මරීනා හා රුසියානු මාධ්‍යය මර්දනය

මරීනා ඔව්සියාන්නිකෝවා (Marina Ovsyannikova) කියන නම මේ දවස්වල හැම තැනම ඇහෙනව.

කෙවින් කාටර්, ජෙරාල්ඩ් රයිල්, ජුලියන් අස්සාන්ජ් වගේ මාධ්‍ය වේදීන් ගැනත් … පැන්ඩෝරා පත්‍රිකා.. පැනමා පත්‍රිකා වගේ ලෝක මාධ්‍යයේ ඇතිවූ පෙරළි ගැනත් අපි මීට කලින් කතා කරා.  ඒ වගේම හිර මැදිරියක් ඇතුලෙම තනිවම මියගිය ඉබෲ ටිම්ටික් ගැනත් අපිට මතකයි.

ඒ නිසා මරීනා හා රුසියානු මාධ්‍යවේදීන් ගැන කතා නොකලොත් ඒක ලොකු අඩුවක්.

පහුගිය දවසක රුසියානු ජාතික රූපවාහිනියේ සජීවී ප්‍රවෘත්ති විකාශනය වෙන අවස්ථාවේ යුද්ධය නවත්වනු , රුසියානු මාධ්‍ය ජනතාවට බොරු කියයි යනුවෙන් ලියපු පුවරුවකුත් අරගෙන ප්‍රවෘත්ති මැදිරියට කඩා වැදුනු කාන්තාව තමයි මරීනා ඔව්සියාන්නිකෝවා කියන්නෙ .

ප්‍රවෘත්ති නිෂ්පාදක කණ්ඩායම මැදිහත් වෙලා තත්පර කීපයක් ඇතුලත  ප්‍රවෘත්ති නවත්තල, කලින් පටිගත කරපු වැඩසටහනක් ඉදිරිපත් කරත්, එයාගෙ පණිවිඩය රුසියාව පුරාම විතරක් නෙවේ මුළු ලෝකය පුරාම පැතිරිලා ගියා.

russian journalist on air protestor fined

මේ පුවරුවේ ලියල තිබුනෙ…

“යුද්ධය නවත්වනු.  රුසියානු මාධ්‍ය ඔබට පවසන්නේ බොරු. රුසියානු මාධ්‍ය ප්‍රචාරනය කිසි විටෙක විශ්වාස නොකරනු”  වගේ වාක්‍යයක්.

කවුද මේ මරීනා ?  එයා ඉපදෙන්නෙ 1978 අවුරුද්දෙ  සෝවියට් දේශයට අයත්ව තිබූ ඔඩෙස්සා නගරයේ. ( අද මේ නගරය යුක්‍රේනයේ ප්‍රධාන නගරයක්)  අම්මා රුසියානු කාන්තාවක්. තාත්තා යුක්‍රේන ජාතිකයෙක්.

දකුණු රුසියාවේ කුබාන් (Kuban) ප්‍රාන්ථ විශ්ව විද්‍යාලයේ මාධ්‍ය පිලිබඳ උපාධියක් ලබා ගන්නා මරීනා 1997 අවුරුද්දෙ කුබාන් රූපවාහිනී සේවයේ ජනප්‍රියම මාධ්‍ය වේදිනියක් බවට පත්වෙනව. දක්ශකමත් රූමත්කමත් නිසාම මේ තරුණ කාන්තාව 2000 අවුරුද්දෙ මොස්කව් නුවරට ළඟාවෙන්නෙ  ව්ලැඩිමෝර් රුනෝව් මහත්තයාගේ ආරාධනාවකින්.

2002 අවුරුද්දෙදි රුසියාවේ ප්‍රධානතම රූපවාහිනී සේවාව වන චැනල් වන්  රුසියා ( Channel 1 Russia) කියන රූපවාහිනී සේවාව එක්ක සම්බන්ධ වෙනවා.

