දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගත යුතුයි..!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හට යන්නට එපා කියන්නට අරලියගහ මන්දිරයට එකතුවුණ පොදුජන පෙරමුණේ ආධාරකරුවන් එම රැස්වීම අවසන් වූ පසුව ගෝල්ෆේස් අරගල භූමිය වෙත රැගෙන ආ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න ඕනී. මේ රැස්වීම අහවර වෙලා එළියට ආපු පිරිස මයිනා ගෝ ගම විරෝධතාකරුවන්ට මුලින්ම ප්‍රහාරයක් එල්ල කළා. පොලීසිය බලාගෙන සිටියා. මේ අවස්ථාවේ ඉඳලා එතන ක්‍රියාත්මක වුණේ අයුතු ජන රාශියක් ය. ඒ අයුතු ජනරාශියට පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත නායකත්වය දුන් බව දැනගන්නට ඇත. ඒ සඳහා ඡායාරූප සාක්ෂිද ඇත.

මයිනා ගෝ ගමට ප්‍රහාරයක් එල්ලකර එයින් ඔඳවැඩී ඔවුන් යක්ෂයා ආවේශයෙන් ගෝල්ෆේස් අරගල භූමියට එන්නට පිටත් වුණ අතර එහිදී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ස්ථානයේ සිට ඇත. ඔවුන් පෙළපාලිකරුවන් සමග සාකච්ඡාවක නිරතවෙමින් යම් දුරක් පැමිණ ඇත. ගෝල්ෆේස් අරගලකරුවන්ට මෙම අවස්ථාවට ප්‍රථම දේශබන්දු තෙන්නකෝන් පොරොන්දුවක් දෙමින් ප්‍රකාශ කරලා තියෙන්නේ, කිසිම හේතුවකට අරලියගහා මන්දිරයට පැමිණි පොහොට්ටු පිරිසට අරගල භූමියට එන්නට ඉඩ දෙන්නේ නෑ කියලා. ඒ එක්කම ඔහු අනෙක් පැත්තෙන් ඔහුගේ පහළ නිළධාරීන්ට උපදෙස් දීලා තියෙන්නේ ටිකක් දුර යන්න ඉඩ දෙන්න කියලා ය. මේ ටිකක් දුර කොච්චර දුරට ගියාද කිව්වොත් අයුතු ජන රාශිය ගෝල්ෆේස් අරගල බිමටම ආවා.

අරලියගහා මන්දිරයේ ඉඳලා අරගල භූමියට කිලෝමීටර් 3ක් ඇති. මේ කිලෝමීටර් තුන අතරේ මේ පෙළපාලිය නතර කරන්නට හොඳම, පටු ස්ථාන කොතෙක් තිබුණ ද? ඒ පටු ස්ථානයකින් නතරකරලා ජල ප්‍රහාරයක් සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා නම් මේ පිරිස විසුරුවන්නට ඉඩ තිබුණේ නැද්ද? දේශබන්දු තෙන්නකෝන් මේ වෙලාවේ ගත්තේ දේශපාලන තීන්දුවක් මිසක් පොලිස් රාජකාරියක් ඔහු කළේ නැහැ. ඔහුට මේ ගැටුම වළක්වාගන්න උවමනාව තිබුණ නම් ඒක කරන්න ඕනෑ තරම් වෙලාව සහ ඒ සඳහා ඕනෑ තරම් ස්ථාන තිබුණා.

පොලිස් ජල විදිනයන් පස්සෙන් පස්සට ආවා. කඳුළු ගෑස් විඳින බලගනයත් එහෙමයි. එස්ටීඑෆ් මුලින් කැඳවලා තිබුණෙත් නෑ. ඔවුන් අරගල බිමට ආවේ ගැටුම අවසන් වෙලා පොහොට්ටු ප්‍රේමීන් පසුබැස්සට පස්සේ. අන්තිමට කොහොම හරි ශැංග්‍රීලා එක ඉස්සරහටම පෙළපාලිය ආවා. ඒක විශාල විවුර්ත අවකාශයක්. ඒ අවකාශය ආරක්ෂා කරන්න තරම් පොලිස් නිළධාරීන් සේනාවක් එතන හිටියෙත් නෑ. සහාසික පොහොට්ටු පෙළපාලි කරුවන් මුහුදු වෙරළ අයිනෙන් අරගල භූමියට මුලින්ම කඩාගෙන පැන්නා. ඊළඟට ශැංග්‍රීලා එක පැත්තෙන් තවත් කණ්ඩායමක් අරගල භූමියට පැන්නා. මේ සමග පොලීසිය අරගල භූමියට තමයි කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළේ. එතනින් පස්සේ හට් ගිනි තැබීම් කඩාබිඳ දැමීම් සහ අරගලකරුවන්ට පහරදීම් තමයි එතන සිද්ධවුණේ. ඊටපස්සේ තමයි පොලීසිය තත්ත්වය පාලනය කරන්න යම් උත්සාහයක් ගත්තා. දේශබන්දු තෙන්නකෝන් කියපු යම් දුර ගිහිං ඉවර වෙන්න ඇති සමහර විට.

