙන් ගිහිං මේ රටිනුත් යනවානම් දැනට තිබෙන ප්‍රශ්නවලින් 50%ක් ඉවරයි කියලා තමයි බැසිල්ගේ දේශපාලනය ගැන දන්න මිනිස්සුන්ගේ අදහස. ඉතිං අපි ඔහුට සුබ පතන ගමන් මේ රටිනුත් ගිහිං විශ්‍රාම සුවයෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

බැසිල් රාජපක්ෂ පක්ෂයෙන් දේශපාලනයෙන් පාර්ලිමේන්තුවෙන් රටෙන් යන්න ලෑස්ති වෙන්නේ තවත් විශේෂ පුද්ගලයෙක්ට පාර්ලිමේන්තුවට එන්න ඉඩ හදලා. බොහෝ අය කියන්නේ බැසිල් අන්තිමට තමන්ගේ පාර්ලිමේන්තු ආසනයත් විකුණන්න ඇති කියලා. බැලු බැල්මට ඒකත් පේන එක වළක්වන්න අපිට බෑ. මොකද විජේදාස රාජපක්ෂ ප්‍රසිද්ධියේ බැසිල් රාජපක්ෂ අමන්ත්‍රනය කළේ මිස්ටර් ටෙන් ප්‍රසන්ට් කියලානේ. බැසිල් යනකොට කුප්‍රකට ව්‍යාපාරිකයෙක් වුණ ධම්මික පෙරේරා ඇතුලට එනවා කියන එක තමයි ආරංචි වෙන්නේ. ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවේ ඇවිත් හිඳ ගන්නවා විතරක් නෙවෙයි ඔහුට බලවත් අමාත්‍යාංශයක් ලැබෙනවා. බලවත් විෂයයන් සහ බලවත් ආයතන එක්ක තමයි මේ අමාත්‍යාංශය ලැබෙන්නේ. රනිල් වික්‍රමසිංහ ඩොලර් ගේන්න අගමැති කළා වගේ ධම්මික ආයෝජකයෝ ලංකාවට ගෙන්වන්න ඇමති කරනවා කියලා තමයි ආරංචි වෙන්නේ.

කොහොමවුණත් ව්‍යාපාරිකයෙක් වුණ ධම්මික පෙරේරාට ජනතාව අතරේ එහෙමට කියලා ප්‍රසාදයක් නෑ. කුණු ගෙන්වීමේ ඉඳලා ටයිල් බිස්නස් එකේ ඉඳලා මිනිස්සු ධම්මිකව විවේචනය කරනවා. මිනිස්සු බොහෝ දෙනෙක් කියන්නේ ධම්මිකලා සල්ලිකාරයෝ වුණේ රාජ්‍ය ධනය අවභාවිත කරලා කියලා. ධම්මිකලා කවදාවත් නිශ්පාදන ආර්ථිකය ප්‍රසාරණය කරන්න මැදිහත් වුණ මිනිස්සු නෙවෙයි. සේවා ආර්ථිකයේ පිනුම් ගහමින්, දේශපාලකයෝ එක්ක ඩීල් දමමින් සල්ලි යහමින් ඉක්මනින් හොයපු එක ව්‍යාපාරිකයෙක් විතරයි ධම්මික කියන්නේ. ලංකාවේ ක්‍රියාත්මක ටයිල් බිස්නස් එක ගැන පොඩ්ඩක් හිතුවනම් ධම්මිකලගේ බිස්නස් ගැන, ඒ ව්‍යාපාරවල ව්‍යාපාරික සධාචාරය ගැන අපිට විනිශ්චයකට එන්න අමාරු වෙන එකක් නැහැ.

කොහොම වුණත් බැසිල් රාජපක්ෂ දේශපාලනයෙන් සමුගන්නේ තවත් කොඩිවිනයක් වළලා කියන දේ තමයි දැනට පේන්න තියෙන්නේ. ධම්මික පෙරේරා කියන්නේ රාජපක්ෂවරුන්ගේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කියලා දිගටම කතාව තිබුණා. 2024 ධම්මික තමයි පොහොට්ටුවෙන් එන්නේ කියන එක සෑහෙන්න කාලෙක ඉඳලා කියවෙන දෙයක්. ඒ කියුම සත්‍යක් වෙන්න යන බව තමයි මේ පේන්නේ. දැනගන්න තියෙන විදිහට අද හෝ හෙට බැසිල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට සමුදුන්නට පස්සේ ඒ හිස්වෙන අසුනට ධම්මික පෙරේරා පත් වෙන්න නියමිතයි.

අද අරගලය ගැන කතා කරන විශේෂ දවසක්. අද හැමතැනම කපුටු කාක් කාක් කියන හඬ රැව් දේවී. ඒ අස්සේ බැසිල් දේශපාලනයෙන් සමුගන්න ඉඩ තියෙයි. අනේ බැසිල් යන්න එපා කියලා කෑගහන්න නම් කවුරුත් අද කොළඹට එන එකක් නෑ.

මේ සියල්ල ටක්කෙට මේ ආරංචි එන විදිහටම ක්‍රියාත්මක වුණොත් රාජපක්ෂලාගේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා විදිහට ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට එයි. එහෙම බැලුවාම බැසිල් රෝහණ රාජපක්ෂගේ දේශපාලන සටකපට බව ලේසි නෑ කියලා තමයි කියන්න වෙන්නේ.

 

Social Sharing
නවතම විශේෂාංග