මේ දවස්වල විශාල ජන ඝාතක රැල්ලක් යනවා ඇමෙරිකාවේ. තුවක්කුවක් රැගෙන එන තනි පුද්ගලයෙක් වෙළඳ ආයතනවල බඩු ගනිමින් ඉන්න පිරිස්වලට, පාසල්වල ළමුන්ට, ආපන ශාලා වල කෑම ගනිමින් සිටින පිරිස්වලට, රෝහල්වල සිටින පිරිස්වලට ආදී විශාල පිරිසකට වෙඩි තබා මරා දමනවා.
පිරිස් රැස් වෙන තැන් මේ වෙඩික්කරුවෝ සිය මානය අල්ලන නමුත් එහිදී මුලික වෙන්නේ කළු ජාතික පිරිස් හෝ සංක්‍රමණික ප්‍රජාව ලෙස හැඳින්වෙන සුදු නොවන පිරිස් ගැවසෙන තැන්. ඇත්තටම මේ වෙඩි තැබීම් සුදු ජාතිකයන් කළු ජාතිකයන්ට කෙරෙන හිංසනයක් ලෙස වර නගන්නට හැකි උනත් පසුගිය සතියේ ටෙක්සාස්හි පාසලක සිටින ළමුන් 19 දෙනෙක් හා ගුරුවරුන් දෙදෙනෙක් මරා දැමු අව්රුදු 18 තරුණයා සුදු ජාතිකයෙක් නෙමෙයි. ඉතින් ඒ වර නැගීම ටිකක් සංකීර්ණ කරනවා!
ඒ තතු කෙසේ වෙතත් බොහෝ සුදු වෙඩික්කරුවන්ගේ ඉලක්කය කළු ජාතිකයන්. හරියට ඔවුන් විසින් කළු ජාතිකයන්ට අත් පත් කරලා දීලා තියෙන ඉරණම මදි වගෙයි. සුදු ජාතිකයන් විසින් කළු ජාතිකයන්ට එරෙහිව කරන ලද වාර්ගික හිංසනයේ ප්‍රතිපල, එය ක්‍රමයක් විදියට විහිදී ගිය ඇති අන්දම ඇස් ඉදිරිපිට පෙනෙනවා එහෙ බන්ධනාගාරවලට ගියාම. ඊට හේතුව එම බන්ධනාගාරවල බහුතරය කළු ජාතිකයන්. 2016 දී කරන ලද 13TH documentary එකට අනුව, 1960 ජිම් ක්‍රෝ නීතිය හඳුන්වා දීමත්, ඉන් පසුව දියත් වූ “මත්ද්‍රව්‍ය යුද්ධය” නාමයෙන් කල සිරගත කිරීම් වලට අනුව සෑම කළු ඇමෙරිකානුවන් තුන් දෙනෙක්ගෙන් එක් අයෙකු සිර භාරයේ සිටින බවට හෝ සිර ගත වීමට නියමිත බවට සදහන් කරනවා.
මම විශ්වවිද්‍යාලයේ මගේ ආචාර්ය උපාධිය අවසන් කරන ගමන්, විශ්වවිද්‍යාලයේ මෙන්ම ඇමෙරිකාව තුල උපරිම ආරක්ෂාව සහිත බන්ධනාගාර දෙකක ඉගැන්නුවා. ඉන් එකක ශිෂ්‍යන් 27ක් හිටියා, ඉන් තුන් දෙනෙක් සුදු අය, එක්කෙනෙක් මෙක්සිකන්, අනෙක් සියලු දෙනා කළු ජාතිකයන්. පසුගිය මාසයේ අවසන් වූ පන්තියේ 12 දෙනාගෙන් දෙන්නෙක් සුදු ජාතිකයන් ඉතිරිය කළු ජාතිකයන්.