මෙම සහාසික ප්‍රහාරය ගැන අරගල භූමිය අවට සිටින ගම්වල ජනතාවට ආරංචි වීමත් සමග තමයි ඔවුන් කොම්පැනි විදිය කොල්ලුපිටිය ආදී පැතිවලින් අරගලයේ ආරක්ෂාවට එකතුවෙන්නේ. එතනින් පස්සේ තමයි අරලියගහා මන්දිරයට ආපු මිනිස්සු සොයසොයා ගහන වැඩේ ඇරබෙන්නේ.

මේවෙනකොට අපි දන්නවා කොතරම් විනාශයක් මේ රටට මේ අයුතු ජනරාශිය නිසා සිදුවෙලා තියෙනවාද කියලා. මාසයක් අවිංසාවාදීව අරගලය කරපු අරගලකරුවන්ගෙන් ලේ ඉල්ලගෙන ආපු පෙළපාලිය දේශබන්දු තෙන්නකෝන් පොලිස් නිළධාරියෙක් විදිහට ලත් තැනම ලොෆ් කළානම් මේ සා විශාල විනාශයක් රටට වෙන්නේ නෑ. අද බලනකොට ගිනි නොතැබූ අමාත්‍ය නිවස්නයක් සොයන එකට වඩා මළ ගෙදරකින් අබ මිටක් සොයාගන්න එක ලේසියි.

අද ගමේ උග්‍ර පොහොට්ටු හිතවාදීන් බයෙන් ත්‍රස්ත වෙලා සැඟවෙලා තමයි ජීවත් වෙන්නේ. ඔවුන් අරලිය ගහා මන්දිරයට ගෙනාපු දේශපාලන ලොක්කෝ ටිකක් කල්පනා කරලා මේ රැස්වීම ඉවරවෙලා මේ පිරිස සාමකාමීව විසුරෝලා ගෙදර යවන්න කටයුතු කළානම් අද මේ කිසිඳු ව්‍යසනයක් වෙන්නේ නෑ.

මහින්ද රාජපක්ෂගේ ටිකිරි මොළේ උත්සාහ කළේ තමන්ගේ පාක්ෂිකයන් අතින් ගෝල්ෆේස් අරගල බිම අකුලලා දාලා තමන්ගේ අගමැති ධුරය ආරක්ෂා කරගන්න. ඒ උත්සාහය අවසානයේ කෙළවර වුණේ තමන්ට නාවික හමුදාකඳවුරක ආරක්ෂිතව ඉන්න ඉඩ හදලා දෙමින්. ඒ වගේම මේ අමන තීරණය නිසා තමන්ට පණ වගේ ආදරේ පාක්ෂිකයන්ට යට ඇඳුම පිටින් තමයි ගෙදර යන්න වුණා. තමන්ට හිතවත් ඇමතිවරුන්ට තමන්ගේ ගෙදර නැතිවුණා. එක මන්ත්‍රීවරයෙක්ට සිය ජීවිතය පවා අහිමි වුණා. ඇත්තටම කියනවානම් හනුමාන් වගේ ගිනි තියාගෙන තමයි මහින්ද සිය ධුරයෙන් අයින් වුණේ. මේක මොනතරම් කරුමයක් ද?

ඒ නිසා මේ විනාශයට වඟකියන්න ඕනෑ මහින්ද රාජපක්ෂ දේශබන්දු තෙන්නකෝන් ආදී සියල්ලන්ම අත්අඩංගුවට ගතයුතුයි.

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග