සිනමාකරුවන් ලොව බොහෝ සිටියද සිනමා කවියන් සිට්න්නේ අතලොස්සකි.ඒ සිනමාකරුවන් ද ,මොන්ටාජ් යනුවෙන් එතෙක් ලොව සිනමාකරුවන් හදුනාගෙන සිටි ලොව අනුගමනය කල සිනමා සකස්කඩයට අනුව නිර්මාණන්හී යෙදෙන්නෝම වෙති. එහෙත් එකී සිනමා වියරණයන් පසුකර ,දේව භාෂිතයක් බදු සිනමාවේ සකස්කඩය අලුතින් ලියූ සිනමාකරුවකු බිහිවී නම් හෙතෙම රුසියානු ජාතික අන්ද්‍රෙ තර්කොවුස්කිය.මා එසේ පවසන්නේ සර්ජි අයිසන්ස්ටයින් විසින් සිනමාවට දායාද කල සිනමාවේ සකස්කඩය වූ මොන්ටාජ් සිනමා රීතිය මුලුමනින්ම බැහැර කල සිනමාකරුවා තර්කොවුස්කි බැවිනි. සිනමාව යනු කාලය මිටින් අල්ලා හසුකර ගැනීම බව ලොවට කියාදුන් හෙතෙම සිනමාවේ සිනමාලoකාරය යළි සකස් කලේ කිසියම් කාලයක් තුල සිනමා රූප (shots)එකිනෙකට බද්ධ කිරීම මගින් අදහසක් මතුකිරීම බුද්ධි ඝෝචර නොවන අතර එම අරුත් සිනමාකරුවා විසින් නිර්මාණය කරන රූප රාමුව තුල නිසැගයෙන්ම තිබිය යුතුය යන අදහස මතුකරමිනි.
රූප කීපයක් එකට සමෝධානය කිරීමෙන් උපදින සිනමා බස මොන්ටාජ් රීතිය තුළින් සිනමා පාසැල් වල උගන්වනු ලබන අතර එය වනාහි සිනමාවේ මූලික වියරණයක් පමණි.එහෙත් සිනමා බසෙන් පිරිපුන් වූ සිනමාලoකාරය උපදින්නේත් හැඩවන්නේත් සිනමා කෘතියේ ව්‍යoගාර්ථයන් මගිනි. ඊට හේතු වන්නේ කලාවේ ප්‍රධාන ආකර්ශනීය බව ඇතිවන්නේ ව්‍යoගාර්ථය ඇතිවිට බැවිනි. තර්කොවුස්කි සිය නිර්මාණ සදහා මොන්ටාජ් රීතිය පසෙක ලා තර්ක කලේ එම රීතිය මගින් සිනමා නිර්මාණ වල ව්‍යන්ගාර්ථය බැහැර කරන බව පැහැදිලි කරමිනි.. සැබෑ සත්‍යය ද එයයි. ඒ බව කියන්නට නම් බොහෝ ලිපි ලිවිය යුතුය.එහෙත් මෙම නව ශික්ෂාව උගෙනීමට කල යුතු යහපත්ම දේ නම් තර්කොවුස්කි ගේ චිත්‍රපට නැරඹීමයි.
අප කතා කරන ව්‍යoගාර්ථය එක් රූපයක් තුල මතුකරලීමට හැකි බව සිනමාවට වියත්ව කියාදුන්නේ නොකල වරදකට රුසියාවෙන් පිටුවහල් කල මේ අපූර්ව ඉන්ද්‍රජාලකයාය. ඔහුගේ 1962 දී රුසියාවේ දී සිනමාවෙන් දොරට වැඩීමත් ඉනික්බිති මව්බිමෙන් පිටුවහල් වීමත්, අවසානයේ 1986 පැරීසියේදී සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවීමත් අතර ඇත්තේ හද කම්පා කරවන කතාන්දරකි.
