ජාතික චින්තනයේ මධුසමයේ බබා හම්බ විම!

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (8 කොටස)

අවම වශයෙන් අවසන් දශක හතරක පමණ ලංකාවේ සියලු සංස්කෘතික පිරිහීම්, සදාචාර අර්බුද, ආගමික අර්බුද, විරැකියාව ආදී සියලු දේශපාලන අස්ථාවරත්වයන්හි අවසන් හේතුව ලෙස නම් කෙරුනේ විජාතික අනෙකෙකි. දශක තුනක් “දෙමළා නිසා තමා මේ ඔක්කොම ප්‍රශ්න” ලෙස අර්බුද සාරාංශ වූ අතර අවසන් දශකයකට වැඩි කාලයක එය “හම්බයන් නිසා තමා මේ ඔක්කොම ප්‍රශ්න” ලෙස සාරාංශ විය. එලෙස ජාතියක් සියලු සමාජ අසමානතා වල අවසන් අධිපති හේතුව ලෙස හඳුනාගැනිණ. මේ යුගයේ වර්ධනය වූ අධිපති දේශපාලන දෘෂ්ටිවාදය වන්නේ ජාතිකවාදයයි. ජාතිකවාදය යනු සංකීර්ණ දෘෂ්ටිවාදයකි. නමුත් එහි ක්‍රියාකාරීත්වය සරළය. ඒ සියලු සමාජ හේතු වල අවසන් සාධකය ‘ජාතික අනෙකෙක්’, දෙමළා හෝ මුසල්මානුවා ලෙස නම් කිරීමෙන් ප්‍රශ්න සාරාංශ කිරීමයි. එසේම ජාතිකවාදය යනුම එක් ජාතියක අධිපති පැවැත්මක් සමග වර්ධනය වන්නකි. ලංකාවේ නම් ඒ අධිපති ජාතිය සිංහල ජාතියයි. ‘රටවෙනුවෙන්’ යයි කී විටම අප උනන්දු විය යුත්තේ එහි මතුපිට අර්ථයට වඩා යටිපෙළ ඉඟිකිරීම් වෙතයි. එනම් සිංහල ජාතිය මූලික ‘සිංහල බෞද්ධ’ රටයි. සිංහල බෞද්ධ රාජ්‍ය වෙනුවෙන් පෙනීසිටීමයි. එසේ නොකරන්නවුන් සරළමතිකව දේශද්‍රෝහීන් ලෙස නම් කිරීමයි. මේ අප අත්විඳි අවසන් දශක කිහිපයක අධිපති දෘෂ්ටිවාදී ආඛ්‍යානයයි. 2022 අප්‍රේල් යනු ඒ අවසන් හේතුව ජාතික අනෙකා ‘නම් මායාව ඉරාගෙන’ දේශපාලන ආර්ථිකය’ නම් කුරිරු මූලධාර්මික සමාජ ප්‍රශ්නය අභිමුඛ වීමයි.

දැන් බොහෝ ලිබරල් හා වාමාංශික සමාජ කොටස් හිතන්නේ ලංකාවේ ජාතිවාදයේ අවසානය අප්‍රේල් නැගිටීම් සමග උදාවේ’යයි කියායි. මේ ලංකාවේ ජාතිවාදයේ හෝ ජාතිකවාදයේ අවසානයද? ගෝටා ගෝ ගම එහි සංකේතයක්ද?

