ඊයේ මහාචාර්ය රොහාන් සමරජීව සහ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සමග පැය කීපයක අධ්‍යාපනික සාකච්ඡාවක් පැවැත්වූවා. කෙටියෙන් කියනවා නම් තත්වය මේකයි (මේ මා එම සාකච්ඡාවෙන් ලබාගත් අවබෝධය නිසා මෙම අදහස් සම්පූර්ණයෙන්ම එම ආර්ථික විශේෂඥයන්ගේ අදහස් නොවිය හැකි බව කරුණාවෙන් සලකන්න. විශේෂයෙන් වරහන් ඇතුළේ දක්වා ඇති අදහස් මගේය):
රජය දැනටත් ප්‍රමාදයි. මෙතෙක් අරගෙන තිබෙන ක්‍රියාමාර්ගත් ප්‍රමාණවත් නැහැ. Too little; too late කියල තමයි මහාචාර්ය රොහාන් සමරජීව කිව්වෙෙ.
විධිමත් අන්දමින් රුපියල පාකරන්නැයි කරන ලද ඉල්ලීම් නොතකා හැර හිටිවනම අවිධිමත් අන්දමින් කරන ලද රුපියල අවප්‍රමාණය කිරීම හා දැනට සිදුකරන මුදල් අච්චුගැසීම් ආදී ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ විනිමය ඒකකය වන ශ්‍රී ලංකා රුපියල දැඩි අර්බුදයකට ලක්වී තිබෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස විදේශ ශ්‍රමිකයන් විසින් රටට එවන මුදල් හෙවත් ප්‍රේෂණ ද අඩුවී තිබෙනවා. මේවා ඍජුවම ආර්ථික අපරාධ ලෙස සැලකිය හැකියි. ඒ සම්බන්ධ විමර්ශන කළ යුතුයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපකාර ලබාගැනීම කියන්නේ පූර්ණ විසඳුමක් නෙමෙයි. එක් ක්‍රියාමාර්ගයක් පමණයි. එය වැදගත්. ඒ වගේම අවශ්‍යයි. එමගින් සිදුවන්නේ රාජ්‍ය මූල්‍ය පාලනය විධිමත් කරගැනීමයි.
රාජ්‍ය ආදායම් වර්ධනය කරගැනීමත්, වියදම් අඩුකරගැනීමත් රාජ්‍ය අයවැය පරතරය අඩුකරගැනීමේදී ඉතා වැදගත්. එහිදී දිනකට රු. මිලියන 99ක් තරම් දැවැන්ත පාඩුවක් ලබන ශ්‍රීලන්කන් වැනි සුදු අලින්ගෙන් රජය බේරාගැනීම රජය මේ ප්රශ්නය සම්බන්ධයෙන් ගැඹුරින් සිතන බව හා ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ලෝකයට පෙන්වාදීම සඳහා ඉවහල් වෙනවා. ලෝකයෙන් ආධාර ලබාගැනීමේදී එය ප්‍රයෝජනවත් වෙනවා.
ආර්ථික හැඩගැස්වීම්වලදී දිළිඳු ජනතාව අතිවිශාල පීඩනයකට ලක්වෙනවා. ඔවුන්ට සහනාධාර ලබාදිය යුතුයි. සමෘද්ධිය වැනි දැනට පවතින සහනාධාර ක්‍රම අක්‍රමවත්. සමෘද්ධි ආධාර බෙදාදීම සඳහා සමෘද්ධි නිලධාරීන්ට වැටුප් ගෙවීම සඳහා පමණක් සමෘද්ධි සහනාධාර පිරිවැයෙන් 25%ක් වැයවෙනවා.
මේ සහනාධාරලාභීන් බහුතරයකට මේ වනවිටත් බැංකු ගිනුම් තිබෙනවා. මේ ගෙවීම් බැංකු හරහා ඍජුවම කළ හැකියි. දැනටත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඒ අන්දමින් පූර්ණ ලෙස ගෙවීම් ඩිජිටල්කරණය කර තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලය හා ලෙකෝ සතුව රටේ නිවාසවලින් 98%ක පමණ ලැයිස්තුවක් තිබෙනවා. සහනාධාර ලබාදීම ඒ හරහා කිරීමටත් පුළුවන්.
