21 නොඑන හැඩ..!

අද (06) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන බව කලින් ප්‍රකාශ වුවත්, අද කැබිනට් රැස්වීමට එම සංශෝධනය ඉදිරිපත් කර නැත.

මෙම කැබිනට් මණ්ඩල හමුවට ප්‍රථම ජනාධිපති මන්දිරයේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වී ඇති අතර එහිදී 21 වැනි සංශෝධනය පිළිබඳව සාකච්ඡා කර ඇත. එම සාකච්ඡාවේදී බහුතර මතය වී ඇත්තේ මුලුමනින්ම ව්‍යවස්ථාව වෙනස් කර අලුත් ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවය. එහෙත් ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ සුළුතරයකගේ මතය වී ඇත්තේ 21 වැනි සංශෝධනය මේ අවස්ථාවේ සම්මත කරගැනීම සඳහා සහාය දිය යුතු බවය. ජනතා මතය එය බව ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ද ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති ක්‍රමය අහෝසි කර පූර්ණ පාර්ලිමේන්තු ක්‍රමයකට යා යුතු බවය. අතරමැදි තත්ත්වයන් නැති බවද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත. මෙයින් පෙනෙන්නේ 21 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට නොඑන බවද? බොහෝ දෙනෙක් එම ප්‍රශ්නය නඟයි.

Social Sharing
නවතම පුවත්