අරගලය දියාරු වෙයිද?

පළවෙනි දවසෙ ඉඳලා අද වෙනකම් දිගටම මිනිස්සු මෙතන අරගල කරන හැටි ඇස් දෙකෙන් දැක්ක කෙනෙක් විදියට, මෙතනට නාව මිනිස්සු ගෙදරට වෙලා ‘අරගලයේ දියාරුව’ මැයෙන් කවි, හෑලි, සීපද ලියනවා බලාගෙන ඉන්න බැරිකමට මම මේ හෑල්ල ලියන්නෙ.

කාටහරි හිතෙනවා නම් අරගලය දියාරු වෙනවා, පල් වෙනවා, චොර වෙනවා කියලා. මෙතන ඉන්න මට එහෙම එකක් පේන්නෑ. මොකද පළවෙනි දවසට වඩා අද මිනිස්සු බෝඩ් උස්සගෙන සටන් පාඨ කියමින් කෑ ගහනවා. පරණ පාර්ලිමේන්තුව ඉස්සරහ (එතන තමයි මිනිස්සු සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ ‍යෙදෙන මේන් පොයින්ට් එක) තවමත් බැරැක්ක වටේට, බැරැක්ක ඉස්සරහ, බැරැක්ක උඩ නැගගෙන මිනිස්සු ගේම ගහන් ‍යනවා.

‘ගෝටාගෝගම’ නමින් ගම්මානයක් බිහි වීම නිසා තත්වය වඩා යහපත් තත්වයට පත්වුණා කියලයි මට හිතෙන්නෙ. මෙතනට ඕන මිනිස්සුන්වනෙ. හැබැයි ඒ හැමෝටම කෑ ගහන්න බෑ. (උදාහරණයක් විදියට මට ගොඩක් කෑ ගහන්න බෑ. මම ටිකක් හයියෙන් කතා කරපු ගමන් මගේ වොයිස් එක යනවා.) එතකොට මම මෙතන නිකං උඩ බලන් ඉන්නද ? මිනිස්සුන්ව රඳවගන්න ක්‍රම සහ විදි ඕන. අරමුණ එකක් වුණාට එකම ශක්තිය, එකම ධෛර්‍යය, එකම power එක හැමෝටම නෑ. මිනිස්සු එක එක විදියයි. අපි සමහරු weak. ඒත් මෙතනට එක ඔලුවක් වුණත් වටින නිසා මෙතන රැඳිලා ඉන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා.

අපි පුළුවන් අය ඇති තරම් බෝඩ් ගෙනල්ලා, ගෝල්ෆේස් බීච් එක පැත්තෙ නිවි සැනහිල්ලේ බිම වැටීගෙන ලියන්න පුළුවන් පැත්තකට වෙලා ඒවා ලියමින් මිනිස්සුන්ට දුන්නා. පෞද්ගලිකව ඒ තමයි මට කරන්න පුළුවන් දේ. තමන්ට පුළුවන් පොඩිම දෙයින් මිනිස්සුන්ට උදව් කරන අය මෙතන ඉන්නවා. ඒ අය සිංදු කියලා, ගිටාර් ගහලා, තමන්ගෙ වාහනේ බැට්‍රියෙන් ෆෝන් චාජ් කරලා දීලා, කෑම ගෙනත් දීලා, මිනිස්සුන්ට තමන්ගෙ වේදනාවල් කෑ ගහලා කියන්න පුළුවන් වේදිකා නිර්මාණය කරලා දීලා, ස්ට්‍රීට් ඩ්‍රාමා පෙන්නලා, ෆෝන් එකෙන් සිංදුවක් දාගෙන ඒක මෙගාෆෝන්වලට තියන් අරගල භූමිය වටේ ඇවිදිමින් ඒවා මිනිස්සුන්ට අහන්න සලස්වලා මිනිස්සුන්ව රිලැක්ස් කරනවා.

ඒවා ඔයාලට විකල් වගේ වුණාට, ගෙදර නොයා මෙතන පැල් බැඳගෙන ඉන්න මිනිස්සුන්ට ඒක මාරම උදව්වක්.

පුස්තකාල වගේ දේවල් හැදුණනෙ. මොකද්ද ඒකෙන් කාටවත් තියන අවුල..? මිනිස්සුන්ට ඇවිල්ලා එතන රැඳෙන්න පහසුකම් තියෙන්න ඕන. මිනිස්සුන්ට කියලා මම අදහස් කරන්නෙ – එතන දිගටම රැඳිලා ඉන්න මිනිස්සුන්ට. ඔයාලා හිතුවද මෙහෙ ඉන්නෙ රොබෝලා කියලා. මම ලොකු සද්ද බද්ද දරාගන්න අපහසු කෙනෙක් විදියට මෙතන මට අමාරුයි. ඊයෙ රෑ – වෙන දවස්වලට වඩා ගොඩක් සද්දෙයි. මට panic attack එකක් ආව තරමට ඒක අමාරු වුණා. ගොඩක් වෙලා ගියා ඒක හරියන්න.

