බැසිල් රටින් පන්නා දැමිය යුතුද?

මුදල් ඇමති බැසිල් රටින් පන්නා දාන්න ඕනි. මේ සටන් පාඨය ඉස්සුවේ විමල්.

බැලූ බැල්මටම ඒක හරි ආශ්වාදනීය සටන් පාඨයක්. මේ සටන් පාඨයත් එක්ක තවත් කාරණාවක් ගැටගැහිලා තියනවා. ඒ ලංකාවේ දේශපාලනයේ රාජපක්ෂවරුන්ට තවත් අවස්ථාවක් තියෙයිද කියලයි. කවුරු හරි එහෙම ඇහුවොත් දැන් මේ රටේ අති බහුතරයක් ජනතාව කියන්නේ නෑ කියලා.

හැබැයි ඒ ප්‍රශ්නය හරියට අහනවා නං අහන්න ඕනි එහෙම නෙවෙයි. මේ රටේ දේශපාලනයේ රාජපක්ෂලාට තවත් අවස්ථාවක් දෙන්න මේ රටේ ජනතාව ලෑස්තිද කියලයි. මොකද රාජපක්ෂලා මේක ගන්නේ දෙන හින්දනේ, නැතිව එයාලට බලෙන්ම ගන්න බෑනේ. ඒක නිසා රාජපක්ෂලා එලවීම හරි තියා ගැනීම හරි කරන්න ඕනි මේ රටේ ජනතාව. එතනදී රටේ රාළ නං හැම වෙලේම තනි තනියෙන් රාජපක්ෂලාව අල්ල ගන්නේ නෑ. එහෙම ගන්න එක වැරදී. ගන්න ඕනි රාජපක්ෂලා කියන සමස්ථය. ඒකෙන් බැසිල් වෙනමම, ගෝඨාභය වෙනමම, මහින්ද වෙනමම ගන්න එකට රටේ රාළ විරුද්ධයි. එහෙම ගන්න ගියොත් මේ රටට ආයෙත් වරදිනවා. එහෙම කරන්න හදන අය හදන්නේ ආයෙත් මේ රටට වරද්දන්න. මොකද එහෙම කරන එක ඇතුළේ රාජපක්ෂලාට ආයෙත් ඉඩක් හැදෙනවා වගේම ජන මනස ඇතුළේ තවත් රාජපක්ෂලාගේ දේශපාලන නෂ්ඨාවශේෂ ඉතිරි වෙනවා.

විමල් නං කියන්නේ බැසිල් මේ රටින් පන්නලා දැම්මම ප්‍රශ්නය ඉවරයි කියලා. ගම්මන්පිලත් ඒක කියනවා. හරි දැන් බැසිල් මේ රටින් පන්නලා දැම්ම ගමන් මේ රටේ ප්‍රශ්නය ඉවරද? විමල් එහෙම කියන්නේ තවත් රාජපක්ෂ කෙනෙකුට ඉඩක් තියාගෙන. රටේ රාළ කියන්නේ විමල් කියන ඒ කතාව ඇතුළේ බැසිල්ටත් ලොකු සේවයක් වෙනවා. රටේ රාළ කියන්නේ බැසිල් කිසිසේත් මේ රටින් පැන්නිය යුතු නෑ. බැසිල්ට නෙවෙයි කිසිම රාජපක්ෂ කෙනෙකුට මේ රටින් පැනලා යන්න ඉඩ දෙන්න ඕනි නෑ. එයාලා තමන්ගේ ගමනාන්ත දැන් හදාගෙන ඉවර ඇති. ඇත්තටම ඔය හැම රාජපක්ෂ කෙනෙකුටම ඉතිහාසයේ පටන්ම තියන චෝදනාවලට නීතිය ඉස්සරහට ගේන්න ඕනි. නීතියෙන් තමයි එයාලා සිටිය යුතු තැන තීරණය කරන්න ඕනි. ඒකට ඉතින් ඉස්සෙල්ලා මේ රටේ නීතිය හරියට ස්ථාපිත කරන්න ඕනි. ඒකට රටට වැඩපිළිවෙලක් තියෙන්න ඕනි. බැසිල් විතරක් මේ ප්‍රශ්නට වැරදි නෑ කියන්න රටේ රාළ උදාහරණ ඕනි තරම් කියන්නම්.