මේ යුගයේ ලිබරල් දේශපාලනය ගෝලීය බහුසංස්කෘතිකවාදය වන අතර ජනප්‍රිය ජාතිකවාදය ගෝලීයව පවතින්නේ ඉස්ලාමාෆෝබියාවක් හෙවත් ඉස්ලාමීය භීතිකාවක් කේන්ද්‍රීයවය. මෙය ආසන්න වන්නේ විසිවැනි සියවසේ මුල වූ යුදෙව් විරෝධී ගෝලීය ජාතිවාදයටය. ජනප්‍රිය ජාතිවාදී දේශපාලනයට එරෙහිව පැමිණි විරුද්ධ දේශපාලන දෘෂ්ටිවාදය වූවේ බහුසංස්කෘතිකවාදයයි. එනම්  වෙළෙඳපොළ නිදහස මූලික ලිබරල්, ඊනියා මධ්‍යස්ත විකල්පයයි. මීට ‘ඊනියා’ ලෙස සටහන් කලේ එහි පවතින වෙළෙඳපොළ අසාධාරණය මගහරිනා දෘෂ්ටිවාදී එළඹුම නිසයි. ජාතිවාදී දේශපාලන ධාරාවට එරෙහි ලිබරල් දේශපාලන සටන්පාඨය වන්නේම ‘සංහිඳියාව’යි. පසුගිය දශක තුනකට අධික සිවිල් සමාජ ව්‍යාපෘති වල තේමාව වූයේ සංහිඳියාවයි. මෑතකාලීන විකල්ප කලාව හෝ තරුණ ව්‍යාපෘති හෝ ජාතීන් අතර ව්‍යාපෘති හෝ අධ්‍යාපනය ව්‍යාපෘති ආදී බොහෝ අංශවල මූලික වූයේ ‘සංහිඳියා කතිකාව’යි. සරළව කියතොත් අධිපති සමාජ දේශපාලන කඳවුරු දෙක වුයේ ජාතිවාදී හා සංහිඳියා කඳවුරයි. චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ දේශපාලනය තුළ ප්‍රකට කළ මේ සටන්පාඨයට එරෙහිව 90 දශකයේ සංවිධානය වූයේ කව්ද?

පීතෘභූමි ජාතිකවාදය

ලංකාවේ මෙතුවක් පැමිණි ජාතිකවාදී හෝ ජාතිවාදී දේශපාලනයේ කූටප්‍රාප්තිය යනු රාජපක්ෂ රෙජීමයයි. නමුත් විශේෂයෙන් මහින්ද රාජපක්ෂ බලයට පත්වීමෙදී භාවිත වූ ජාතිකවාදී දෘෂ්ටිවාදයේ පීතෘවරු කව්ද? අපි සරළව හා කෙටියෙන් සමකාලීන ජාතිකවාදී ව්‍යාපෘතියේ දේශපාලන විකාශනය පෙළගස්වමු. එක් අතෙකින් ධර්මපාල මූලිකව බිහිවූ යටත්විජිත ජාතිකවාදී ව්‍යාපෘතියේ ‘ජාතීන්ගේ නිදහස’ පිළිබඳ කතිකාවේ පශ්චාත් යටත්විජිත මුහුණුවරක් 1956 සුප්‍රකට බණ්ඩාරනායක ආණ්ඩුවෙන් ප්‍රකට වූ අතර එහි මූලික හරය වූයේ රාජ්‍ය පාලනය හා සංස්කෘතික ආධිපත්‍යයි. එක් අතෙකින් ඉන්පසුව ව්‍යවස්ථා පිළිබඳව උනන්දුව ජාතීන් මූලිකව හා ජාතික ආර්ථිකය මූලිකව සංවිධානය වූ අතර අනෙක් පසින් ‘දේශීයත්වය’ පිළිබඳව සංස්කෘතික අදහස් ප්‍රචලිත විය. එම යුගයේ දේශපාලනය තුළ මූලික වූයේ පරිපාලනය හා සංස්කෘතියයි.