1954 දී මොස්කව් නුවර සිනමා පාසලෙන් සිනමා සකස්කඩය කියවූ අන්ද්‍රෙ තර්කොවුස්කිගේ මුල් ඇදුරා වූවේ මීකායිල් රොම් සිනමාකරුවායි. සිනමා පාසලේදී අර්නස්ට් හෙමින්වේ සාහිත්‍යයධරයාගේ කෙටිකතාවකින් සිය මුල්ම කෙටි චිත්‍රපටය “කිලර්ස්” නිර්මාණය කරන තර්කොවුස්කි ඒ මතින් ඇවිද ගොස් සිනමා නිම් වළලු තරණය කොට “ද ස්ටීම් රෝලර් ඇන්ඩ් වයලීන් “කෙටි චිත්‍රපටය තුලින් ඇමරිකානු නිව්යෝර්ක් ස්ටුඩන්ට් ෆිල්ම් සිනමා උළෙලේදී මුල් සම්මානයට පාත්‍රවන්නේ හිරිමල් වියේදීමය.
තර්කොවුස්කි ගැන ජාත්‍යන්තරය කතා කරන්නට පටන් ගන්නේ ඔහු විසින් 30 වන වියේදී නිර්මාණය කල ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය වූ “ඉවාන්ස් චයිල්හුඩ්”සමගිනි.
දෙවන ලෝක යුද සමයේ රුසියානු හමුදා හිට්ලර්ගේ ජර්මානු හමුදා සමග සටන් කරන විට ලමා සොල්දාදුවෙකු මෙන් සිය ජීවිතය පසෙක තබා යුධ මෙහෙවරට දුවන දොළොස් හැවිරිදි ඉවාන්ගේ දිවි සක්මන කියාපාන “ඉවාන්ස් චයිල්හුඩ්” යනු සැබැවින්ම ජගත් සිනමා රන් දෙවොලට තිලිණ කල අනගි දායාදයකි .
1962 වසරේ වෙනිස් සිනමා උළෙලේදී ප්‍රධාන සම්මානය වන ස්වර්ණ සිoහ සම්මානයට පාත්‍රවන මෙම චිත්‍රපටය ඉනික්බිති එම වසරේ ඇකඩමි සම්මාන උළෙලේදී හොදම විදේශීය චිත්‍රපටය සදහාද නිර්දේශ වීය.
එහෙත් ඉන්පසුව තර්කොවුස්කි ගේ සිනමා ජීවිතයට එලඹුනේ අභාග්‍යසම්පන්න කාල පරිච්ඡේදයකි .ඒ ඔහු විසින් නිර්මාණය කල දෙවන චිත්‍රපටය වූ “අන්ද්‍රේ රුබලෝ” නිසාය.
13 වන ශත වර්ශයේ රුසියාවේ පැවති දේශපාලන හා ආගමික නිරුවත පිළිබඳව සිනමාත්මකව කතා කල මෙම චිත්‍රපටයට පාදක වන්නේ රුසියාවේ දේවස්ථාන වල චිත්‍ර අදින පිනිස සිටුවරයකු විසින් කැදවනු ලැබූ රුබෙලෝ නම් චිත්‍ර ශිල්පියා ගේ දිවිසැරියයි. රුබෙලෝ නම් චිත්‍ර ශිල්පියා ද ඔහු සමග ගමන් කරන පූජකයාද සමග රුසියානු දේශයේ වටවන්දනාවක යෙදෙන තර්කොවුස්කි ඒ මගින් සිනමා මහා පෙළහරක් අප හමුවේ දක්වයි ..
මා මේ චිත්‍රපටය නැරඹුවේ 1982දී කොළඹ සෝවියට් රුසියානු සoස්කෘතික මැදුරේ “මීර්” සිනමා ශාලාවේදී බව මට මතකය. එහි කැමරා ශිල්පියා වූවේ වාඩිම් වූසෝය. තර්කොවුස්කි ගේ සෙසු බොහෝ චිත්‍රපටවලද කැමරාව මෙහෙයවූවේ වාඩිම් විසිනි. ඔහු විසින් තර්කොවුස්කි ගේ රූප වලට අනුව මවන ලද රූප ස්වරූප සැබැවින්ම අපූර්වජනකය.13 වන සියවසේ රුසියානු ගම්බිම්,ගරා වැටෙන විසල් දේවස්ථාන, අඩ අදුරේ දිස්වන හිම පතන, එහි දිස්වන අදුර සහ ආලෝක කැටි, සැබැවින්ම ඉන්ද්‍රජාලක මෙහෙයුම් වෙති .
