ශෂීගේ වයස සහ විමල්ගේ කට …!

ශෂී වීරවංශ පහුගිය මැයි 27 හිරේට ගියා. ඒ ඇයි? හේතුව තමයි ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරලා අවිධිමත් විදිහට රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම. මේ නඩුවේ තීන්දුව දුන්නේ කොළඹ පූර්වගාමී මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල. තීන්දුවට අනුව ශෂී වීරවංශට අවුරුදු 02 ක සිර දඬුවමක් ලැබෙනවා. දඩය රුපියල් ලක්ෂයක්. ඒක නොගෙව්වොත් තවත් මාස 06ක් සිරදඬුවම දීර්ඝ වෙනවා. ඒක තමයි උසාවි නියෝගය. මේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරපු මහේස්ත්‍රාත්වරයා කිව්වේ විත්තිකාරියට එරෙහිව නඟලා තියෙන චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකරන්න පැමිණිල්ල සමත් වුණා කියලා. කොහොම හරි මේ ලිපිය ලියනකොට අභියාචනා කිරීම නිසා ශෂීට ඇප ලැබිලා.

මේ සිදුවීම එක්ක අපි දැක්කා විමල් වීරවංශ අධිකරණයෙන් පිටත හැසිරෙන ශාන්ත නිවුන ස්භාවය. දුක වේදනාව තමයි තිබුණේ. ඒක හරි, බිරිඳ හිරේට යනකොට කොයි සැමියටද දුක නැත්තේ?.. ඒත් මේ තීන්දුව ඓතිහාසික තීන්දුවක්. ඒ ඇයි, මේක ඉතිහාසයට යන නඩු තීන්දුවක් වෙන්නේ. විමල් වීරවංශ කියන්නේ බොරු පැලකරපු මිනිහෙක්. බොරුවෙන් රටක් වසඟයට ගත්ත මිනිහෙක්. කටේ දිවේ තොලේ නොගෑවෙන්න බොරු වමාරන්න දැනගෙන හිටපු මිනිහෙක්. 2002-2004 රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව වට්ටන්න වගේම, 2005 රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති සිහිනයට කෙළවලා දාන්නත් මේ කටට පුලුවන් වුණා. ඇත්තටම කියනවා නම් 2000න් පස්සේ මේ ගෙවුණ කාලේ ලංකාවේ දේශපාලනය තීරණය කළේ යම් පමණකට මේ කට. රනිල් වික්‍රමසිංහ ගැන සාහිත්‍ය හැදුවේ මේ කට. මංගල සමරවීර ඒකට අවශ්‍ය මතවාදී දැනුම දුන්නා. හැබැයි මංගල හදපු කතා සමාජයට අරගෙන ගිය පූරක තමයි විමල් වීරවංශ. සුනාමි සහන මණ්ඩලය ගැන අන්තර්වාර පාලනය ගැන මේ කට උස්ව චලනය වුණා. ඒ චලනයන් තමයි අන්තිමට ලංකාවේ ගමන තීරණය කළේ.

ලංකාව කියන රට අල්ලගන්න හැම වෙලාවෙම බලාගෙන ඉන්න ආක්‍රමනිකයා ගැන සුරංඟනා කතාව හදලා ඒක මිනිස්සුන්ගේ ඔලු අස්සේ පැලකරපු ප්‍රධාන චරිතය තමයි විමල් වීරවංශ. නලීන් ද සිල්වා, ගුණදාස අමරසේකර වගේ අය මේකට අවශ්‍ය මතවාදය සහ විෂය හදලා දුන්නට මේක ජනතාවගේ ඔලු ගෙඩිය අස්සට බැස්සුවේ විමල් වීරවංශ. මේ කට ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නකොට ජවිපාවුණ් කිව්වේ විජේවීර නැවත ඉපදුනා කියලා. මහින්ද රාජපක්ෂ විතරක් නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ හදන්නත් විශාල වැඩ කොටසක් කළේ මේ කට. 2005 ඉඳලා 2015 වෙනකම් මහින්ද චින්තනයට රටේ ජනතාව පෙළගැස්සුවේ මේ කට කිව්වොත් හරී. 2015 පස්සේ මහින්ද සුළඟ හැදුවේ ඊටත් පස්සේ වැඩකරන විරුවාට නාමයෝජනා අරගෙන දෙන්න කෑගැහුවේ මේ කට. මේ හැමතැනම පාවිච්චියට ගත්තේ ඇග පුරාම තිබුණ බොරුව.

එහෙම බැලුවාම රටට මේ උදාවෙලා තියෙන තත්ත්වයට වඟකියන්න ඕනී ප්‍රධානම කට තමයි විමල් වීරවංශගේ කට. විමල් වීරවංශ බොරු කිව්වා විතරක් නෙවෙයි බොරුවෙන් ජීවත් වුණා. ඒකට හොඳම නිදසුන තමයි තමන්ට වඩා වැඩිමහල් තමන්ගේ බිරිඳගේ වයස වෙනස් කිරීම. අද ඒ බොරුවෙන් හදාගත්ත මාළිගා ඔක්කොම කඩාගෙන වැටිලා. බොරුවෙන් ගොඩනඟපු රටත් කඩා වැටිලා. බොරුවෙන් ගොඩනඟපු ගෙදරත් කඩා වැටිලා. බොරුවෙන් ගොඩනඟපු පවුලත් කඩාගෙන වැටිලා.

ශෂී වීරවංශ හිරේට යනකොට විමල්ගේ යාළුවෝ උසාවියට ඇවිත් හිටියා. ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර ඒ අස්සේ හොඳට පෙනුනා. මේ හාදයෝ සහ විමල් අතරේත් විශාල වෙනසක් නෑ. ඒත් මේ සියල්ලෝ අස්සේ බොරුවෙන් ජීවත්වුණ ලොකුම එකා තමයි විමල් වීරවංශ.

-කේ. සංජීව-

 

Social Sharing
නවතම විශේෂාංග