බන්ධනාගාරයේ ඉගැන්වීම මට මානසික සහ ශාරීරක වඳ හිංසනයක්. ඒකට හේතුව පන්ති කාමරයට යන තෙක් බන්ධනාගාර නිලධාරීන්ගේ අසීමිත පරීක්ෂාවට ලක් වීම. ඒ කාලය විනාඩි 25ක් සිට පැයක කාලයක් වගේ කාලයක්. මම වරදක් නොකර තිබුනත්, මම කෝනෙල් විශ්වවිද්‍යාලයේ ගුරුවරියකට අදාළ සංකේතීය වටිනාකම සහිතව ගියත්, ඔවුන් මට බොහෝ විට ඒත්තු යවනවා මම වැරදි කාරයෙක් බව! එසේත් නැතිනම් මගේ ගුරු සහායිකාව වරදක් කර ඇති බව! මගේ බ්‍රා එකේ මොනවා හරි සඟවාගෙන යනු ඇතැයි ඔවුන් සිතනවා. ඉතින් එය ගලවා බෑගයක දමා ඔවුනට පෙන්විය යුතුයි. එය ඉතාම හිරිකිත හැගීමක්. ඒ මනුස්සයෙකු ලෙස මට ඇති ලොකුකම් සියල්ල පසෙක දමා, නිලධාරීන්ගේ අණසකට යටත් වීමට සිදු වීම නිසා මට දැනෙන හැඟීම. වරදක් නොකර තිබුනත් මා වරදක් කර ඇතැයි මට සැකයක් පහල වීම!!! මේ බොහෝ අවස්ථාවල අල්තුසර් මට නිතර මතක් වෙනවා. මා විෂයක් විදියට ඔවුනගේ පරීක්ෂාවට ලක්වීමට පෙරමත් මා වැරදි කාරයෙක් වී ඇති බවට සලකුණු කෙරෙන දෘෂ්ටිවාදය පිළිබඳ ඔහුගේ කියවීම නිසයි ඒ. පොලීසිය හේයි කිව්වම, වැරැද්දක් නොකලත් අපි ඔවුන් දෙසට හැරෙනවා!
කොහොම උනත් මම එහි ඉගැන්වීමට යන්නේ ස්වේච්චාවෙන්. මම කවදාවත් මගේ ශිෂ්‍යයන් කරන ලද වැරදි අහන්නේ නැහැ. ඒ පන්තිය තුල අපි සමානයන් නිසා. ඒවා අධි ආරක්ෂිත බන්ධානාගාර නිසා එහි ඉන්නේ මිනි මරපු, මංකොල්ල කන ලද, මත්ද්‍රවය ජාවාරමේ නායකයන් හා ආයුධ වෙළදාමේ නායකයන් ලෙස කටයුතු කරපු පිරිස් බව මට අදහසක් තියෙනවා. එහෙම නැතිනම් අපිට දැනගන්නම ඕනේ නම් එයාලගේ නම් අන්තර්ජාලයෙන් බලාගත හැකියි. මම කවදාවත් ඔවුන්ව චෙක් කරලා නැහැ. ඔවුන් තරම් සංවාදයට දක්ෂ සිසුන් මම දකින්නේ කොනෙල් විශ්ව විද්‍යාලයේ පන්ති කාමරවල පවා අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. ඒත් පන්තිය අවසන් උනාම නිලධාරීන් ඔවුන්ව රැගෙන යන එන තෙක් අපි කතා කරනවා. එක මොහොතක මට ආයුධ වෙළඳාමේ නායකයෙක්ව සිට අව්රුදු 35ක දඬුවමකට ලක්ව ඇති මගේ ශිෂ්‍යයෙක් කියනවා, “මිස් ජී, මගේ දුවට දැන් වයස 12යි, එයා ගිය සතියේ ආපු වෙලේ මම එයාට කිව්වා මම මෙහි ඉන්න හේතුව. ඔයා දන්නවද එයා අහපු ප්රශ්නය, එච්චරද තාත්තේ? මම හිතුවා ඔයා කව්රුහරි මරලා කියලා.” (is that all dad?, I thought you killed somebody or something).
ආයුධ වෙළඳාම ලයිසන් අරන් කරන බහුතරය සුදු අය. ඒ අයගෙන් ආයුධ මිලට අරන් කළු ජාතිකයන් සංක්‍රමණිකයන් මරන්නේ කිසිවක්ම නැති සුදු ජාතිකයන් නෙමෙයි. එහෙම ලයිසන් නැතිව වෙළඳාම කරන බහුතරය ඉන්නේ මගේ වගේ පන්තිවල!
