ශ්‍රී ලංකා මහ බැංකුව වසා දමා ඉන්දියානු රුපියලට හැරෙමු!

රටක ස්වයිරී භාවය ආරක්ෂා කරගත හැක්කේ එහි භුමිය මෙන්ම මුදල ද ආරක්ෂාකර ගැනීමෙනි. භුමිය ආරක්ෂා කර ගැනීමට හැකිව මුදලේ අගය ආරක්ෂා කරගැනීමත් විදේශ ණය ගෙවාගැනීමටත් නොහැකි වන විට එරටට මුල්‍ය ස්වෛරීත්වය අහිමිවේ. දේශීය මුදලේ අගය දරුණු ලෙස පිරිහීම කරණකොට ගෙන Hyper Inflation හෙවත් අධි උද්ධමනය හටගනී. මුදලේ අගය ආරක්ෂා කර ගැනීමේ වගකීම පැවරෙන්නේ රටක මහ බැංකුවටය. මහ බැංකුව සිය වගකීම පැහැර හරින විට උද්ධමනකාරී පීඩාවක් නිර්මාණය වේ. දේශීය මුදලේ අගය පිරිහීම සිදුවන්නේ මෙසේය. රාජ්‍ය ආදායමට වඩා රාජ්‍ය වියදම නැතහොත් අයවැය පරතරය සැලකිය යුතු මට්ටමකින් දිගින් දිගට පවත්වාගෙන යාම නිසා මුදල් අච්චු ගැසීමට සිදුවේ. එය මුදල් සංසරණය වර්ධනය වීමටත් අධික මුදල් සුලභතාවටත් හේතු වී උද්ධමනය හටගනී. එය මුදලේ අගය පිරිහීමේ එක් මුලාශ්‍රයකි. අපනයට වඩා ආනයනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වෙළඳ පරතරය හටගෙන ඒ කරණකොට ගෙන පැන නගින විදේශ විනිමය හිඟය නිසා විදේශ විනිමය පසුපස වැඩි දේශීය මුදල් ප්‍රමාණයක් ලුහු බැඳීම මගින් හටගන්නා දේශීය මුදලේ සාපේක්ෂ පිරිහීම තවත් මුලාශ්‍රයකි. වෙළඳ හිඟය පියවීමට මෙන්ම අයවැය හිඟය පියවීමට ද ලබාගන්නා විදේශ ණය ගෙවා දැමීමට ප්‍රමාණවත් විනිමය සංක්‍රාම හෝ ලාභ ඉපයුමක් නොමැති විට ගෙවුම් ශේෂ පරතරයට සරිලන විනිමය හෝ රන් සංචිත නොතිබෙන විට ද දේශීය මුදලේ පිරිහීම උග්‍ර අතට හැරේ.

ශ්‍රී ලංකාවේ විනිමය අර්බුදය හටගෙන ඇත්තේ මේ සියලු හේතු නිසා පමණක් නොව මහ බැංකුවේ මුදල් පාලන දුර්වල කම ද නිසාය. මහ බැංකුවේ කාර්යභාරය තුළ දේශීය මුදලේ අගය ආරක්ෂා කරගැනීම ප්‍රමුඛ වේ. ඊට දේශීය මුදලේ නිරපේක්ෂ අගය මෙන්ම විදේශ මුදල් විෂයෙහි සාපේක්ෂ අගය ලෙස ද ඇතුලත්වේ. ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියා නොකිරීම මෙන්ම දේශපාලන බලපෑමට අවනත වී ඒ ඒ ආණ්ඩු ආරක්ෂා කිරීමට මුල්‍ය ප්‍රතිපත්තිය යොදාගත් නිසා මුදලේ පාලනය මහ බැංකුවෙන් ගිලිහී ගියේය. වෙසෙසින්ම ඩොලරයේ රුපියල් මිල වෙළඳපල බලවේගවලට අනුව තීරණය වීමට ඉඩ නොදීම නිසා ඩොලරයට මහත් කළුකඩයක් නිර්මාණය විය. විදේශ සංක්‍රාම සඳහා නිසි රුපියල් වටිනාකමක් නොදී සංක්‍රාම සූරාකෑම සිදුවූ බැවින් සංක්‍රාම ද අඩපණ විය. විවෘත ආර්ථික ක්‍රමය හදා වඩා ගත් ශ්‍රී ලංකාවේ වෙළඳපල විරෝධී පිළිවෙත් ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවේ අනුග්‍රහය නොමදව ලැබිණ. පසුගිය කාලයේ දී පෞද්ගලික මුල්‍ය ආයතනවල හටගත් නොයෙකුත් බිඳ වැටීම් ද මහ බැංකුවේ මුල්‍ය ක්‍රමය පවත්වා ගැනීමේ වගකීම ඉටු නොකිරීම නිසා හටගත් ප්‍රතිඵල වේ. මේ අනුව ගත් විට මහ බැංකුව දශක ගණනාවක් සිය වගකීම ඉටු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද අප රටේ මුල්‍ය අර්බුදය හටගෙන තිබේ. එබැවින් වත්මන් මුල්‍ය අර්බුදයේ පළමු විත්තිකරුවා වන්නේ මහ බැංකුවයි.