1966 දී මෙම චිත්‍රපටය එකල කාන් සිනමා උළෙල සදහා යැවීමට මොස්කව් නුවර ගුවන් තොටුපලේ තිබියදී එක්වරම තහනමට ලක් කරන ලදී .එයට හේතු වුවේ එකල පටු දේශපාලන අදහස් කරපින්නා ගත් කලාවේ මුලකුර වත් නොදත්තාවූ තවත් සෝවියට් අධ්‍යක්ෂ වරයකු විසින් සෝවියට් රුසියානු නායකයිනට දුන් දුරකථන ඇමතුමකි. ඉන් කියැවුනේ තර්කොවුස්කි සෝවියට් රුසියානු ජාතික රාජ්‍යය අවමානයට ලක් කරමින් බටහිර බලවේගවල දෘෂ්ටි කෝණයකින් “අන්ද්‍ර රුබලෝ” නිර්මාණය කල බවකි.ඒ අනුව චිත්‍රපටය ට තහනම් මුද්‍රා තබන ලදී.ඉන් නොනැවතුනු රාජ්‍ය නායකයින් තර්කොවුස්කිට චිත්‍රපට සෑදීම වසර 07
කට තහනම් කලහ.එකී වසර සත තර්කොවුස්කි ජීවත් වුවේ හුස්ම නොගෙන හුස්ම ගනිමිනි..සිනමාව සිය ආත්මයම කරගත් නිර්මාණකරුවකුගේ දෑස් වැසීම ගැන තව කුමන නම් කතා බහද?
තහනමින් වසර හතකට පසු නිර්මාණය කල “සෝලාරිස්”තර්කොව්ස්කිගේ තෙවන සිනමා වියමනයි.විද්‍යා ප්‍රබන්ධයක් ඇසුරින් නිර්මිත “සෝලාරිස්” තුලින් ප්‍රකට වන්නේ අභ්‍යවකාශයදී මානසික අර්බුදයන්ට හසුවන විද්‍යාර්ථයින් තිදෙනෙකුගේ ශෝකාලාපයකි.1972 දී කාන් සිනමා උළෙලේදී ජූරියේ විශේෂ ගෞරව සම්මානයට පාත්‍රවන මෙම චිත්‍රපටය තර්කොවුස්කගේ සිනමා වන්දනාවේ විශේෂ අවස්ථාකි .
ඉනික්බිති තර්කොවුස්කි නිර්මාණය කලේ “මිරර්” චිත්‍රපටයයි .1973 දී රූප ගත කරන ලද මෙම චිත්‍රපටයට පාදක වන්නේ තර්කොවුස්කිගේම ලමා වියයි. සිය පියාගේ කවි ඇසුරෙන් හා තම ලමා විය හා බැදුනු දෙවන ලෝක යුද්ධය තුල වින්දා වූ නේක දෝමනස්සයන් “මිර්ර්”චිත්‍රපටයේ ඇතුලත් වෙයි. මිරර් චිත්‍රපටයේ තිර නාටකය තර්කොවුස්කිගේ සිත් තුල වැඩෙන්නට වූවේ බොහෝ කලක සිටය.එනම් “ඔන්ඩ්‍රේ රුබලෝ” සිනමා පටය රූප ගත කරන සමයේ සිට බව ඔහුගේ දින පොතේ සදහන්ය . සිය ලමා වියේ වින්දා වූ නේක දුක් දෝමනස්සයන් නිරතුරු තම සිතට වද දුන් නිසා තර්කොවුස්කිට එම පීඩාවලින් සුවය ලැබීමට “මිරර්” චිත්‍රපටය තුලින් ඇවැසි වීය. ඔහු සිය අධ්‍යාත්මය කැටිකොට තිර රචනය ලියූවද ඒ සදහා නිශ්පාදකයකු නොවිණි. එය රජයේ චිත්‍රපට මණ්ඩලය ට ඉදිරියේ ද ප්‍රතික්ෂේප විය.