විමල්ම කිව්වා 2010 – 2015 රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් එකේ හිටියේ රාජපක්ෂලාට තුන් දෙනයි කියලා. හැබැයි මේ පාර කැබිනට් මණ්ඩලයේ පහක් ඉන්නවා. එතකොට නාමල් එන්නේ බැසිල් දාලද? මහින්ද බැසිල්ට කියලා නාමල් දාගෙනද? එතකොට මහින්ද බබාද? ඒ වගේම ගිය පාරට වඩා වැඩි ඥාති සංග්‍රහයක් මේපාර රාජපක්ෂලා කරනවා. අගමැති යටතේ තියන ආයතන වරිග සභා කරලා තියෙන්නේ. එතකොට ඒවට ඥාති ටික දාගත්තේ මහින්ද බැසිල්ට කියලද?ඒත් මහින්ද බබාද? ඊළඟට විමල්ලා පොඩි ළමයි වගේ කියනවා ඇමරිකානු – ඉන්දියානු උපායමාර්ගය ඇතුළට මේ රට ගෙනියන්නේ බැසිල් කියලා. ඒක සම්පුර්ණ වැරදී. ඇමරිකානු – ඉන්දියානු උපායමාර්ගය ඇතුළට මේ රට ගෙනියන්නේ බැසිල්, ගෝඨාභය කියන සුසංයෝගයෙන්. රටේ රාළ අහන්නේ ඒ වෙනුවෙන් ගෝඨාභය බලයට ගේන්න මෙහෙයුමේ හිටියේ පාත්ෆයින්ඩර් සෙට් එකයි, බෝන් එගේන් සෙට් එකයි, විමල්ලයි නෙවෙයිද?

ගෝඨාභය රාජපක්ෂ ගැන එදා රොබෝටෝ බ්ලේක්ලා ඇවිත් ගුණ වැනුවේ නැද්ද?මිලින්ද මොරගොඩ ඉස්සර කරගෙනම ඡන්ද සටනට බැස්සේ ගෝඨාභය නෙවෙයිද? අද මිලින්ද ඉන්දියන් මහ කොමසාරිස් කරලා ඉන්දියන් උපාය මාර්ග ඇතුළට අපිව ගන්න අවශ්‍ය යටිතල පහසුකම් හදන්නේ ගෝඨාභය නෙවෙයිද?එතකොට ජනාධිපතිතුමත් බබාද? ඒක නිසා රාජපක්ෂලා කියන්නේ එක චේන් එකක්. මේක එකකට එකක් සම්බන්ධයි. ඒකෙන් එක පුරුකක් ගලවලා දානවා කියන්නේ අනික් පුරුක් ටික නැවත ඉපදෙනවා. ගහ ගලවන්න ඕනි එක මුල් කෑල්ලක්වත් නැතිව. මොකද අද මේ රට ඉස්සරහා මහින්ද, ගෝඨාභය, නාමල්, චමල්, ශෂීන්ද්‍ර පෙන්නන්නේ යහපත් හැසිරීමක්ද? ඒ අයට දුෂණ චෝදනා නැද්ද?ඒක නිසා රටේ රාළ කියපු අවස්ථාව විමල් ගන්නේ නෑ. රටේ රාළ කිව්වේ විමල්ට රාජපක්ෂ විරෝධයේ ප්‍රකාශකයා වෙන්න අවස්ථාව තියනවා කියලා. හැබැයි විමල් එතනින් ගන්නේ අනිත් රාජපක්ෂලා බේරලා බැසිල් විරෝධය විතරයි.