ඉන්ධන, විදුලිය, ජල සම්පාදනය වැනි දේ සම්බන්ධයෙන් මිල සූත්‍ර හඳුන්වාදිය යුතුයි. නිෂ්පාදන හා මෙහෙයුම් පිරිවැය හා රාජ්‍ය බදු ඇතුළත් කර විනිවිද පෙනෙන අයුරින් මිල නියම කළ යුතුයි.
ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වහා උපදේශක ආයතනයක් පත්කරගත යුතුයි.
ලංකාව ලබාගත් ණය වර්ග ගණනාවක් තිබෙනවා. මුලින්ම ණය නිවැරදිව හඳුනාගත යුතුයි.
Asian Clearance Union හරහා කරන්නට තිබෙන රු. මිලියන 500ක් වැනි ගෙවීම් මාස තුනෙන් තුන දෙවරක් පමණ කල් දමාගෙන තිබෙනවා. ඒවා තවදුරටත් කල්දමන්නට බැහැ. එම ණය නොගෙවීම එය බැංකු පද්ධතියට බලපානවා.
රට රටවල් සමග කළ ස්වොප්, ක්‍රෙඩිට් ලයින් වගේ ණය ඉතා කෙටිකාලීනයි. ඒ නිසා දැන් ඒවාත් ගෙවන්නට තිබෙනවා (උදාහරණයක් ලෙස, අප්‍රේල් මාසයෙන් පසු ඉන්දියාවෙන් ණයට තෙල් ආදිය ලබාගන්නට නම්, කලින් ලබාගත් ඩොලර් මිලියන 500ක පමණ ණය ගෙවිය යුතුයි). මේ ණයවල පොළියත් අධිකයි.
ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමේ සාකච්ඡා පහසු නැහැ. සියලු ණය හිමියන් පොදු විසඳුමකට එකඟ කරගන්නට සිදුවෙනවා. මෙවැනි තත්වයක් තිබියදී පසුගිය ජනවාරියේ ගෙවන්නට තිබූ ජාත්‍යන්තර ස්වෛරී ණය ගෙව්වේ ඇයිද කියන ප්‍රශ්නයත් මතුවෙනවා. (ඒ කියන්නෙ වර්තමාන ආණ්ඩුව ගැන අවිශ්වාසය එතනදීත් බලපානවා.)
2022 ජුලි 25දා ගෙවන්නට තිබෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වැනි ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම සඳහා සාකච්ඡා කිරීම සඳහා නීති ආයතනයක් පත්කරගත යුතුයි.
ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමේ පියවර හරහා දේශීය බැංකු පද්ධතියට සිදුවන හානිය වළක්වාගැනීමට පියවර ගත යුතුයි.
එතනදී ස්ථාවර ආණ්ඩුවක් හා රට පුරා වීදි විරෝධතා නොපවතින තත්වයක් වැදගත් වෙනවා. මන්ද, ආණ්ඩුව ගැන විශ්වාසය නොමැතිව සාකච්ඡා සාර්ථක කරගන්නට බැහැ.
දැනට තිබෙන තත්වය අනුව අවිධිමත් අන්දමින් ණය පැහැරහැරීමක් වළක්වාගන්නට නොහැකි බවයි පෙනෙන්නේ.
ඉක්වදෝරය වැනි රටවල් මෙවැනි තත්වයන්හිදී ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම් සිදුකරගත්තා. ඉක්මණින් ක්‍රියාත්මක විය යුතුයි.
ස්ථාවර පාලනයක් අවශ්‍යයි. එහෙත්, මැතිවරණ පැවැත්වීම දුෂ්කරයි. එසේම, 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ හිමිවුණ බලතල සහිත ජනාධිපතිවරයකු යටතේ අලුත් පාර්ලිමේන්තුවක් පත්කරගත්තත් එයින් ඵලක් නැහැ.
20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන හා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තවදුරටත් විධිමත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වහාම සිදුකළ යුතුයි. භාරකාර රජයක් සඳහා මෙය අත්‍යවශ්‍ය කොන්දේසියක්.
අප සිරවී සිටින තැන මෙතනයි. මෙතැනින් ඉදිරියට යන ආකාරයක් සොයාගත යුතුයි. එහිදී භූමියේ අරගලයේ යෙදී සිටින බලවේග අතිශය වැදගත්. ආණ්ඩුව ඔවුන් සමග සම්මුතියකට පැමිණිය යුතුයි.
අජිත් පැරකුම් ජයසිංහ
– Praja.lk