අවසානයේ කලකිරීමට පත් තර්කොවුස්කි “මිර්ර්”පසෙක තබා “සෝලාරිස්” චිත්‍රපටය රූගත කිරීමට පිටත් විය.එහෙත් හැම මොහොතකම ඔහුගේ සිතේ රැව්පිලි රැව් දුන්නේ තම ජීවිත සක්මන සනිටුහන් කල “මිරර්” තිර නාටකයයි.අවසානයේ රුසියානු සිනමා අධිකාරියේ මුල් පුටුවට නව මිනිසෙකු පත්වූ අතර ඒ අනුව තර්කොවුස්කිට “මිරර්” බිහිකිරීමට අවස්ථාව ලැබුණි.ඒ අනුව අප සිනමා කවීන්ද්‍රයන්ට රජය මගින් නෙගටිව් අඩි 25000ක් ද.ඇස්තමේන්තු නිශ්පාදන වියදම් ,රුසියානු රූබල 6,22.000 ලැබුණි.ඉහවහා ගිය ප්‍රීතියෙන් යුතුව තර්කොවුස්කි චිත්‍රපටය රූගත කලද “මිර්ර්”ච්ත්‍රපටය රුසියානු සිනමා මන්ඩලය මගින් ප්‍රතික්ෂේප කරන ලදී.වසර කීපයකට පසුව “මිර්ර්”චිත්‍රපටයේ විලoගු ලිහිල් වූවද කාන් සිනමා උළෙලේදී තිරගත කිරීම සෝවියට් බලධාරීන් විසින් තහනම් කරන ලදී.1974 වර්ශයේදී සිදුවූ මෙම කුරිරු සිනමා කප්පාදුව කාන් සිනමා උළෙලේ අප්‍රසාදයට පත්වූ අතර ඒ ගැන සාකච්ඡා කරන්නට යාම නිසා කාන් උළෙලට එම වසරේ රුසියානු චිත්‍රපට කිසිවක් නොදෙන්නට රුසියාව තීරණයක් ගති.මෙම සෝවියට් බලධාරීන් ගේ කැනහිලිකම් මත “මිරර්” චිත්‍රපටය රුසියාවේ ප්‍රදර්ශනය කරන්නට අවසර ලැබුනේද තුන්වෙනි පන්තියේ අබලි සිනමා ශාලාවල සහ කම්කරුවන් ගැවසෙන සිනමාහල් වල පමණි. එකල මෙවැනි සිනමාහල් වල පෙන්වන චිත්‍රපට වලට ආදායම් නොලැබුණි. මෙහිදී සෝවියට් බලධාරීන්ට ඇවැසි වූවේ තර්කොවුස්කි නැමැති සිනමාකරුවාව සිනමාවෙන් අතුගා දැමීමටය.එහෙත් ඒ වනවිටත් අප සිනමා කවියා “මිර්ර්” චිත්‍රපටය තුලින් තමා මෙතෙක් සෙවූ සාහිත්‍යය හා නාට්‍යයමය ආභාසයෙන් තොර තම නුමුහුන් සිනමා බස ලොවට දායාද කර තිබුණි.එපමණක් නොව සෝවියට් රුසියාව විසින් අතුගා දමන ලද තර්කොවුස්කි ගේ ‘මිරර්”චිත්‍රපටය පසුව sight &sound මගින්ලොව හොදම චිත්‍රපට 10 ට ඇතුලත් වීය.