අනතුරුව හැටේ දශකය වනවිට සෝවියට් සමූහාණ්ඩුව ජෝසප් ස්ටාලින් මූලිකව බිහිවූ ආරක්ෂණවාදී සමස්තයක් ‘සෝවියට් දේශය’ ලෙස නිර්මාණය කළ අතර සෝවියට් දේශයේ ආරක්ෂාව උදෙසා විවිධාකාර ප්‍රචාරණ යාන්ත්‍රණ නිර්මාණය විය. “භූමියක් වෙන්කොට එය රැකීම” සිය දේශපාලන අභිලාෂය කරගත් ලෝකයේ විශාලම දේශපාලන ව්‍යාපෘතිය වූයේ සෝවියට් ව්‍යාපෘතියයි. එහි ආභාෂයෙන් චීනය, කියුබාව, වියට්නාමය ආදි රටවල සිදු වූ අරගල ඉතා දැඩි ජාතිකවාදී මුහුණුවරක් ගත්තේය. එහිදී ජාතිකවාදී දේශපාලනයට එක් වූ නව බරපතළ සාධකය වූයේ දේශපාලන ආර්ථිකය ජාතික රාජ්‍ය මූලිකව තේරුම් කරවීමයි. මොවුන් ‘දේශීය නිෂ්පාදනය’ අවධාරණය කරමින් ඊට ජාතික රාජ්‍ය සම්බන්ධ කළ අතර ඒ හරහා ශක්තිමත් වාම ජාතිකවාදයක් නිර්මාණය විය. වැඩවසම් ‘මාතෘභූමිය’ සංකල්පය වෙනුවට සෝවියට් යෝජනාව වූවේ ‘පීතෘභුමිය’යි. ලංකාවේ සමසමාජ පක්ෂය එකල සෝවියට් ස්ටාලින්වාදී සුවිශේෂය හා යුරෝපීය සුබසාධන ආකෘතිය සම්මිශ්‍රිතව ජනරජ ව්‍යවස්ථාව හරහා ආර්ථික ජාතිකවාදී ලිබරල් පරිපාලය ලංකාවට හඳුන්වා දුන්නේය. ඊට එරෙහිව සංකීර්ණ ලෙස පංතිය හා ජාතිකවාදය මුල්කොටගෙන රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ හරහා පෙරකී වාම ජාතිකවාදී දේශපාලන ආකෘතියක් යෝජනා කල අතර ඊට අභිමුඛ වූ දමිළ ජාතික විමුක්ති දේශපාලනය හමුවේ සංකීර්ණ අභියෝගවලට මුහුව්පෑවේය. එහිදී එක් අතෙකින් වාම සූරියමල් වෙනුවට රාජ්‍ය මිලටරි පොපිමල් වෙනුවෙන් ජවිපෙ පෙනීසිටි අතර උග්‍ර ලෙස ජාතිකවාදයක් කරා තල්ලු විය. ජවිප ‘දෙශහිතෛශී ජාතික ව්‍යාපාරය’ ආදී සංවිධාන හරහා ජාතිකවාදී දේශපාලනය සංවිධානය කල අතර ඊට යොදාගත්තේ ගුණදාස අමරසේකර අසූව දශකයේ හඳුන්වාදුන් ‘ජාතික චින්තනය’ නම් සංකල්පයයි.