සවස ප්‍රවෘත්ති විකාශ‍යේ විශාල වැඩ කොටසක් ඉටුවෙන්නෙ මරීනා අතින්.

marina ovsyannikova missing Repression of the Russian media

මරීනා ඔව්සියාන්නිකෝවාගේ මේ තනතුර ඉතාම වැදගත්, හේතුව 2000 අවුරුද්දෙ බොහොම හෙමින් පටන් ගන්න රුසියාවේ විකල්ප මාධ්‍ය මර්ධනය 2010 වගේ වෙද්දි ඉතාම තදින් සිද්ධ වෙනවා.

අද වෙද්දි  රූපවාහිනී සේවා 3300 ක් රුසියාව තුළ තහනම්. විකල්ප මාධ්‍ය එකින් එක තහනම් කෙරෙද්දි රුසියානු ජනතාවට ප්‍රවෘත්ති සපයන ප්‍රධානම රූපවාහිනී සේවාව බවට පත්වෙන්නෙ මේ කියන චැනල් වන් රූපවාහිනී සේවාවයි. ( Channel One Russia)

ඒක ලංකාවට උපමා කලොත්.. ජාතික රූපවාහිනියයි, ස්වාධීන රූපවාහිනියයි ඇරෙන්න ස්වර්ණවාහිනී, දෙරණ, හිරු ..  සී එන් එන්, අල් ජසීරා වගේ ඔක්කොම ටීවී චැනල් වහල දානව වගේ වැඩක්.

රුසියානු ජනතාවගෙන් 74% ක් දිනපතා නරඹන්නෙ මේ චැනලය.

අනිත් කාරනේ තමයි ව්ලැඩිමීර් පුටින් මහත්තයා බලයට ආපු දවසෙ ඉඳල මේ වෙද්දි ජනප්‍රිය රුසියානු මාධ්‍යවේදීන් 16 දෙනෙක් මරාදානව එහෙමත් නැත්තං හදිසි අණතුරුවලට ලක්වෙලා මිය යනවා.

2000 අවුරුද්දෙ ඉඳල අද වෙනකොට  මාධ්‍යවේදීන් 98 දෙනෙක් ඝාතනය වෙනවා. මේ බොහෝ ඝාතනවලට වගකිව යුතු කිසිම කෙනෙක් අත්අඩංගුවට අරගෙන නෑ.

marina ovsyannikova missing Repression of the Russian media

මේ මාධ්‍යවේදීන්ගෙන් වැඩි දෙනෙක් ස්වාධීන වගේම තරුණ අය.. අනිත් කොටස වාමාංශික හා සමාජවාදී පක්ශවලට අයත් අය.

(රුසියානු දේශපාලන ඉතිහාසය කතා කරද්දි අපි ඉගෙන ගත්තා වැල්ඩිමීර් පුටින් මහත්තයා බලයට ආවෙ ජෙනාඩි ස්‍යුගනොව් මහත්තයාගේ රුසියානු කොමියුනිස්ට් පක්ශය පරාජය කරමින් කියල)

තවත් මාධ්‍යවේදීන් බොහෝ දෙනෙක් අතුරුදන් වෙනවා, සමහරු රට අතෑරල පැනල යනවා,  මුළු රුසියාව පුරාම මාධ්‍ය අණසක පතුරුවන්නෙ රුසියානු රජය විසින්.

විශේෂයෙන්ම පුටින් මහත්තයා විවේචනය කරන කිසිම මාධ්‍ය වේදියෙක්ට ගැලවීමක් ලැබෙන්නෙ නෑ.

2006 අවුරුද්දේ වස ශරීර ගත කරල මරල දාපු  ඇනා පොලිටොකොව්ස්කායා ( Anna polytokovskaya) ,හිසට වෙඩි තබා මරාදාපු ඇනස්තාසියා බබරෝවා  ( Anastasia Baburova) වගේ චරිත මේ අතරින් ප්‍රධානයි.