සිය මව්බිමේ කෙනෙහිලිකම් වලට හසුව බොහෝ පීඩා විදි තර්කොවුස්කි රුසියාවේ අවසන් වරට නිර්මාණය කල චිත්‍රපටය “ස්ටෝකර් ය. ඒ 1979දීය.මෙම චිත්‍රපටයට පාදක වන්නේ කිසියම් අපූරු පරිසරයක පිහිටා ඇතැයි සැලකෙන අරුම පුදුම කාමරයක් සොයා යන යතියන් තිදෙනෙකුගේ චාරිකාවයි .එම කාමරය තුලට ගිය අයකුට සිතු දේ ලැබෙන බව කියවෙයි.ලේඛකයකු ,විද්‍යා පරීක්ෂකයකු හා ඔවුනට ගමන් මග පෙන්වන්නකු අතර දෝලනය වන “ස්ටෝකර්”චිත්‍රපටය අපට පසක් කරන්නේ අප ජීවිතයෙන් ඉල්ලා සිටින්නේ කුමක්ද අප සිතන්නේ කුමක්ද යන්න අප දන්නේද ?යන්නයි. රුසියාවට “ස්ටෝකර්”ද තවත් තුන්වන පන්තියේ නිර්මාණයක් වූවද 1979 වසරේ ප්‍රoශයේ කාන් සිනමා උළෙලේදී ජුරියේ සම්මානයට පාත්‍රවන්නේ “ස්ටෝකර්”චිත්‍රපටයයි.
ඉනික්බිති තර්කොවුස්කිට සිය උපන් බිමෙන් පිටුවහල් වීමට සිදුවීම මහත් බේදවාචකයක් බවට පත්වීය.සෝවියට් දේශයෙන් පිටුවහල් වූ මේ හුදෙකලා සිනමාකරුවා ඉතාලියට සම්ප්‍රාප්ත වෙයි.ජගත් සිනමාව නම් රන් දෙවොලට තවත් අනගි පිළිමයක් ඔහු නෙලන්නේ ඉතාලියේදීය.ඒ “නොස්ටැලිජියා”නම් අපූර්ව සිනමා කාව්‍යයෙනි.
එසේවුවද සිය උපන් මව්බිමෙන් පිටුවහල් වීමට සිදුවීම නිසා තර්කොවුස්කි සිය ජීවිතයෙන් බොහෝ දුක් විදි බව පසක් වෙයි.ඒ බව ඔහුම පවසන්නේ “නොස්ටැලිජියා” චිත්‍රපටය ආරම්භයේ රෝමයේ පැවති පුවත් පත් සාකච්ජාවකදීය.
” මෙම චිත්‍රපටය තුල ගැබ්වී ඇති යටිපෙළක් ඇත.ඒ වනාහී සoස්කෘතිය යන්න අපට කිසිදා ආනයනය අපනයනය කලහැකි දෙයක් නොවන බවයි .රුසියනුවන් වන අප ඩාන්ටේ කියවා ඇති අතර ඉතාලි ජාතිකයන් වන ඔබ පුෂ්කින්ද කියවා තිබෙන්නට හැක.ඒත් මෙකී කවීන්ද්‍රයන්ව ඔබ අවබෝධ කරගත්තා යයි කිව හැකිද?අප එම කවීන්ද්‍රයන් ගේ ජාතියට දේශයට අයත් නොවන්නේ නම් එය කල නොහැක.එම කවි පිටපත් කර තවත් රටකට බෙදාහැරීම මගින් එහි රස නීරස වෙයි.රටක සoස්කෘතිය තවත් රටකට වටහා දිය හැකි යැයි මම නොදනිමි.”
(අන්ද්‍රෙ තර්කොවුස්කි )
මව්බිමෙන් පිටුවහල් වීම නිසා හටගත් කලා හුදෙකලාව ඔහුට දරාගත නොහැක්කක් වීය. කොතරම් දුක් දෝමනස්සයන් වලට තමා රුසියාවේ දී මුහුණ දුන්නද ඒ සියල්ල විදේශ ගතවීමට වඩා සුවදායක බව තර්කොවුස්කි නිරතුරු කීවේය.
“රුසියානුවෙකුට විදෙස් ගතවීම පහසු කාර්යක් නොවේ.නොස්ටැලිජියා චිත්‍රපටය පුරා ඇත්තේ ඒ හුදෙකලා ශෝකාලාපයයි .මගේ ජීවිතයේ අවසන් කාලය මට ගත කරන්නට සිදුව ඇත්තේද එලෙසය.එය අතිශයින් වේදනාකාරීය.”