සුදුකරපටි සභ්‍යත්ව රාජ්‍ය  

එක් අතෙකින් අමරසේකර දැන් ‘සභ්‍යත්ව රාජ්‍ය’ ලෙස සාරාංශ කරනා බුද්ධිමය දේශපාලන ප්‍රවාහයත් නලින්ද සිල්වාගේ ජාතික සාරය මූලික දෘෂ්ටිවාදී ව්‍යාපෘතියත් දේශපාලන ධාරාවන් දෙකක් නිර්මාණය කළේය. අමරසේකර හරහා විජේවීරගේ වාම ජාතිකවාදී දේශපාලනය ජවිපෙ හරහා ද නලින්ගේ ජාතිවාදී දේශපාලන ව්‍යාපෘතියට සිහළ උරුමය හරහා ජනප්‍රිය දේශපාලනයට ද හැඩයක් ලැබින. අනූව දශකය වනවිට ගංගොඩවිල සෝම හිමි හරහා චම්පික රණවකගේ දේශපාලන ව්‍යාපෘතිය ජාතික අධ්‍යාත්මික දේශපාලන ව්‍යාපෘතියක් ලෙස වර්ධනය වූ අතර ජවිපෙ වඩවඩාත් ඊට සමීප වෙමින් ජාතිකවාදී කොඩිය දිනාගැනීම වෙනුවෙන් ජාතික චින්තන ව්‍යාපෘතිය සංවිධානය කළේය. මේ පාර්ශ්ව දෙකම මහින්ද රාජපක්ෂ ලග අනාගත නායකත්වයක් දුටු අතර ප්‍රතිඵලය අවසානයේ කව්රුත් දන්නා පරිදි ජවිපෙ විමල් වීරවංශ ජාතික චින්තනයේ ජනප්‍රිය ප්‍රකාශකයා වෙමින් රට, ජාතිය, රණවිරුවා නම් සංකල්ප එක් කරමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ජාතිකවාදී දේශපාලනය සින්නක්කරව ලියා දීමට සමත් විය. ඒ වනවිට ජාතික හෙළ උරුමය හා ජවිපෙ ජාතිකවාදය තුළ යළි හැරවීමට අසීරු දුරක් ගොස් සිටි අතර යුද ජයග්‍රහණය හරහා ජාතියේ (සිංහල ජාතියේ) එකම නියෝජිතයින් බවට රාජපක්ෂ නම් ප්‍රභූ දේශපාලන පවුල භෞතීස්ම කර හමාරය. ජාතිකවාදී කඳවුරේ බොහෝදෙනාගේ ශ්‍රමයෙන් එසේ ප්‍රභූ පවුලක් ජාතිකව පමණක් නොව කලාපීයව ද ශක්තිමත් දේශපාලන බලයක් ලෙස නිර්මාණය විය. රාජපක්ෂලා බිලයනපතියන් වෙද්දී සෙස්සෝ මොනවද කාපු මොක්කුද මෙන් දැන් බලාසිටිති. අවසානයේ ජනප්‍රිය තලයේ රාජපක්ෂලා මේ වනවිට චම්පිකව රිය අනතුරු නඩුවක් හරහා ද වීරවංශව බිරිඳගේ විදෙස් ගමන් බලපත්‍ර නඩුවක් හරහා ද නූල් සූත්තර ක්‍රමයට පාලනය කරමින් සිටී.

මේ අනුව බලන කල ලංකාවේ ජාතිකවාදයේ දේශපාලන බල උරුමය අපට මෙසේ සාරාංශ කළ හැක. මුලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු වූ සිංහල ජාතික නියෝජිත උරුමය ඉන්පසු ජනප්‍රිය බෞද්ධ භික්ෂු ප්‍රවණතාව හරහා සිහළ උරුමයට ද පසුව රාජපක්ෂ පවුල හරහා පොදුජන පෙරමුණට ද උරුම වූ අතර අවසානයේ එය ගෝඨාභය රාජපක්ෂ නම් තනි පුද්ගලයා වටා සංකේන්ද්‍රණය විය. නමුත් ඒ වනවිටත් ලංකාවේ ජාතිකවාදී සිංහල නියෝජනය බහුගුණ වී හමාරය. ගෝඨාභය රාජපක්ෂ ව්‍යාපෘතිය ආරම්භය 2013 මුස්ලිම් ජනතාව ඉලක්කගතව සිදු වූ ප්‍රහාර සලකුණු කළ හැක. ඒ හරහා එක් අතෙකින් එතුවක් පාලකයන්ගේ හෙවත් රාජපක්ෂලාගේ උරුමයක් වී තිබූ සිංහල බෞද්ධ දේශපාලන බලය එතැන් පටන් බොදුබල සේනා, සිංහ ලේ, රාවණ බලකාය, මහසෝන් බලකාය ආදී කුඩා සංවිධාන වල ගලගොඩඅත්තේ ඥානසාර, මැඩිල්ලේ පඤ්ඤාලෝක, මාගල්කන්දේ සුදන්ත, ඉත්තෑකන්ද සද්ධාතිස්ස, මැදගොඩ අභයතිස්ස ආදී බෞද්ධ භික්ෂූන් වටා ද අමිත් වීරසිංහ, ඩෑන් ප්‍රියසාද්, නාමල් කුමාර ආදී මාධ්‍ය මගින් නිර්මාණය කළ පුද්ගල චරිත වටා ද ප්‍රති සංවිධානය විය. මුලදී නලින්ද සිල්වා හෝ ගුණදාස අමරසේකර වටා ගොඩනැගී තිබූ ඊනියා විකල්ප බුද්ධිමය ජාතිවාදී බල ව්‍යාපාරය මාධ්‍ය ප්‍රාග්ධනය විසින් හා අමරසේකරගේ භාෂාවෙන් කියන්නේ නම් නව වසළ වෙළෙඳ කුලය විසින් හැසිරවෙන ද්විතීය ජාතිකවාදී තීරුවක් වෙතට මාරුවිය. එසේම සාම්ප්‍රදායික ත්‍රෛනිකායික බෞද්ධ දේශපාලන ව්‍යුහය වෙනුවට අසපු මූලිකව විකල්ප බල ව්‍යුහයක් ද නිර්මාණය වී ඇත. රාවණ කතිකාව ප්‍රබේධ ගණනාවකට බෙදී ගොස් සංකීර්ණ දෘෂ්ටිවාදී විවිධත්වයක් නිර්මාණය කොට ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූයේ මෙසේ විසිරුණු ජාතිකවාදී බලව්‍යුහයකිනි.