අතීතයේ පටන් ඉන්දියානු (Bank of India) මහ බැංකුව එරට මුල්‍ය ස්ථායිතාව ඵලදායි ලෙස පවත්වා ගැනීමට සමත්ව සිටී. ඒ බව ඉන්දීය රුපියලේ විනිමය අගය ඉහළ යාම, විදේශ සංචිත වර්ධනය වීම, උද්ධමනය පාලනය වීම යන සාක්ෂි ඔස්සේ තහවුරු වේ. ඉංග්‍රීසීන් ලංකාවේ කෝපි වැවීම ආරම්භ කිරීමත් සමග ඉන්දීය මුල්‍ය (ප්‍රාග්ධනය) සැපයුම වැවිලි කර්මාන්තය තුළ ප්‍රචලිත විය. ඉඩම් සැකසීමේ පටන් අස්වනු නෙළීම දක්වා වූ කාලයේ විවිධ මුල්‍ය අවශ්‍යතා ඉන්දියානුවන විසින් සම්පාදනය කරනු ලැබීය. මෙය එංගලන්තයට ලැබෙන අතිරික්තය පිළිබඳ ගැටලුවක් දක්වා වර්ධනය වූ බැවින් වැවිල්ලක් ආරම්භ කිරීමට පැමිණෙන ඉංග්‍රීසි ජාතිකයන් පවුම් 3,000ක් වත් රැගෙන ආ යුතු බවට නීති පනවනු ලැබීය. එමෙන්ම හැටන් බැංකුව, කොමර්ෂල් බැංකුව හා ලංකා බැංකුව (Ceylon Bank) යනාදියෙන් සමන්විත බැංකු ක්‍රමයක් ද හඳුන්වා දීමට සිදු වූයේ ඉන්දියානු මුල්‍ය සැපයුම් කරුවන් අධෛර්ය කරවීමටය. එහෙත් බැංකු ක්‍රමය ආරම්භ වීමත් සමග ඉන්දියානු බැංකු ද ලංකාවේ ස්ථාපිත කෙරුණි. මේ කරුණුවලින් පෙනේනේ ඉන්දියාව මුල්‍ය පාලනය අතින් විශිෂ්ටතා පෙන්වා ඇති රටක් බවයි.