රුසියානු මාධ්‍ය පුන පුනා කියන්නෙ මේ අය බටහිර සමග කුමන්ත්‍රණ කරපු අය බවත්  මරණයට හේතුව සොයා ගන්න අපහසු බවත්. නමුත් මේ කතන්දර විශ්වාස කරන්නෙ රුසියානු ජාතික රූපවාහිනිය නරඹන දුර පලාත්වල දුප්පත් මිනිස්සු විතරයි.

මේ ප්‍රවෘත්ති සකස් කරන්නෙත්, ඉදිරිපත් කරන්නෙත් මරීනා ඇතුළු රජයට හිතවත් මාධ්‍යවේදීන් කණ්ඩායමක්. මරීනා හැමෝගෙම සැලකිල්ලටත්, ගෞරවයටත් පත්වූ රජයේ විශ්වාසවන්ත කාන්තාවක් බවට පත්වෙන්නෙ මෙන්න මේ වගේ පරිසරයක් අතුලෙයි.

විශේෂයෙන්ම බටහිර යුරෝපීය  විරෝධී සිතුවිලි ඇතිවෙන ආකාරයට ප්‍රවෘත්ති සකස් කරන්න මරීනාට හොඳ හැකියාවක් තියන බවයි යුරෝපීය මාධ්‍ය කියන්නෙ.

මෙන්න මේ නිසයි මරීනාගේ පණිවිඩය රුසියාවත් ලෝකයත් පුදුමයට පත් කරන්නෙ.

ප්‍රවෘත්ති මැදිරියට කඩා වදින්න කලින් මේ මාධ්‍යවේදිනිය ටෙලෙග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් මුදාහරිනවා.

මේ පණිවිඩයේ සංක්ෂිප්තය මේකයි,

“අද රුසියාව අපරාධ කරන ජාතියක් බවට පත්වෙලා, මේ යුද්ධ හා අපරාධවලට වගකිවයුතු එකම පුද්ගලයා ව්ලැඩිමීර් පුටින්. මගෙ අම්මා රුසියානු තාත්තා යුක්‍රේන, මේ දෙගොල්ල කවදාවත් හතුරො වෙලා හිටියෙ නෑ. නමුත් අද රුසියානු මාධ්‍ය ජනතාවට කියන්නෙ බොරු. මමත් අවුරුදු ගානක් ඔබට බොරු කරා. ක්‍රෙම්ලිනය හදල දෙන මේ බොරු ඔබට කීම ගැන මම දුක් වෙනව. මං ගැනම ලැජ්ජා වෙනවා.

2014 දි ක්‍රිමේයාව ආක්‍රමනය කරද්දි අපි නිහඬව හිටිය, නවාල්නි මහත්තයාට වහ දීල මරන්න හදද්දි අපි නිහඬව හිටිය. දැන් අපේ සහෝදර යුක්‍රේනය ආක්‍රමනය කරද්දි අපිට නිහඬව ඉන්න පුළුවන්ද.

අපි රුසියානුවන්. බුද්ධිමත් උදාර ජනතාවක් කියල අපි විශ්වාස කරනව.  නමුත් අද මුළු ලෝකෙම අපිට විරුද්ධ වෙලා. මේ කරන අපරාධය තව පරම්පරා දහයකට වත් මතක තියේවි.  මගේ මිත්‍රවරුනි මේ  අපරාධයට, යුද්ධයට විරුද්ධව පාරට බහින්න. අපි ඔක්කොම හිර ගෙවල්වලට ගාල් කරන්න රජයට බෑ. මේ අපේ රට”.

මේක ඉතාම බරපතල ප්‍රකාශයක්.  මේ ප්‍රකාශය සමාජ මාධ්‍යයට මුදා හැරල, ඒක මදි කියල හිතුන නිසයි එයා බැනරයකුත් අරන් ප්‍රවෘත්ති මැදිරියට කඩා වැදුනේ.

මරීනාව අත්අඩංගුවට ගන්නව, පැය දාහතරක් තිස්සෙ ඔස්ටන්කිනෝ පොලිස් ස්ථානයේදි  ප්‍රශ්ණ කරන්නෙ ඇමරිකානු හෝ යුක්‍රේන බලපෑමක්, සම්භන්ධයක් එයාට තියනවද කියල දැනගන්න.

