ආසයි බයයි, ඒ රාජපක්ෂ බෝට්‍ටුවෙ නමයි..!

රාජපක්ෂ පවුල සිය පවුල් පාලනය අතහරින්නට සාකච්ඡා කරන ගමන්ම තව ටික කාලයක් බලයේ රැඳී සිටීමට ද සාකච්ඡා පවත්වමින් ඇතැයි වාර්තා වෙයි.

රාජපක්ෂ පවුලෙන් තොර පුද්ගලයෙක්ට අග්‍රාමාත්‍ය තනතුර ලබාදෙමින් නැවත පොහොට්ටු ආණ්ඩුවක් අන්තර්කාලීන වේශයෙන් ආරම්භ කරමින් තව ටිකක් බලය අල්ලාගෙන සිටීම සඳහා රාජපක්ෂවරුන් උත්සාහ කරමින් ඇත. මෙහිදී ඔවුන් ජනාධිපති සහ අගමැති ලෙස දෙපිළකට බෙදී ඇති බවත් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මේ වෙනකොට තරහා වී ඇති බවත් සමාජගත කරමින් සිටී. එම මතය යම් ප්‍රමානයකට සමාජය තුළ තහවුරු වූ බවක්ද පෙනෙන්නට ඇත. ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයා කරන්නට මහින්ද රාජපක්ෂ කැමති නැතැයි එදා සමාජගත කළ බොරුව වාගේ බොරුවක් දැන්ද මෙලෙස සමාජගත කරමින් සිටියි. එහෙත් ඔවුන් තිරය පිටුපස එක මේසයේ වාඩිවී රාජපක්ෂ පවුල් පාලනය තවදුරටත් ගෙනියන්නේ කෙසේදැයි සාකච්ඡා පවත්වමින් සිටියි.

පසුගිය දා ජනාධිපති මන්දිරයේ පැවති පොහොට්ටු කණ්ඩායම් රැස්වීමකදී අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කර ඇත්තේ මෙම වර්තමාන අර්බුදය පවුල් ප්‍රශ්නයක් පමණක් බවය. එනිසා එය විසඳාගැනීම පවුලේ වැඩක් බවත් ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

ජනාධිපති සහ අගමැති අතර ව්‍යාජ බලපොරයක් නිර්මානය කරමින් නාමල් රාජපක්ෂ විපක්ෂ නායකයා බවට පත් කරනවා යැයි කියමින් රාජපක්ෂ පවුල තව ටික කාලයක් බලය තමන්ගේ පවුල අස්සේම රඳවාගෙන සිටීමට උත්සාහයක් දරමින් සිටියි. ඒ සඳහා සරු පසක් නිර්මානය මෙම මාධ්‍ය යුද්ධයේ අරමුණයි.

මේ අතර බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ ළඟම හිතවතුන් බල සංක්‍රාන්තියක් සහ බලහොවමාරුවෙන් පසුව ගොඩනැඟෙන ආණ්ඩුව තුළින් රාජපක්ෂ පවුලට කරදර හිරිහැර නොවෙන්නට වැඩ සිද්ධ කළ යුත්තේ කොහොමද යන්නත් සාකච්ඡා කරමින් ඇත. ඒ සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ වැනි විපක්ෂ නායකයන් සමගය.  රාජපක්ෂ පවුලට සමීප ආරංචි මාර්ග එම සාකච්ඡාවන් සිදුවෙන බව තහවුරු කරයි. එම සාකච්ඡාවන් දෙස බලා සිටින වාසුදේව නානායක්කාර තමන්ට ප්‍රබල අමාත්‍ය ධුරයක් ලැබෙන්න යන තත්ත්වය වැළකේ යැයි බයෙන් ඩීල් එකක් ඩීල් එකක් කියා කෑගසමින් සිටියි.

මෙලෙස සාමකාමී, පවුලට අගතියක් නොවෙන, 2015 මෙන් බල හොවමාරුවක් පිළිබඳව සාකච්ඡා ආරම්භවී තිබෙන පසුබිමක අන්තර්වාර පාලනයක් පිළිබඳව ද සාකච්ඡාවක් පැවැත්වීම සහ එය උච්චතම අවස්ථාවට පැමිණීම රාජපක්ෂ බල දේශපාලනයේම දේශපාලන ගේම් එකක් බව රාජපක්ෂ පවුලට සමීප ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබේ.

දැන් රාජපක්ෂවරුන් පාලනයට ආසයි ඒත් බයයි ය. එම තත්ත්වයට ඔවුන් පත් කිරීමේ ගෞරවය ගෝල්ෆේස් අරගල ප්‍රජාවට දිය යුතුය. ගෝල්ෆේස් අරගලය, එහි සටන් පාඨ ජයග්‍රහනය කළහොත් එයින් විශාල වන්දියක් තම පවුලට සහ පවුලේ ගජයන්ට විඳින්නට වෙන බව රාජපක්ෂවරුන් හොඳින්ම දනී.

මෙම තත්ත්වය 2015 තත්ත්වයට සම්පූර්ණයෙන්ම වෙනස් බව ඔවුන් දන්නා බව මේ දේශපාලන සෙල්ලම නිසා අපි තේරුම් ගත යුතුය. මෙදාපාර ජනේල කතා වැනි විහිළු කරන්නට ඉඩ නොලැබෙන බව ඔවුන් තේරුන් ගෙන ඇත..!.

මහානාහිමිවරුන් ආණ්ඩුවට ගෙදර යන්න යැයි කීම, එක් දින වැඩ වර්ජනය අති සාර්ථක වීම සහ ගෝල්ෆේස් ජන අරගලය නොසිතූ පරිමාවකින් ගමට යෑම, අයිඑම්එෆ් සාකච්ඡා, රටේ ආර්ථිකය එන්න එන්නම පිරිහීම වැනි කාරණා නිසා රාජපක්ෂවරුන් බලය අතහැර නිහඬ වෙන්නට කල්පනා කරන බවත් ඒ සමගම අන්තර්කාලීන ආණ්ඩුවක් පොහොට්ටු ප්‍රබලයෙක්ගේ ප්‍රධානත්වයෙන් ගොඩනගා එමගින් තව අවුරුදු දෙකක් යහතින් ජනාධිපති ධුරයේ රැඳී සිටීමට උත්සාහ දැරීමත් යන දෙක මේ අවස්ථාවේ රාජපක්ෂවරුන් ක්‍රියාවේ යොදවමින් සිටී.

ගෝඨාභය රාජපක්ෂ කුමන හෝ උප්පරවැට්ටියකින් තටු කපාගෙන හෝ ධුරයේ රැඳී සිටීම පවුලේ ආරක්ෂාවට හොඳ පළිහක් බව, රාජපක්ෂ පවුල හොඳහැටි තේරුන් ගෙන සිටී.

මෙම රාජපක්ෂ කූඨනාටකය සාර්ථක වෙයිද? එය තීරණය වෙනු ඇත්තේ සජබ, ජාජබ, ටීඑන්ඒ විපක්ෂ ක්‍රියාකාරීත්වය මතය.

Gotagoogama galle face protest Anura Kumara Dissanayake sajith premadasa

-කේ. සංජීව-

Social Sharing
නවතම විශේෂාංග