වකුගඩු රෝගීන්ට මරණාසන්නයි..!

වකුගඩු අක්‍රීය තත්වයේ පවතින රෝගීන්ට ලබාදෙන රුධිර කාන්දුකරණ (ඩයලයිසීස්) ප්‍රතිකාරය සඳහා අයකරන ගාස්තු දෙගුණයකින් ඉහළ යාම නිසා රෝගීහු දැඩි පීඩාවකට පත්ව ඇත.

පෞද්ගලික රෝහල්වලින් ඩයලයිසීස් ප්‍රතිකාරය ලබාදීම සඳහා මේ වන විට රුපියල් 10,500ත් 11,960 ත් අතර මුදලක් වැය වන අතර, මීට පෙර ඒ සඳහා අයකෙරුණේ රුපියල් 6,000ත් 8,500ත් අතර මුදලක් බව වාර්තා වෙයි. ඇතැම් රෝගීන්ට සතියකට දෙවරක් ඩයලයිසීස් ප්‍රතිකාරය කිරීමට සිදුවන අතර, වරකට ආසන්න වශයෙන් රුපියල් 10,000ක් වැය වෙනු ඇතැයි අනුමාන කළහොත් මසකට රුපියල් 80,000ක පමණ මුදලක් අවශ්‍ය වේ.

රුධිර කාන්දුකරණ ප්‍රතිකාරය අවශ්‍ය රෝගීන් බහුතරයකට රජයේ රෝහල්වලින් ලබාදෙන ප්‍රතිකාර වාර ගණන සීමා සහිත වන අතර, බොහෝ අවස්ථාවල පෞද්ගලික රෝහල්වලින් ද එම ප්‍රතිකාරය කරගැනීමට සිදුවන පසුබිමක මෙම තත්ත්වය තුළ වකුගඩු රෝගීන් දැඩි අසීරුතාවයට පත්වී ඇත.

මේ සම්බන්ධයෙන් කොළඹ පෞද්ගලික රෝහල් රසායනාගාරයකින් අප කළ විමසුමකදී එහි ප්‍රකාශකයකු පැවසුවේ මෙම ප්‍රතිකාර සඳහා අවශ්‍ය උපකරණ හා ඖෂධ ආදිය වෙනුවෙන් දැරීමට සිදුවන වියදම් ඉහළ යාම නිසා ප්‍රතිකාර වෙනුවෙන් අයකරන මිල ඉහළ දැමීමට සිදුව ඇති බවයි.

පුවත් මූලාශ්‍රය : මව්රට

Social Sharing
නවතම පුවත්