නමුත් ඒ කිසි දෙයක් නෑ.  මීට කලින් කිසිම චෝදනාවකට ලක්වෙලා නැති මරීනා සාමාන්‍ය රුසියානු කාන්තාවක්.  තමන්ගෙ සැමියා හා කුඩා දරුවන් දෙදෙනා එක්ක මේ ගැහැනිය බොහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්.

ප්‍රවෘත්ති මැදිරියට කඩා වැදීමේ වරදට රූබල් තිස් දහසක දඩයක් ගහල මේ කාන්තාව මුදා හරිනවා. නමුත් කලින් විකාශය කල වීඩියෝ පටය නිසා අවුරුදු පහළවක හිර දඬුවමක් එයාට ලැබෙන්න ඉඩ තියනවා.

රුසියානු විපක්ෂයේ ලෙව් ස්ශොලස්බර්ග් ( Lev Scholasberg) කියන්නෙ අවුරුදු ගාණක් පුරා ක්‍රෙම්ලිනය කරපු බොරුව තත්පර තුනකින් මරීනා රුසියාවට හෙලිකරා,  ඒක ලොකු ජයග්‍රහණයක් කියලයි.

යුද්ධය ආක්‍රමණය පහරදීම් වගේ වචන අද රුසියානු මාධ්‍යයේ පාවිච්චි කරන්න තහනම්. ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්‍ටග්‍රෑම් වගේ සමාජ මාධ්‍ය තහනම්.

යුක්‍රේන ආක්‍රමණයට තමන්ගෙ දරුවො යවපු බව දැනගත් ඒ අයගෙ දෙමව්පියන් කලබල වෙන්න ගත්තෙ දැනට සති කීපයක ඉඳල.  නමුත් ඒ අයට නිවැරදි තොරතුරු නොලැබෙනව විතරක් නෙවේ, යුද්ධයෙන් මියගිය ( තහවුරු නොකල වාර්ථා කියන විදිහට 7000 කට ආසන්න ) රුසියානු සෙබළුන්ගේ සිරුරු හෝ ඒ අයට ලැබෙන්නෙ නැති බවයි ලෝක මාධ්‍ය වාර්ථා කරන්නෙ. ( රොයිටර්, ආර්ටී, අල් ජසීරා, බීඑෆ්එම්).

මේ මාධ්‍ය මර්ධනය රුසියාවෙ විතරක් තියන දෙයක් නෙවේ.   මේ යුද්ධය යන අතර තුර පහුගිය සිකුරාදා සෞදි අරාබි රජය සිරකරුවන් 81 දෙනෙක්ට මරණ දඬුවම දුන්නා.  තේරෙන භාෂාවෙන් කිව්වොත් මිනිස්සු 81 දෙනෙක් අමු අමුවේ මරා දැම්මා.  මේ අයගෙන් හත් දෙනෙක් මාධ්‍යට සම්බන්ධ අය. අවාසනාවකට මේ ගැන සාක්ෂි ඇතිව ඔප්පු කරන්න බැරි ඒ රටේ තියන දැඩි නීති රීති නිසයි.

කාට හෝ හිතෙන්න පුළුවන් ඇයි මේ හදිස්සියේ මේ අයව මරා දැමුවෙ කියලා.

උත්තරය තමයි අද තියන තෙල් යුද්ධය.

ලෝකයේ තෙල් නිෂ්පාදනයේ මුල් ස්ථාන තුන හිමි වෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයට, සෞදි අරාබියට හා රුසියාවට.

රුසියාවට පැනවෙන සම්බාධක නිසා ලෝක තෙල් සැපයුම අඩුවෙනව. මුළු ලෝකෙටම වගේ යුරෝපයටත් සෞදි අරාබියේ තෙල් නැතුවම බැහැ. ඉතින් මේ වෙලාවෙ කවුද ඉදිරිපත් වෙන්නෙ සෞදි රජය විවේචනය කරන්න.

