මම මනමේ නාට්‍යය කිහිප වරක් නරඹා ඇත්තෙමි. එහෙත් මනමේ නාට්‍යය ගැන විචාර එතරම් කියවා නැත්තෙමි. කෙසේවුවත් සරච්චන්ද්‍ර මහතා මනමේ ගැන කියා ඇති දේ ලියා ඇති දේ සමහරක් කියවා ඇත.
මනමේ කුමරු මිය යාමෙන් පසුව ‘සිතුණෙ කඩුව ඔබ අතටම දෙන්නා’ යැයි මනමේ කුමරිය වැදි රජුට කියයි. මනමේ කුමරිය මේ කියන්නේ බොරුවක් නොවේ.
වැද්දා නගරයේ දී මනමේ බිසව දුටුවා නම් ඇය තමා සතු කරගන්නට සිතන්නේ නැත. එහෙත් තමාගේ වනය තුළ දී ඔහු එසේ සිතෙන්නේ නැත.
මනමේ කුමරියට ද නගරයකදී නම් වැද්දා ගැන ආලයක් ඇති වන්නේ නැත. ඔහු නිකම් ම වැද්දෙකි. එහෙත් කැලය තුළ දී ඔහු රජෙකි. කැලෑව තුළ කුමාරයා මනමේ කුමරු නොව වැදි රජුය. කඩුව අත තිබිය දී ඇය දෙගිඩියාවට පත්වන්නේ ඒ නිසා ය.
වැදි රජු මනමේ කුමරුට පරදින්නේ ඔහුට මනමේ කුමරුන්ට තරම් සටනට හැකියාවක් නැති නිසා නොව මනමේ කුමරිය ගැන ඇති ලොබින් ඔහුගේ සිත ද චංචලව ඇති නිසා ය.
මනමේ කුමාරයා සටන දිනන්නේ ඔහුගේ අපේක්ෂාව තමාගේ ජීවිතය ගලවාගැනීම නිසාය. සටන හැර වෙනත් විකල්පයක් ඔහුට ඉතිරිව නැත.
වැදි රජුට නම් විකල්ප තිබුණි. ඔහුට අවශ්‍ය නම් තම පිරිස ලවා කුමරු මැරවීමේ හැකියාව තිබිණි. එහෙත් ඔහු එසේ නොකරන්නේ ඔහුට මනමේ කුමරියට ‘කලර්ස්’ පෙන්වීමේ ආසාවක් ද ඇති වූ නිසා ය. එසේ ම මේ වනය, තම ආධිපත්‍යය තම පිරිස දැකීමෙන් දැනටමත් මනමේ කුමරු ඇතුළතින් ඇද වැටී ඇතැයි ද ඒ නිසා සටනකින් ඔහු ව පහසුවෙන් ම පරදවා ලිය හැකි යැයි ද වැදි රජු තක්සේරු කරයි.
වැද්දාගේ අපේක්ෂාව වන්නේ තමා එතරම් අවදානමක් ගැනීමකින් තොරව ම කුමරියට කලර්ස් පෙන්වීමය.
එහෙත් කුමරු සටන් කරන්නේ තම දිවි රැකගැනීම උදෙසාය. මරු විකල්ලෙන් යැයි ද කිව හැකිය. තමා ගැන වූ අධිතක්සේරුව නිසා ද කුමරා ගැන වූ අවතක්සේරුව නිසා ද කුමරිය නිසා චංචලව ඇති සිත නිසා ද වැද්දා පරදියි.
කුමරිය තමා සතු කරගෙන ගෙවන සැපවත් ජීවිතයක් ගැන සිතමින් සිටි වැද්දාට කුමරිය, වනය, රජකම පමණක් නොව මොහොතකින් තම ජීවිතය ද තමාට අහිමිවීමට නියමිත බව කල්පනා වෙයි. මරණය අබියස ඔහුට යළි සිහිකල්පනාව පහළ වෙයි.
එහෙත් වැදි රජු පිරිස ද සමග ප්‍රාතිදුර්භූත වූ මොහොතේ සිට කුමරිය සිටියේ වැදි රජුගේ පැත්තේය. ඒ කුමරුට ඇති අනාදරයක් නිසා නොව තම ජීවිතය රැකගැනීමට නම් ඇති එකම මග එය යැයි ඇගේ ස්ත්‍රී මොළයට කල්පනා වීම නිසා ය. කැලය තුළ මනමේ කුමරුගේ කුමාරකම අහෝසි වී යයි. ඒ තුළ රජු වැදි රජුය. රජ කුමරෙකු වීම නිසා ම නගරයේ දී මනමේ කුමරුට කැමති වූ මනමේ කුමරියට කැලයේ දී මනමේ කුමරු සාමාන්‍ය අයෙකු බවට පත්වී ඇති බව වැදි රජුගේ සම්ප්‍රාප්තියත් සමග වැටහෙයි.
ඇය වහාම රජුගේ පැත්ත ගනියි. එනම් වැදි රජුගේ පැත්ත ගනියි. කැලය තුළ කුමාරයා ද රජු ද මනමේ නොව වැදි රජු ම ය. මේ නිසා වැදි රජුගේ ග්‍රහණයට හසුවූ මොහොතේ සිට නෙතින් ඉගිබිගි මගින් ඇය පළ කරමින් සිටියේ තමා තුළ වැදි රජු ගැන තරහක් නැති බව ය. වැදි රජු ගැන ආදරයක් පවා ඇතිවන්නට හැකි බව ය. වැදි රජු පවා නොමග යන්නේ ඒ නිසා ය. එනම් පිරිස ලවා කුමරු මැරවීමට හැකියාව තිබිය දී තමා ම සටනට යන්නේ කුමරියගේ බැලුම් නෙත් කැලුම් විසින් වීරයෙකු වන්නට ඔහුට ආරාධනා කරනු ලැබූ හෙයිනි.
සටන ඇරඹෙන විට මනමේ කුමරිය මනමේ කුමරු අත්හැර සිතින් වැදි රජුගේ බිසව බවට පත්ව හමාරය. වැද්දාව යටත් කරගත් මනමේ කුමරු කඩුව ඉල්ලන විට මනමේ කුමරිය වික්ෂිප්ත වන්නේ ඒ නිසා ය.
මනමේ කුමරියට සිනාසුණාට ඇය ව හෙළාදැක්කාට ගැහැණු පිරිමි භේදයකින් තොරව අපි සියලු දෙනා මනමේ කුමරියෝ වෙමු. එසේ ම මනමේ කුමරු ද අපි ම ය. වැදි රජු ද අප මය.
මේ සියල්ල ම මනමේ නාට්‍යයේ ඇත.
මෙතරම් කලක් මනමේ පැවතී ඇත්තේ ද ඒ නිසා ය.
කෙසේවුවත් පේරාදෙණියෙන් බිහිවූ සරච්චන්ද්‍රගේ ගෝලයන් යැයි කියාගන්නා උගත්තු වියත්තු නිලධාරීන් දැන සිටින්නේ ‘ප්‍රේමයෙන් මන රංජිත වේ’ ගයන්නට පමණි. එය ද බීගත්ත වේලාවටය. ඔවුන් ගාව මනමේ කුමරිය, මනමේ කුමරා තබා වැදි රජුවත් නැත. නිකම් ම රූකඩය.
උදයසිරි වික්‍රමරත්න ගේ ෆේස්බුක් වෝලයෙන් උපුටාගතිමු..