බැසිල් අත්හිටුවීමේ ලැයිස්තුවක් එළියට දායි

රජයේ වියදම් සීමා කිරීම සඳහා විශේෂ ‘අත්හිටුවීමේ’ ලැයිස්තුවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව විශේෂ උපදෙස් මාලාවක් මුදල් අමාත්‍යංශය සියලුම ඇමතිවරුන්ට හා අමාත්‍යාංශ ලේකම්වරුන්ට යවා ඇති අතර එමගින් අයවැය ප්‍රතිපාදන තුළින් වෙන්කර ඇති ව්‍යාපෘති හැරුණු විට වෙනත් කිසිඳු ව්‍යාපෘතියක් සඳහා මුදල් ඉල්ලීමෙන් වළකින්නැයි දැනුම් දී ඇත. මේ ගැන අද (07) කැබිනට් මණ්ඩලය දැනුවත් කරන්නට නියමිත බව ද වාර්තා වෙන අතර ඒකාබද්ධ අරමුදලින් ඉන්ධන දීමනා ගෙවනු ලබන අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත ගෙවනු ලබන ඉන්ධන දීමනාවෙන් මසකට ලීටර් 05 ක් හෝ ඒ හා සමාන මුදල් ප්‍රමාණයක් අඩු කිරීමටද මෙමගින් උපදෙස් දී තිබේ.  ඊට අමතරව විදුලිබල වියදම් සියයට 10කින් අඩු කිරිම සඳහා ක්‍රමවේද සකස් කිරිමට යෝජනා කර ඇති අතර දැනට ඉදිවෙමින් පවතින කාර්යාල ගොඩනැගිලි හා නව කාර්යාල ඉදිකිරීම අයවැය යෝජනා මගින් යෝජිත පරිදි වසර දෙකක කාලයකට අත්හිටුවා ඇත.

2022 වර්ෂය සඳහා වාහන මිලදී ගැනීම අත්හිටුවා ඇති අතර අදාළ රාජ්‍ය ආයතනයේ මනා පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය තනතුරුවල පුප්පාඩු පිරවීම සඳහා හැර ඒකාබද්ධ අරමුදලින් වියදම් දරන්නට වන නව කාර්යමණ්ඩල බඳවා ගැනීම අත්හිටුවා ඇත. නව ගොඩනැගිලි කුලියට ගැනීම අත්හිටුවා ඇති අතර දේශීය අරමුදල් භාවිත කරමින් විදේශ අධ්‍යන චාරිකා, දේශීය අරමුදල් මගින් වියදම් දරමින් සම්මන්ත්‍රණ හා වැඩමුළු සඳහා නිලධාරින් සහභාගී කිරීමද අත්හිටවූ ලැයිස්තුවට අන්තර්ගතය.

Social Sharing
නවතම පුවත්