ඉන්දියාව, සිය මහ බැංකුවට පමණක් නොව ප්‍රාන්ත රාජ්‍යවලට ද විශිෂ්ට ආර්ථික විද්‍යාඥයන්ගේ සේවය ලබා ගන්නා රටකි. එමෙන්ම ඉන්දියානු ආර්ථික විද්‍යාඥයෝ ලෝකයේ විශිෂ්ට මුල්‍ය ආයතනවල විධායක හා උපදේශක තනතුරු හොබවති. මුල්‍ය ආර්ථික විද්‍යාව, සංවර්ධන ආර්ථික විද්‍යාව, මහ බැංකු කරණය, වාණිජ බැංකු කරණය වැනි විෂය ක්ෂේත්‍රයන්ගේ ප්‍රවීනයන් ඉන්දියාව සතුය. පොතේ ගුරුන් හැරුණු විට ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකු ලෙස සැලකිය හැකි කිසිවෙකු සොයාගත නොහැක. ගණකාධිකාරීන්, ඉංජිනේරුවන්, පරිඝනක ශිල්පීන්, ඇතුළු තවත් පිරිස් අප රටේ ආර්ථික විද්‍යාඥයන්ගේ කාර්යභාරය සියතට ගෙන තිබෙන බව පෙනෙන්නට තිබේ. මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ කාලයේ ජාතික ආර්ථික කොමිසම නමින් ආයතනයක් පිහිටුවනු ලැබීය. එහි සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයාම තමා විසින්ම පත්වීම් ලැබීය. එහි උපදේශකයා වූයේ ආර්ථික විද්‍යාඥයෙකු නොව ගණකාධිකාරිවරයෙකි. අර්බුධය උග්‍ර අතට හැරුණු පසු ගෝඨාභය රාජපක්ෂ ද ආර්ථික කොමිසමක් පත්කොට තමාම එහි සභාපතිවරයා ලෙස පත්වීම් ලබාගත්තේය. මේ ආර්ථික කොමිෂන් දෙකේම සභාපතිවරු මෙන්ම සාමාජිකයන් ද ආර්ථික විද්‍යාව තබා හරියට සාමාන්‍ය පෙළ වත් සමත් වූවෝ නොවෙති. ගිනි පොලී, කැසිනෝ, හා ජාවාරම් කරුවන්ගේ පටන් ලෝක ආර්ථිකය හා මුල්‍ය ක්‍රමය  ගැන දැනුමක් නැති බොහෝ පිරිස් ආර්ථික උපදේශකයන් ලෙස ද මෙම කොමිසම්වලට පත්කරගෙන ඇත. ශ්‍රී ලංකාව ආර්ථික විද්‍යාව යන විශයෙන් ප්‍රයෝජන ගන්නා රටක් නොවේ. දේශපාලකයන්, පරිපාලකයන්, හා ව්‍යාපාරිකයන් දන්නා දේ ආර්ථික විද්‍යාව ලෙස පිළිගැනීමට පාත්‍ර වී තිබේ. ශ්‍රී ලංකාවට කිසි දා නිසි මුල්‍ය හා සංවර්ධන ක්‍රමයක් අනුගමනය කළ නොහැකි බවට මේ හැරුණු විට වෙනත් සාක්ෂි උවමනා නැත.

දැන් ඇත්තේ එකම විකල්පයකි. එනම් ශ්‍රී ලංකාව යන භුමිය තුළ ඉන්දියානු මුල්‍ය ක්‍රමය ස්ථාපිත කිරීමයි. එහිදී ගතයුතු ප්‍රධානතම ක්‍රියාමාර්ගය වන්නේ ශ්‍රී ලංකා රුපියල අහෝසි කොට ඉන්දියානු රුපියල භාවිතයට ගැනීමයි. අධි උද්ධමනය හටගත් අවස්ථාවල එය සමනය කිරීම පිණිස Dollarization යනුවෙන් යොදා ගන්නේ ද මේ ක්‍රමයයි. දේශීය මුදල හා මුල්‍ය ක්‍රමය ආරක්ෂා කරගැනීමට ශ්‍රී ලංකාවේ මහ බැංකුව අසමත් වීමට රටේ ආර්ථික වර්ධනය, සංවර්ධනය හා ජන ජීවිතය යනාදියෙන් වන්දි ගෙවිය යුතු නැත. ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දියානු මහ බැංකුවේ ශ්‍රී ලංකා කාර්යාලය ලෙස පවත්වාගෙන යා හැකිය. ශ්‍රී ලංකාව ඉන්දියානු රුපියලට හැරීමෙන් දැවැන්ත රටක් හා සම්පත් ප්‍රමාණයක්, වෙළඳපලක්, විනිමය හා රන් සංචිත ප්‍රමාණයක්, තාක්ෂණය දැනුම හා කාර්මීකරණය යන සෑම අංශයකින්ම ප්‍රයෝජන ලැබිය හැකිය. ඉන්දියාවෙන් රුපියල රුපියල ණය ගන්නවාට වඩා මෙය තිරසාර විසඳුමකි. ඒ ඔස්සේ රුපියලේ නිසි වෙළඳපල මිල තීරණය වන බැවින් ද ඉන්දියානු ආර්ථිකයේ ස්ථායීතාව නිසා ද අද මෙන් වෙළඳපල හා මුල්‍ය කම්පන හටගැනීමට ඉඩක් නැත. ශ්‍රී ලංකා මහ බැංකුවේ අසමත්කම පිටුදැකිය හැකි ඒකායන උපාය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව වසා දමා එහි ඉන්දියානු මහ බැංකු කාර්යාලයක් විවෘත කොට ලංකා රුපියල ඉවත දමා ඉන්දියානු රුපියල භාවිතයට ගැනීම හා ඉන්දියානු මහ බැංකුවට ශ්‍රී ලංකාවේ මුල්‍ය ක්‍රමය භාර කිරීමයි.

  • මිල්ටන් රාජරත්න
Social Sharing
නවතම