නොස්ටැලිජියා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ඔලෙග් ලැන්කැවිස්කි නම් නවකතාකරු අන්ද්‍රෙ තර්කොවුස්කිම බව මම සිතමි.18 සියවසේ ඉතාලියේ සිටි ගාන්ධර්වයකුගේ ජීවිතය සොයා පිරික්සන ,එහෙත් සිය මව්බිමෙන් පිටුවහල් වීම නිසා දුක් විදින ඔලෙග් ලැන්කැවිස්කි යනු තර්කොවුස්කිමය..හද සසල කරවන මතක වේදනා හෙවත් නොස්ටැලිජියා පිරි මෙම සිතුවමටද1983 දී කාන් සිනමා උළෙලේදී ජුරි සම්මානයක් නැවතත් ලැබුනි.ඒ අන් කිසිවක් නිසා නොව අන්ද්‍රෙ තර්කොවුස්කි සතු අපූර්ව නිර්මාණ ශක්ති ප්‍රතිභාව නිසාමය.පසුව sight and sound magazine මගින් ලොව හොදම චිත්‍රපට 10 තෝරාගත් අතර ඒ සදහා “නොස්ටැලිජියාද වීය.
සිය ජීවිතයේ අවසන් යුගයේදී අන්ද්‍රෙ තර්කොවුස්කි නිර්මාණය කල සිනමා සිතුවම වන්නේ “සැක්‍රිෆයිස්” ය.ස්විඩන් ජාතික චිත්‍රපට ආයතනය විසින් නිශ්පාදනය කල සැක්‍රිෆයිස් ,තර්කොවුස්කි අධ්‍යක්ෂණය කලේ මරණය අප සිනමා කවියා පසුපස සෙවනැල්ල මෙන් හඹා එද්දීය.පිලිකා රෝගයෙන් පීඩා විදිමින් ඒ සමග චිත්‍රපට පසුතලයේ සැරිසරමින් ,බේත් හේත් ලබමින්.ශාරීරික වේදනා මැදින් “සැක්‍රිෆ්‍යිස්” චිත්‍රපටය නිම කරන්නට ඔහු දැරූ වෙහෙස මහන්සිය අපමණය .පිලිකා රෝගය යන්න ඔහුට සමීප වූ බිහිසුණු අත්දැකීමක් ම විය.”ඔහුගේ බොහෝ ” චිත්‍රපටවල රගපෑ ප්‍රධාන නලුවා හදිසියේ පිලිකා රෝගයෙන් මියගියේය.එය ඔහුට වේදනා ගෙනදුන් තවත් සිදුවීමක් වීය.සෝලෝනිට්සයින් නම් මේ නලුවා තර්කොවුස්කි ගේ ප්‍රියතම රoග ශිල්පියෙකි. හෙතෙම “නොස්ටැලිජියා සහ “සැක්‍රිෆ්‍යිස්” චිත්‍රපට වලද රගපෑවම නියමිතව සිටියේය. සැක්‍රිෆයිස් හි ප්‍රධාන චරිතය පිලිකාවෙන් සුවය ලබයි.ඒ බව තර්කොවුස්කි සිය තිර නාටකයේ ලියා ඇත.එහෙත් තමා පිලිකාවෙන් නුදුරු අනාගත දවසක ඉක්මනින් මිය යන බව ඔහු දැන සිටියේය .මරණ මoචකයේ හිද වුවද තර්කොවුස්කි “සැක්‍රිෆ්‍යිස්” සිත්තම` අපූර්ව චිත්‍රපටයක් බවට පත් කලේය .1987 කාන් සිනමා උළෙලේදී ප්‍රධාන සම්මානය දිනා ගත්තේ “සැක්‍රිෆයිස්” ය.
“සැක්‍රිෆ්‍යිස්” චිත්‍රපටය මා මුලින්ම දුටුවේ ආචාර්ය තිස්ස අබේසේකරයන් ගෙන ආ වීඩියෝ පටයකිනි.ඉන් පසුව ඒ ගැන මා හා කතා බස් කලේ එම්.ඩී.මහින්දපාලයන් ය.ඒ 1980 ගණන් වල අග භාගයේදී රූපවාහිනී අභ්‍යාස ආයතනයේදීය. අන්ද්‍රෙ තර්කොවුස්කි ගැන ලියන මම “සැක්‍රිෆයිස්” ගැන කිසිවක් කිව යුතුය.එහෙත් එය පිලිබදව මාගේ කියවීම ලියා දන්වා තර්කොවුස්කිගේ අවසන් චිත්‍රපටයේ ඔහු අදහස් කල සිනමා රසය ලඝු කරන්නට මා වැනි සිනමාවට පෙම්බැදි කුඩා එකෙකුට කල නොහැක්කකි. සැක්‍රිෆයිස් යනු ඒ තරමටම ශුද්ධ වූ සිනමා ප්‍රතිභාවකි.
