මිරිස්කුඩු කුණු බිත්තර ප්‍රහාරය පිටුපස පාර්ලිමේන්තුව

කොළඹ මහ නගර සභාවේ ශ්‍රීලනිප මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධනට එම සභාවේම මන්ත්‍රී පියා සහ දුව මිරිස්කුඩු මිශ්‍ර කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ පාර්ලිමේන්තුව ආදර්ශයට අරගෙන බව එම ප්‍රහාරයට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ අනාවරණය වී ඇත.

තම සේවාදායකයන් පාර්ලිමේන්තුවේ සිදුවූ මිරිස් කුඩු ප්‍රහාරය ආදර්ශයට අරගෙන මේ ආකාරයෙන් හැසිරී ඇති බව නාගරික මන්ත්‍රී සමන් අබේගුණවර්ධන සහ සුරේඛා අබේගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා අධිකරණයේදී ප්‍රකාශ කර ඇත.

Colombo Municipal Council Pradeep Jayewardene eggs attacked
මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන

කොළඹ මහ නගර සභාවේ පරිසර කමිටුවට සභාපතිවරයෙක් තෝරාගැනීම සඳහා පසුගිය දා ඡන්ද විමසීමක් පැවතී ඇති අතර එහිදී නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන සහ සමන් අබේගුණවර්ධන අතර තරගය පැවතී ඇත. එම තරගයෙන් සමන් අබේගුණවර්ධන පැරදීම නිසා ඇතිවුණ සිත් තැවුල නිසා පිය දුව යුවල මෙම ප්‍රහාරය එල්ලකර ඇතිබව අධිකරණයේදී කරුණු අනාවරණය වී ඇත.

මෙම ප්‍රහාරය නිසා පිය දුව දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණ අතර පසුගිය 7 දා ඔවුන් රුපියල් ලක්ෂයක් බැගින්වූ සරීර ඇපයක් මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධි සී රණගල පියවර ගෙන ඇත.

පුවත් මූලාශ්‍ර : ලංකාදීප

Social Sharing
නවතම