එහෙම කලොත් කවුද අපිට තෙල් දෙන්නෙ. ලෝක මාධ්‍යයේත් ඇත්ත තත්වය තමයි මේ.  වාසනාවකට කොන්ද තියන මාධ්‍යවේදීන් කීප දෙනෙක් හරි තවමත් ඉතුරු වෙලා ඉන්නවා. මහා ලොකු දියුණුවක් ලැබුවා කියපු මනුස්සයො තාමත් යැපෙන්නෙ මේ තෙල් මුදලාලි මත කියන එක අකමැත්තෙන් වුනත් පිළිගන්න සිද්ධ වෙනවා.

මුළු ලෝකයම බලන් ඉන්නෙ මරීනාගෙ හෙට දවස මොකක් වෙයිද කියලයි.

දරුවො දෙන්නෙක් ඉන්න  අම්ම කෙනෙක් විදිහටත් එයා ගත්ත තීරණය පුදුමාකාරයි.

එක්කො මෝඩයි.  ඒත් එයාගෙ තීරණය විනිශ්චය කරන්න අපි කවුද.?

ඒ අතරෙ ඇමරිකා එක්සත් ජනපදය තුලත්, චීනයෙත්, ලෝකෙ බොහෝ රටවලත් ජනමාධ්‍යවේදීන් මරණයට පත්වෙනවා. අතුරුදන් වෙනවා.

මේ ලියන තොරතුරු බෙදාගන්නා අපිත් අයිතිවෙන්නෙ සෘජුවම නැතත් මේ මාධ්‍යවේදීන් කියන කණ්ඩායමටම තමයි.

ප්‍රගීත් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග වගේ විශිෂ්ඨ ජනමාධ්‍යවේදීන් මරාදාපු මහත්තුරු තවමත් නිදැල්ලෙ.   ඒ ගැන අපි ටිකෙන් ටික අමතක කරමින් ඉන්නවා. මේ වගේ තව කොයිතරම් මර්ධනය වුනාද.. වෙනවද.

මේ තොරතුරු ලියන්නෙ කාව හෝ විනිශ්චයටවත් කා සමග හෝ තරහ ගන්නවත් නෙවේ. නමුත් දැනුවත් වීම සිදුවිය යුතු හින්දයි.

මාධ්‍යවේදීන් මරාදාන්නෙ, මර්ධනය කරන්නෙ, පහර දෙන්නෙ, එකම හේතුවක් නිසා. ඒ බලය තියන මිනිස්සු ඇත්තට බය හින්දයි. ඇත්ත කතා කරන මිනිස්සු බොහෝ වෙලාවට තනිවෙනවා.

වාමාංශික කියල හිතන් ඉන්න සුළු කාණ්ඩෙත්, නේටෝව හා ඇමරිකාවට විරුද්ධ කාණ්ඩෙත්  ඉස්සරහ ව්ලැඩිමීර් පුටින් මහත්තයා හෝ රුසියාව ගැන වැරදි ලියනව කියන්නෙ පහර කන්න සිදුවෙන ක්‍රියාවක්, නමුත් මෙතන විවේචනයක් නෑ. ඇත්ත ඇති සැටියෙන් සටහන් කිරීමක් විතරයි සිද්ධ වෙන්නෙ.

අනිත් අතින් එක එක කල්ලි වලට බය වුනොත් අපිට ඇත්ත කතා කරන්න වෙන්නෙ නෑ.

ඒ නිසා තමන් නියෝජනය කරන කල්ලිය පැත්තක තියලා “ඇත්ත කතා කරන මාධ්‍යවේදීන් වෙනුවෙන් කතා කිරීම ” හැමදෙනාගෙම යුතුකම කියල මට හිතෙනවා.

 

Malcolm sang ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටාගතිමු..

Picture Curtesy-  Wikipedia, Al Jazeera.. world press.

https://en.wikipedia.org/wiki/List_of_journalists_killed_in_Russia

Social Sharing
නවතම විදෙස් විශේෂාංග