මම මට වෙන මානසික හිංසනය, සමහරවිට මගේ හුස්ම හිර කරන තරම් ඒ නිලධාරීන් කෙරෙහි දැනෙන තරහව දරාගෙන මම මගේ පන්තියට එන පිරිසට උගන්වන්න යන්නේ “අධ්‍යාපනය ලාභ අපේක්ෂාවෙන් තොරව පවතිනවාය” යන අදහස ඔවුන් මට තහවුරු කරන නිසා. මගේ පන්තියේ සමහරු ජීවිතාන්තය දක්වා බන්ධානාගාරයට නියමිත වෙලා ඉන්න අය. ඒත් ඒ අය එනවා මගෙන් මානව විද්‍යාව ඉගෙන ගන්න. ඔවුන් විසින් මට පන්තිය අවසානයේ කියනවා “අපි කැමතිම පන්තිය මේක. මොකද මිස් ජී කවදාවත් අපිට අපි බන්ධානාගාරයේ ඉන්න බව දැනෙන්න දීලා නැහැ.” ඒත් ඇත්තටම මම ඔවුන් වෙනුවෙන් කිසිවක් කරනවා කියලා මට තවමත් දැනිලා නැහැ.
මේ දවස්වල බන්ධනාගාරයේ තමන්ව එළියෙන් බලන්න එන පිරිස්වලට කෑම බීම, සනීපාරක්ෂක ද්‍රව්‍ය ගෙන ඒම තහනම් කරලා ඔවුන්ට ඒවා බන්ධනාගාරයෙන් මිලට ගන්න තීරණයක් අරගෙන තියෙනවා. ඒවායේ මිල තෙගුණයක් එලියට වඩා. ඒකෙන් කරන්නේ ඔවුන් වැඩ කරලා පැයකට හම්බ කරන ඩොලර් සත 70ත් බන්ධනාගාරයේම තියාගන්න සැලසුම් කරන එක. මගේ ශිෂ්‍යයෝ මට කියනවා මේ සම්බන්ධයෙන් මොනා හරි එළියේ කරන්න කියලා. ඒත් මම මේ වෙන තෙක් ඊට ඇති අවස්ථාවත් බැලුවේ නැහැ!
මම උගන්වන්න, ඉගෙන ගන්න කැමතියි. ඉතිරි ජීවිත කාලය ඒ වෙනුවෙන් වැය කරන්නයි මගේ අරමුණ. මම පීඩිතයාට පක්ෂව සංවිධානය වෙන හිංසනයට පක්ෂයි. ඒ කවදා හරි දවසක පීඩිත ජනතාව සිය හිංසනයට එරෙහිව නැගිටින දවසක ඔවුන් සමග හිටගන්න අදාළ වෙන කතිකාව මගේ පන්ති කාමරයට එන පිරිස් එක්ක බෙදාගෙන තියාගන්න ඕනේ නිසයි.
කෙසේ වෙතත් ජන ඝාතකවලට උත්තරය විදියට ඇමෙරිකාවේ සංවාදය දිවෙන්නේ තුවක්කු තහනම් කිරීම වෙනුවෙන්. මම හිතන්නේ ඒ අයට මග හැරෙනවා බරපතල ප්‍රශ්නයක් තමන්ගේ සමාජය පිළිබඳ. ඇමෙරිකාව මහන්සි ගන්න ඕනේ අපි එකිනෙකා විශ්වාස කරන සමාජයක් ගොඩ නගා ගන්න එක වෙනුවෙන් කියලයි මගේ අදහස. ඇමෙරිකාවේ තුවක්කු තියාගන්න පක්ෂ අය කියන්නේ ඒවා තියාගන්නේ අනෙකාගෙන් ආරක්ෂා වෙන්න කියලයි. හරි අඩුවෙන් අහනවා ඇහෙන්නේ මේ ඇත්ත ප්‍රශ්නේ: ඉතින් කාගෙන්ද මේ ආරක්ෂා වෙන්න ඕනේ?
මම හිතන්නේ සමාජයක මුලික කොන්දේසියක් වෙන්න ඕනේ අපිට අපේ අසල්වැසියා විශ්වාස කරන්න හැකි වීම. එහෙම නොවන තැනක ප්‍රජාවක් නැහැ. ඉතින් මම මගේ ඇමෙරිකානු මිතුරන්ට කියන්නේ ඇමෙරිකාව කියන්නේ මට අනුව මිනිසුන් ජීවත් වන ස්ථානයක්. ඒක තවමත් සමාජයක් නොවෙයි !(It is a place of living beings, not a society!).
ගීතිකා ධර්මසිංහ
උපුටාගැනීම : ෆේස්බුක්