ඒ කියන්නේ විමල්ලා රාජපක්ෂලා එක්ක යන්න හැම වෙලේම තවත් ඉඩක් තියාගෙන තියෙන්නේ. නැත්තං ඔයාලා දකින්න ඇති මීට දවස් කීපයකට උඩදී සුළු පක්ෂ සන්ධානයේ පක්ෂ දහයක් ස්වාධීන වෙනවා කිව්වා. ඒ ස්ථාවරයට මොකද උනේ? විපක්ෂයට එන්න ඕනි නෑ. ස්වාධීන වෙනවා කියලනේ කිව්වේ. ඒකට මොකද උනේ. මහින්ද විමල්ගේ පිටට තට්ටුවක්වත් දැම්මාද? ඒක නිසා රටේ රාළ කියන්නේ මේ හදන්නේ ආයෙත් ජනතාවගේ ඇස්වලට වැලි ගහලා ඔක්කොම ලෙඩ බැසිල්ගේ කරපිට තියලා ආයෙත් වෙන රාජපක්ෂ කෙනෙකුට පාර කපන්න. රටේ රාළ කියන්නේ ආය රාජපක්ෂලාට පාරක් නෑ කියලා. එහෙම සුදු හුණු ගාන්න සුදුසු රාජපක්ෂලා ඔය පවුලේ නෑ. ඊළඟට බැසිල් මහින්දයි, ගෝඨාභයයි රූකඩ දෙකක් කරගෙන නං ඒ චෝදනාවම ඇති ඒ දෙන්නා ගෙදර යවන්න. මේ රටේ ජනතාව ගෝඨාභයට වගේම මහින්දට ජනවරමක් දුන්නේ කොහේවත් යන අවලස්සන ඇමරිකානුවෙකුගේ රූකඩයක් වෙන්නද?

මොන නපුන්සක දේශපාලනයක්ද ඒ. විමල් කියන්නේ සහෝදරකමට එහෙම කරනවා කියලනේ. එහෙනං මෙතන වැරදීකාරයා එහෙම කරපං කියලා ඉල්ලන කෙනාද එහෙම කරන කෙනාද? ඒක නිසා රාජපක්ෂලා බෙදලා විමල්ලා අකමැති රාජපක්ෂලා පිටින් විරෝධය යවන එක සම්පුර්ණයෙන්ම වැරදී. අද මේ වෙන සමස්ථයට වගකියන්න ඕනි රාජපක්ෂලා. විමල්ට ඒක කියන්න කොන්දක් නැති උනාට රටේ රාළට කරන්න දෙයක් නෑ. රටේ රාළ හරි කෙලින් ඒක කියනවා. මේ දැන් මේ රට විනාශයට ඇදගෙන යෑමට වගකියන්න ඕනි කවුද කියලා පිළිවෙලින් පෙල ගැහුවොත් පළවෙනියා ජනාධිපතිතුමා, දෙවෙනියා මහින්ද, තුන් වෙනියා බැසිල්. ඊට පස්සේ තව ඇච්චෝ බැච්චෝ ගොඩක් ඇති. විමල්,ගම්මන්පිලයිත් ඒකට ඇතුලත්. ඊළඟ කාරණය තමයි මෙතන තවත් කුමන්ත්‍රණයක් තියනවා. දැන් කවුරු හරි කියනවා නං බැසිල් ගෙදර යැවීමෙන් මේ ප්‍රශ්නය විසදෙනවා කියලා. එහෙමත් නැත්තං රාජපක්ෂලාට ඔක්කොම ගෙදර යැවීමෙන් මේ ප්‍රශ්නය විහිදෙනවා කියලා ඒක ආයෙත් සම්පුර්ණයෙන්ම ජනමනස අවුල් කරන වැඩක්.

