සිංහයා දිවි රඟ මඬල හැර ගිය පුවත අසා කම්පා වීමි..!!

මහාචාර්ය සරච්ච්න්ද්‍රගේ විශිෂ්ටතම දෘශ්‍ය කාව්‍යය ලෙස සැලකෙන සිංහබාහු නාටකයේ සිංහයාගේ භූමිකාවට පණ පොවමින් ගල්ලෙන බිඳලා ලෙන් දොර හැරලා ගීතය පළමුවරට රසිකයන් අතර ජනප්‍රිය කර වූ සිංහබාහු නාටකයේ පළමු සිංහයා ලෙස 1961-1969 කාලයෙහි රඟ පෑ මාක් ඇන්ටනි ප්‍රනාන්දු දිවි සැරිය නිම කළ බව වාර්තා වේ.

ඔහුගේ අභාවය ඊයේ පෙරවරුවේ දී ලන්ඩනයේ දී සිදු වූ බව මහට පැවසූයේ මිතුරිය ස්වර්ණා මල්ලවාරච්චි ය. මාක් ගේ ඥාති දියණියක් විසින් ඒ පුවත ස්වර්ණාට සැළකළ බවයි ස්වර්ණා මහට පැවසූයේ.

1961 සැප්තැම්බරයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එළි මහන් රඟ මඬලෙහි මුල් වරට රඟ දැක්වුණු සිංහබාහු හි, මාක් ඇන්ටනි සිංහයා ලෙස රඟද්දී මාලිනී ද සිල්වා (පසුව මාලිනී රණසිංහ ) සුප්පාදේවී වූවා ය.  චාලි ජයවර්ධන හා මාලිනී පෙරේරා සිංහබාහු හා සිංහ සීවලී චරිත පණ ගැන්වූහ.1970 සිංහබාහු දෙවන නිෂ්පාදයෙහි සිංහයා වූයේ ප්‍රවීණ රංගධරයකු වූ සමන් බොකලවෙල ය. දෙවන සිංහයා මියගොස් වසර කිහිපයකි. දැන් පළමු සිංහයා ද අප හැර ගොසිනි. තුන්වන සිංහයා ලෙස ගල්ලෙන බිඳලා ගායනය යළිත්ප්‍රේක්ෂකයන්ට සමීප කළ ජයශ්‍රී චන්ද්‍රජිත් විප්‍රවාසයේ ය. මෙම සිංහයන් තිදෙනා සමග ම සුප්පාදේවී ලෙස රඟ පෑ මාලිනී රණසිංහ ද විප්‍රවාසයේ ය. ජයශ්‍රී ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ය. මාලිනී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නුවර ය.

සිංහබාහු ප්‍රථම නිෂ්පාදනයේ පුහුණුවකදී අද අප අතර නැති ඩී.බී.සුරනිමල ඡායාරූප ශිල්පියා විසින් ගන්නා ලද මෙම කළු සුදු ඡායාරූපයේ සිංහයා ලෙස රඟ පෑ මාක් ද, සිංහබාහු වූ චාලි ජයවර්ධන, සුප්පාදේවී මාලිනී රණසිංහ හා සිංහ සීවලී මාලිනී
පෙරේරා ආදීහු වෙති.

බුද්ධදාස ගලප්පත්ති

Social Sharing
නවතම විශේෂාංග