ඉදිරියේ සිදුවන න්‍යෂ්ටික යුධ තත්ත්වයක් ගැන හුදෙකලාව සිට ,දෙවියන් සමග කතා කරන සැක්‍රිෆයිස් හි ඇලෙක්සැන්ඩර් නම් විද්වත් යතියා ගැන මා කුමක් නම් කියන්නද? ඔහු සියතින්ම රෝපණය කරන ගස අපට පවසන්නේ කුමක්ද? ඇලෙක්සැන්ඩර් සමග සිටින කතා බස් කරන්නට නොහැකි කුඩා දරුවා තුලින් තර්කොවුස්කි අපට පවසන්නේ කෙබදු අරුතක්ද? අති දුර රූප නිර්මාණය කරමින්, කැමරාව ,රාමුව තුල පෙනෙන විෂයට(subject ) දුරස්තීකරණය කරමින් ,හුදෙකලා චරිත වෙත අපට ලo නොවී බලන්නැයි තර්කොවුස්කි කියන්නේ මන්ද? එකී දුර රූප දිගු වේලාවක් ජේදනය නොකර තබා ඇත්තේ සිනමා රසිකයාට රාමුව දෙස බෝ කාලයක් බලා ව්ෂයේ සදහන් සිනමා බසේ ව්‍යන්ගාර්ථයන් තේරුම් ගැනීමට අවකාශයක් ලබා දීමට නොවන්නේද?
මෙකී පැනයන්ට පිලිතුරක් ලබන්නට නම් අප අන්ද්‍රෙ තර්කොවුස්කිගේ සිනමා වන්දනාවේ අක්මුල් සොයා ඔහුගේ නිර්මාණ නැවත කියවිය යුතු යයි මම විශ්වාස කරමි..”අන්ද්‍ර තර්කොවුස්කි ගේ සැක්‍රිෆයිස් “හි අරුත කිසිවකුට තේරුම් ගත හැක්කේ කිසිවෙකු එය නරඹා ඉන් ලබන සහනුභූතියෙන්ම පමණි..එයට තල්ලුවක් ලෙස ලෝක සිනමාවේ පූජිත ස්ව්ඩන් මහා සිනමාකරු වන ඉන්ග්මාර් බර්ග්මාන් “”සැක්‍රිෆ්‍යිස්” චිත්‍රපටය නරඹා කී ප්‍රකාශය මෙසේ සදහන් කරමි..
“තර්කොව්ස්කිගේ”සැක්‍රිෆයිස්” චිත්‍රපටය මට කිසිදා අමතක නොවන්නකි.මා චිත්‍රපට ඔස්සේ මෙතෙක් උත්සාහ කලේ දොර කවුලු වසා ඇති කාමරයක් දැක එයට ඇතුලු වන්නටය .එහෙත් මෙතෙක් මට ඒ කාමරයේ යතුර සොයා ගන්නට නොහැකි වීය.තර්කොවුස්කි ඒ කාමරයේ දොර විවෘත කර ඒ තුලට පිවිස පමණක් නොව ඒ තුල හුරු පුරුදු අයෙකු සේ නිදහසේ සැරිසරයි.”
(ඉන්ග්මාර් බර්ග්මාන් )
මව්බිමෙන් පිටුවහල් කලද ජගත් සිනමා රන් දෙවොලට දේව භාෂිතයක් වූ සිනමාවේ සකස්කඩය යළි ලියා දුන් සිනමා වනස්පතිය,
අන්ද්‍රෙ තර්කොවුස්කි සිනමා කිවිද ..
ඔබට මගේ ගෞරව ප්‍රණාම .!
-සුදත් දේවප්‍රිය-