එසේම ගෝඨාභය බලයට ගෙන ඒම සඳහා මූලික වූ සංවිධානය වන වියත් මග සැලකුවහොත් එමහින් ආමන්ත්‍රණය කලේ නව ආසියානු සුදුකරපටි මධ්‍යම පංතියකටය. ඔවුන් පොරොන්දු වූ ජාතික ආර්ථිකය පොහොර අර්බුදය පමණක් සැලකුව ද බරපතළ ලෙස අවලංගු වූ අතර සටන්පාඨයක් ලෙස මතුපිටින් ගෝඨාභය කාබනික වගාව රැගෙන ආව ද ඔහුගේ සංවර්ධන ව්‍යාපෘතිය හා සුපුරුදු ලෙස එහි සෘජු සම්බන්ධයක් නොවීය. පොහොට්ටුවේ ග්‍රාමීය දේශපාලන පදනම මින් බරපතළ ලෙස අභියෝගයට යනු ඇත. එසේම ජාතික සාරය සැලකුව ද ගෝඨාභය පවා ‘සිංග්‍රීසි’ ලෙස මාධ්‍ය සාකච්ඡා වල පවා කථා කරමින් නියෝජනය කලේ නිලධාරීවාදී ‘සරමෙ මහත්තයා’ ආකෘතියකි. සරමෙ මහත්තයා කියා ලංකාවේ සැලකුණේ පිටින් දේශීයත්වය තවරාගත් ඇතුළතින් බටහිරකරණය වූ පුද්ගලභාවයයි. ඒ අර්ථයෙන් පවා ගෝඨාභය රාජපක්ෂවාදී සාටකය වෙනුවට රාජ්‍ය නිලධාරී කමිසයට මාරු වීමම සංකේතීයව සිංහල බෞද්ධ ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතියේ පරිනාමයේ තීරණාත්මක සංධිස්ථානයකි. තවදුරටත් සාම්ප්‍රදායික සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය අවවර්ධිත ග්‍රාමීය ප්‍රජාවක් අතර පැවතුන ද එය නාගරික ගෝලීය ධනවාදී ව්‍යාපාරික පැළැන්තියට සමපාත වන්නේ නැත. ගෝඨාභය දෝලනය වූයේ මේ දෙපාර්ශවය අතරය. එක් අතකින් සිංගප්පූරු මොඩලයේ බටහිරකරණය වු සුදුකරපටි සංවර්ධනයක් ද අනෙක් පසින් දේශීය වටිනාකම් ද රැකීමේ පරම පොරොන්දුව විසින් ගෝඨාභයව බරපතළ අර්බුදයකට පත් කළේය. දශක කිහිපයක් තිස්සේ වගා කළ ජාතිකවාදී දෘෂ්ටිවාදයක කූටප්‍රාප්ති මැතිවරණ ජයග්‍රහණයක් මෙන්ම හා එහි නාටකීය මායාමය අවසානයක උග්‍ර අර්බුදයකට ද කරගහන්නට ගෝඨාභයට සිදුවිය.

