සජිත් අගමැති..!

සජිත් ප්‍රේමදාස නව අගමැති ලෙස හෙට (11) හෝ අනිද්දා (12) වෙනවිට දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වෙයි.

අද දිනයේ දී සජිත් ප්‍රේමදාස සහ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රමුඛ බෞද්ධ ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් අතර සාකඡ්ඡාවක් පැවතී ඇති අතර එහිදී උන්වහන්සේලා අග්‍රාමාත්‍ය ධුරය වහාම භාරගෙන රට මෙම අරාජිකත්වයෙන් ගලවාගන්න යැයි සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිට ඇත.

එම සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇත්තේ, සංඝරත්නය එකාබද්ධව සෑදෙන නව ආණ්ඩුව සමග එකට සිටගන්නා පොරොන්දුව මත පමණක් තමන් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට කැමති බවය.

මෙම එකඟතාවයෙන් පසුව සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡාව විපක්ෂ නායක කාර්‍යාලයේදී පැවතී ඇත.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීම සඳහා නැවතත් සිය නොකමැත්ත පළ කර ඇත.

එහිදී රාජිත සේනාරත්න වැනි විපක්ෂයේ ප්‍රබලයින් දැඩිව අදහස් දක්වා ඇති අතර ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ සජිත් ප්‍රේමදාස අදාළ තනතුර භාර නොගන්නේ නම් නිර්පාක්ෂික  පුද්ගකයෙක් හෝ පොදුජන පෙරමුණේ පුද්ගලයෙක් හෝ ශ්‍රීලනීපයේ පුද්ගලයෙක් අගමැති කිරීමට තම මන්ත්‍රී කණ්ඩායමේ සහාය හිමිවෙනු ඇති බවය.

එම සාකඡාවේදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇත්තේ, ටීඑන්ඒ කෙළින්ම ආණ්ඩුව ඇතුලට පැමිණ සහාය දෙන්නේ නම් තමන් අගමැති ධුරය භාර ගන්නට සූදානම් බවය.

මෙම හමුවට පසු විපක්ෂයේ පක්ෂ නායකයින් මුණගැසී සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී ටීඑන්ඒ මන්ත්‍රී එම් සුමන්තිරන් කියා සිට ඇත්තේ ටීඑන්ඒ එළියේ සිට සහාය දෙන බවය.

කෙසේ හෝ අවසානයේ සජිත් ප්‍රේමදාස මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන්නට සූදානම් බව ප්‍රකාශ කර ඇත.

මේ අනුව සජිත් ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 118ක පමණ සහායක් හිමිවනු ඇතැයි ප්‍රකාශ වෙයි. රටේ උද්ගත වර්තමාන තත්ත්වය මත මෙම ගණන තවත් ඉහළ යා හැකි බවද දැනගන්නට ලැබේ.

කේ. සංජීව

Social Sharing
නවතම