මේක මිනිස්සුන්ට රැඳිලා ඉන්න පුළුවන් තැනක් වෙන්න නම්, මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයන් සඳහා පහසුකම් මෙතන සැකසෙන්න අවශ්‍යයි. ‘ගෝටාගෝගම’ කියලා ගම්මානයක් නිර්මාණය වීමේ යහපත තමයි – ඒ වටා පහසුකම් රැසක් බිහිවීම. අපි විහිලුවට මේක පප්පා ගම වගේ කිව්වට, ඔව් මේක පොඩි ගමක් වගේ තමයි. යම් යම් පහසුකම් ප්‍රමාණයකින් යුතු ගමක්.

ඔව්, ඊයෙ පෙරේදා දවස් දෙක මෙතන ඔයාලා කියනවා වගේ කානිවල් එකක හැඩයක් තිබුණා. ඒ අවුරුදු දවස් දෙකනෙ. ඊයෙ ඔයාලගෙ ගෙවල්වල කිරිබතක්වත් හැදුණෙ නැද්ද..? ඔයා අවුරුද්දට ඔයාගෙම ගෙදර හිටිය කෙනෙක් නම් – නොදන්න දේවල් ගැන පෝස්ට් දාන්න කලින් මිනිස්සුන්ට සංවේදී වෙන්න. ඇයි මෙතනට එන මිනිස්සුන්ට අවුරුදු සමරන්න හොඳ නැද්ද ? මෙහෙ මල්වෙඩි ගැහුවා, රබන් ගැහුවා, කැවිලි හැදුණා, කිරිබත් කැවුණා, කිරි ඉතිරුණා, අවුරුදු ක්‍රීඩා තිබුණා. පහුගිය දවස් දෙකම ඒ වගේ තමයි.

මොකද ඔයාලට ගෙදර ඉදෙන කිරිබත – මෙතන මිනිස්සුන්ටත් ඉදෙන්න ඕන. ඔයාලා ඔය ගෙදරට වෙලා ඔයාලගෙ ඇඳේ සුව සේ ගන්න නින්ද – මෙහෙ මිනිස්සුන්ටත් ලැබෙන්න ඕන. ඔයාලා ඔයාලගෙ දරුවො එක්ක ඉන්නකොට දැනෙන සැනසීම – මෙතන ඉන්න මිනිස්සුන්ටත් ලැබෙන්න ඕන.

අරගලය මේ ලියමින් ඉන්න මොහොතේදීත් සද්දෙයි. අරගලයේ ප්‍රධාන අරමුණ තවම මිනිස්සුන්ගේ ඔලුවේ තියනවා. ඒක නැවත යථා අයුරින් ඉදිරියට යනවා. මිනිස්සු උද්ඝෝෂණය කරනවා, සමහරු විවේක ගන්නවා, තවත් සමහරු උද්ඝෝෂණය කරන මිනිස්සුන්ට දත් බෙහෙත්, සබන් ආදී දේවල් බෙදනවා. අරගලයේ තවත් උදය වරුවක් සුපුරුදු පරිදි ගෙවෙමින් යනවා.

මම ඔයාලට පොඩි කතාවක් කියන්නම්,

ඊයෙ අපිට හම්බුණා බත් ගොඩක්. ගොඩක් රෑ වෙලා අපි ඒ ටික අපේ ටෙන්ට් එක වටේ බිම තැන තැන නිදාගෙන හිටිය මිනිස්සුන්ට බෙදලා දෙන්න පටන්ගත්තා. ගොඩක් අය පොඩි දරුවොත් තුරුල් කරන්, හිසට වහලක් නැතුව බිම නිදාගෙන හිටියා. අපි ඇහුවා “ඔයාලා කාලද..?” කියලා. ඒ මිනිස්සු කාලා නෑ. මෙතන කෑම තියනවා කියලා හිතාගෙන ඒ අය එන්න ඇති. ඒත් ඊයෙ කෑම මදි වුණා. සල්ලිවලට කෑම ගන්න තැනක් අහල පහළ තිබුණෙ නෑ. ඉතිං මිනිස්සු විශාල ප්‍රමාණයක් බඩගින්නෙ නිදාගෙන. ඉතිං උන්ට ගෙවල්වලට යන්න තිබ්බනෙ. මොන මගුලටද මෙතන රැඳුණෙ..?

රැඳුණෙ උන්ට මේ රට ගැන මොකක්හරි වේදනාවක්, අමාරුවක් තියන නිසා.

ඒ අතර ඔයාලා ගෙවල්වලට වෙලා ‘අරගලයේ දියාරුව’ සොයමින් ඉන්නවට ස්තූතියි. මෙච්චර මෙතන ලැගගෙන ඉඳලත් ඒක තේරිලා නෑනෙ මෙතන ඉන්න එවුන්ට..

හිරුණි ඩයස්ගේ ෆේස්බුක් පිටුවෙන්

Social Sharing
නවතම