ගෝඨාභය ආණ්ඩුවේ ප්‍රචාරණ ව්‍යාපෘතිය හා ක්‍රියාව අතර පරතරය ගැඹුරු වූවේ කොවිඩ් හා ආර්ථික අර්බුදය සමගය. මහින්ද ආණ්ඩුව අරන්තලාව භික්ෂු ඝාතන චෝදනා ඇති කරුණා අම්මාන්ට නිදහස් පක්ෂ උපසභාපති තනතුර දීම හෝ කේපීට නිදහසේ ළමානිවාසයක වාසය කරන්නට දීමෙන් හෝ අභ්‍යන්තර දෘෂ්ටිවාදී දෙදරීම් සිදුවූයේ නැත. නමුත් කොරෝනා සමයේ අලිශබ්‍රිට අධිකරණ අමාත්‍යධූරය ලබාදීමත් ඔහු මුස්ලිම් ප්‍රජාවගේ මරණ භූමදානය වෙනුවෙන් එළිපිට පෙනී සිටීමත් ඉඟි කලේ ශක්තිමත් සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයක ආණ්ඩුවක් නොවේ. ඒ අතරේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සාධාරණත්වය උදෙසා කතෝලික ප්‍රජාවගේ විශ්වාසය ද සංකීර්ණ ලෙස සුන්විය. අවසානයේ දමිළ ඩයස්පෝරාව සමග සුහද සාකච්ඡා කිරීමටත් ඔවුන්ට රටේ ආයෝජනය කිරීම සඳහා ආරාධනයත් සිදු කලේ සිංහල බෞද්ධ ගැලවුම්කරු වූ ගෝඨාභය විසින්මය. නමුත් මේවා ආණ්ඩුව බිඳවැටීමේ තීරණාත්මක සාධකද? කවදත් සිංහල බෞද්ධ ලෙස පෙනීසිටි ආණ්ඩු එම තේමාව බැරෑරුම්ව සැලකුවේ නැත. දෘෂ්ටිවාද බැරෑරුම් වන්නේ ඊනියා මහජනයාට මිස ඒවා සංවිධානය කරනා පාලකයන්ට නොවේ.

“දෙරණට සඳ පලුව එබෙයිද? “

ගැටලුව වන්නේ ජාතික කොඩිය සිය සංකේතය කරගත්, ‘දියවන්නා කුමාරියේ’ ගීතය නොනිළ ලෙස සංකේතීය ගීතය කරගත්, ඕමල්පේ සෝභිත හිමි පිරිත් සංවිධානය කරනා, කවිබණ ඇසෙනා, පෙරහැරවල් සංවිධානය වූ ගෝටා ගෝ ගම තුළ මේ ජාතිකවාදී දෘෂ්ටිවාදයට බැරෑරුම් ඉඩක් අදටත් තිබීමයි. නැවතත් අප මෙනෙහි කරගත යුත්තේ සමකාලීන බුබුළු යථාර්ථයයි. මැයි 18 පිරිසක් නිරුපද්‍රිතව උතුරේ අතුරුදහන් වූවන් හා මියගිය අය සිහිකිරීමක් ද ගෝටා ගෝ ගම දී සිදුවිය. ඒ අතරේ රණවිරු සැමරුම් ද අනෙක් පසෙන් සිදු විය. මේ දේශපාලන භාවිතා එකිනෙක අභිමුඛ වීමක් ගෝටා ගෝ ගමදී සිදු නොවේ. ධර්මරත්න සිවරාම්ගේ පිංතූරයක් ද ජනාධිපති ලේකම් කාර්‍යාලය අසළ මේ එල්ලා තැබිය හැක. ‘දියවන්නා කුමාරියේ’ ගීතයේ තේරුම එතැන කිසිවෙක් නොදන්නා සේම සිවරාම්ව ද බහුතරයක් නොදන්නේය. සිවරාම් ජාතික කොඩිය ගැන ලියූ දේ ද නොදන්නේය. එමනිසා එකිනෙකා ප්‍රතිවිරුද්ධව අභිමුඛ නොවී කිරිබ්ත් කා, නෝම්බි සමරා ඊනියා සංහිඳියාව ප්‍රදර්ශනය කල හැක. නමුත් ලංකාවේ ජාතික දේශපාලනයට ඊනියා මහජනයාව ජාතිකවාදීව හෝ ජාතිවාදීව නැවත සංවිධානය කිරීමට අනාගත ප්‍රභූ පාලනයකට ඉඩක් නැතැයි කීමට සරළ සාක්ෂියක් හෝ අප්‍රේල් නැගිටීම් තුළ නිරීක්ෂණය කළ හැකිද?