රාජපක්ෂ රොත්ත බුරුත්තම එකට තියලා ගෙදර ඇරියා කියලා මේ ප්‍රශ්න දශමයක්වත් විසදෙන්නේ නෑ. ප්‍රශ්නය විසදගන්න අවස්ථාවක් විතරක් හම්බ වෙනවා. ඒ අවස්ථාවත් ආය හොරු ටිකක්ගෙන් පුරෝ ගන්නවා නං මොකද්ද මේ රටට වෙන්නේ. මේ ආණ්ඩුව ඇතුළේ හොරා කන්න තියෙන තැන නැති උනහම එළියට බැහැලා එන පල් හොරුන්ගෙන්ද ඊළඟ ආණ්ඩුව හදන්න ඕනි. ඒක නිසා මේ හදන්නේ රටට වැඩපිළිවෙලක් ඕනි කියලා හැදුණු සංවාදය යට යවලා රාජපක්ෂ විරෝධයට පමණක් ප්‍රශ්නය පටු කරන්න. දැන් ආයෙත් පහුගිය දවස්වල තිබුණ ඒ සංවාදය උඩට ගේන්න ඕනි. නැත්තං හොරු එලියට ඇවිත් වෙන හොරෙකුට ඇගිල්ල දික් කරනකොට ඔයාලට සියල්ල අමතක වෙනවා. ඒකෙන් වෙන්නේ එලියට ආපු හොරා බේරෙන එක වගේම මෙච්චර කාලයක්ද තිබුණ වැඩපිළිවෙලක සංවාදයක් යට යන එක. හොරා පෙන්නපු හොරා පස්සේ කට්ටිය දුවන එක.

අන්තිමට වෙන්නේ ආයෙත් මේ වගේම තක්කඩි රැළට බලය යන එක විතරයි. ඇත්තටම ඒක කරන්න නං ඊළඟටත් මේ රටේ ජනතාව හදන්නේ. මේ රටට දෙයියන්ගෙම පිහිටයි තමයි. මෙතනදී රටේ රාළගේ යෝජනාව විමල්ට වැඩිය වෙනස් එකක්. රටේ රාළ කියන්නේ අනිවාර්යෙන්ම රාජපක්ෂ පවුල් පාලනය පන්නන්න ඕනි. හැබැයි ඒක කරන්න ඉස්සෙල්ලා මේ රටේ විපක්ෂය ආර්ථික, දේශපාලන, සමාජීය වශයෙන් පොදු එකඟතාවයකට එන්න ඕනි. ජාතික එකඟතාවයක් හදාගන්න ඕනි. එක සම්මුතියකට එන්න ඕනි. එහෙම ඇවිත් මේ ආණ්ඩුව පන්නලා දාන්න ඕනි. ඒක ජනතාව මහ පාරට අරන් කරන්න පුළුවන් නම් එහෙම කරන්න ඕනි. ඒකට ජනතාව ලෑස්තියි. ඒ වගේම මේ රටේ ජනතා දේපල හොරකම් කරපු කිසි එකෙකුට රටින් පැනලා යන්න නොදී නීතිය ඉස්සරහට ගෙනත් ජනතාවගේ කොටස ජනතාවට ආරන් දීලා හොරකමට, මැරකමට දඩුවම් කරන්න ඕනි.

ඒක රාජපක්ෂලාටත් අදාළයි. රාජපක්ෂලාට ඇගිල්ල දික්කරන විමල්ලටත් අදාලයි. ඒත් එතෙන්ට මේ රට තල්ලු කරගන්න තවමත් විපක්ෂය ලෑස්ති නෑ. මොකද එයාලගේ කිල්ලෝටවලත් යහමින් හුණු තියන නිසා. ඒක නිසා රාජපක්ෂ රෙජීම වගේම මේ තියන විපක්ෂයත් ජනතාවට කොළේ වහනවා.

එහෙනම් ගිහින් එන්නම්

බුදු සරණයි. ජයවේවා.

මීට

රටේ රාළ.

Social Sharing
නවතම විශේෂාංග