හිජාබයට සටන් වඳින මලාලා

නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි පාසලේදී හිජාබය ඇඳීමට ඇති අයිතිය වෙනුවෙන් සටන්කරන ඉන්දීය සිසුන් හය දෙනෙකුට සහය පළ කරමින් තිබේ. ඒ ඔවුන් හිජාබය පැළඳ පාසලට ඇතුලු වීමේ දී ඔවුන්ව පාසලෙන් නෙරපා දමා තිබෙන නිසාය.

මේ වන විට ඔවුන් සති ගානක් මුළුල්ලේ කර්ණාටක ප්‍රාන්තයේ විරෝධතා පවත්වමින්, එම විද්‍යාලයේ හිජාබ් තහනම් කිරීම පිළිබඳව ලෝකයේම අවධානය යොමු කරගෙන ඇත. ‘ඉන්දීය නායකයින් මුස්ලිම් කාන්තාවන් කොන් කිරීම නැවැත්විය යුතුයි’ යන්න මලාලාගේ සටන් පාඨය වී ඇත.

මේ විරෝධතා ව්‍යාපාර නිසා එරට ආගමික කණ්ඩායම් අතර ගැටුම් වර්ධනය වෙමින් පවතින බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. තවද හිජාබය තහනම් කළ එම පාසල ද මේ වන විට වසා දමා ඇත. මෙම සටන ප්‍රන්තයේ මහාධිකරණය දක්වා පැමිණ තිබේ. ඒ හිජාබය පැළඳීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ආගම ඇඳහීමේ මූලික අයිතිවාසිකමක් බව එක් සිසුවෙකු විසින් ගොනු කරන ලද පෙත්සමක් නිසාවෙනි.

එහෙත් හින්දු දැඩි මතදාරීන් හිජාබ් තහනමට සහය පල කරමින් විරෝධතා දක්වා ඇත. මේ නිසා දෙපාර්ශවය අතර ඇති වූ ගැටුම් වලින් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ප්‍රාදේශීය මාධ්‍ය පවසයි. එමෙන්ම මේ අතර, මුස්ලිම් සිසුවියන් හිජාබය පැළඳීම තහනම් කරමින් ප්‍රාන්ත අධ්‍යාපන ආයතනවල තීරණ වලංගු කිරීමේ නියෝගයක් කර්නාටක රජය පසුගිය සතියේ ප්‍රකාශ කර සිටියේ ය. ඒ “සමානාත්මතාවය, අඛණ්ඩතාව සහ මහජන නීතිය හා සාමයට බාධා කරන ඇඳුම් නොඇඳිය යුතු” ලෙස දක්වමින් ය.

කෙසේවෙතත් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය බසවරාජ් මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් ඉල්ලා සිටියේ සියලුම පාසල් වල සිසුන්ට, ගුරුවරුන්ට මෙන්ම කර්නාටක ජනතාවට ද සාමය සහ සහජීවනය පවත්වා ගනිමින් කටයුතු කරන ලෙසයි.

හේෂානි කරුණාරත්න

Social Sharing
නවතම විදෙස්