දශක තුනක් දමිළ ජාතිකයන් මූලිකව ද අනතුරුව මුස්ලිම් ජාතිකයන් මූලිකව ද එල්ල වූ හිංසනීය ජාතිකවාදී දේශපාලනය අප්‍රේල් නැගිටීම් සමග යටපත් වී ඇත. ආර්ථික අර්බුදය විසින් ලංකාවේ අභ්‍යන්තරිකව දුර්වල ජාතිකත්ව ව්‍යාපෘතිය මොහොතකට කල්තබා ඇත. “රටවෙනුවෙන් අත්සනක් දාන්න” කියා තවමත් ගෝටා ගෝ ගම භූමියේ විවිධ විරෝධතා උදෙසා ජාතිකවාදී දෘෂ්ටිවාදය භාවිත වේ. “රට වෙනුවෙන්” නම් දෘෂ්ටිවාදී යෙදුම ගෝටා ගෝ ගම දී කොතෙකුත් භාවිත වේ. “අරගල භූමියේ’ සටන් පාඨ ද  එහි කෝනාර, ඩිලාන්, මෝටිවේෂන් අප්පච්චි, හඳුන්ගොඩ වැනි යූටියුබර්ස්ලාගේ මූලිකම ප්‍රචාරණ යෙදුම ද වන්නේ ‘රට වෙනුවෙන්’ යන්නයි. අප්‍රේල් නැගිටීම් තුළ ජාතිකවාදය පිළිබඳ දේශපාලන සවිඥානික බවක් නොමැත. ඒ මාතෘකාව එතැනට රැගෙන ඒමට ද නොහැක. රැගෙන ආවත් නායකයින් නොමැති නිර්පාක්ෂික “අරගලයක”, අරාජික සන්ධර්භයක් තුළ කිසිවෙක් කිසිවෙකුට ඇහුම්කම් දෙයිද? ඇහුම්කම් දියයුතුද?

විශේෂයෙන් යුද ජයග්‍රහණයෙන් පසුව සමස්ත රටේ නියෝජනයක් වෙනුවට රාජපක්ෂවාදී සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයේ සංකේතයක් වූ “සිංහ කොඩිය” ලෙස හැඳින්වෙන ජාතික කොඩියම රාජපක්ෂවාදයට එරෙහි නැගිටීමේ ද සංකේතයක් වීම නියත ලෙසම උත්ප්‍රාසජනකය. එහෙත් එමගින් ජාතිවාදී හෝ ජාතිකවාදී අර්ථ අවසන් වූවා යැයි සිතිය හැකිද? ගෝටා ගෝ ගම බුබුළු අතර ජාතික ගැටළුව පිළිබඳ දේශපාලනික චලනයක් සිදුවීද? 2025 හෝ 2030 රටේ හා සිංහල ජාතියේ ප්‍රශ්න වල සතුරා ‘ජාතික අනෙකෙක්’ වී ඔවුගෙන් රට බේරා ගැනීමේ අවසන් අවස්ථාවක් යළිත් උදාවේද?

බූපති නලින් වික්‍රමගේ

2022 මැයි 27

Social Sharing
නවතම විශේෂාංග