මෛත්‍රීට ගෙදරත් නැතිවෙයි..?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලබාදී තිබෙන පැජට් පාරේ නිවස ඔහුට ස්ථිර වශයෙන්ම ලබාදීමේ කැබිනට් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

මෙම නඩුව අද (29) දින විභාගයට ගත් අතර එහිදී එම අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය

හිටපු ජනාධිපතිවරයාට මෙම නිල නිවස ස්ථිර වශයෙන් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අභියෝගයට ලක්කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණ අතර එහිදී පෙත්සම්කරුවන් පෙන්වා දී තිබුණේ කොළඹ පැජට් පාරේ මෙම නිවස අයත් භූමිය සහ නිවස විශාල මූල්‍යමය වටිනාකමක් ඇති බවත් එය රටේ සම්පතක් බවත් ය.

විශ්‍රාම ගිය හිටපු ජනාධිපතිවරයකුගේ පෞද්ගලික පරිහරණය සඳහා මෙවැනි පොදු වත්කමක් වෙන් කිරීම අතාර්කික, අත්තනෝමතික සහ නීති විරෝධී ක්‍රියාවක් බව එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත.

විශ්‍රාම යන ජනාධිපතිවරයෙකු සිය තනතුර දැරීම නතර කිරීමට පෙර ඔහුගේ ප්‍රතිලාභ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය තීරණය කිරීම වැරදි සහගත බවත් මෙහිදී පෙත්සම්කරුවන් පෙන්වා ඇත.

මෙම පදනමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සමානාත්මතාවයේ අයිතිය යටතේ සහතික කර ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කැබිනට් මණ්ඩලය විසින් මෙහිදී උල්ලංඝනය කර ඇති බව පෙත්සම්කරුවන් තර්ක කර ඇත.

Social Sharing
නවතම