කොවිඩ් දෙවන රැල්ලෙන් නැගෙනහිර නිරෝධායන මධ්‍යස්ථාන අර්බුදයක – නැගෙනහිර ආඥාපති කියයි!

නැගෙනහිර ආරක්ෂකසේනා ආඥා බලප්‍රදේශයට අයත් ප්‍රදේශය තුළ පවතින නිරෝධායන මධ්‍යස්ථාන 14 ම මේ වන විට නිරෝධායනයට ලක්කරන පුද්ගලයින්ගෙන් පිරී පවතින බැවින් ඉතාම කඩිනමින් තවත් 500ක් වත් නිරෝධායනය කළ හැකි මධ්‍යස්ථාන කිහිපයක් සූදානම් කළ යුතු යැයි නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් සෙනරත් බණ්ඩාර මහතා පවසයි.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිවරයා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ.ධර්මසිරි මහතා සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) සවස පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති පොලොන්නරුව දිස්ත්‍රික් කොරෝනා මර්දන මෙහෙයුම් කමිරු ‍රැස්වීමේ දී ය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිවරයා මෙසේ ද කීය.

“නිරෝධායන බධ්‍යස්ථාන 14ක් නැගෙනහිර ආරක්ෂක සේනා බලප්‍රදේශය තුළ ක්‍රියාත්මක වෙනවා. මෙහි 2000කට වැඩි පිරිසක් නිරෝධායනය වෙමින් සිටිනවා. කොරෝනා මර්දන කාර්ය සාධන බලකායේ අණදෙන්නා වන යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා විශේෂයෙන් ම මතක් කළා ඇයි කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය ඇයි රෝහලක් බවට පත් කළේ කියන එක ගැන මාධ්‍යවල විවිධ මත පළවී තිබුණා. ඇයි කන්දකාඩු රෝහලකට අවශ්‍ය පහසුකම් නොමැතිව රෝහලක් බවට පත් කරන්න සිද්ධ වුණේ කියන එක ගැන කීවොත් පුනරුත්ථාපනයවන ‍රැදවියන් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච වයස අවුරුදු 20ත්, 40 ත් අතර වැඩි පිරිසක් මෙතන ඉන්නේ 473 දෙනෙකුට වැඩි පිරිසක් මෙතන පුනරුත්ථාපනය වෙමින් සිටියේ. එතනින් වැඩි පිරිසක් ආසාධනය වූ නිසා අපේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළා. ඔවුන් ව පාළනය කරන්න ටිකක් අමාරුයි. මම හිතන්නේ ඒ පිරිස සාමාන්‍ය රෝහලකට වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කළොත් පාළන අපහසුතාවක් තියෙනවා. දැනට යුධ හමුදාව යටතේ ඔවුන් ව ආරක්ෂා කරගෙන ඔවුන්ට නිරන්තරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් කතා කරමින් අපේ පිරිස් ඔවුන් සමග සම්බන්ධ නොවී තියාගෙන බොහොම අමාරුවෙන් තමයි ඔවුන් ව නඩත්තු කරගන්නේ. මේ හේතුව තමයි රෝහලක් බවට පරිවර්ථනය කරන්න හේතුව. මේ පිළිබදව සෞඛ්‍ය අංශ හොදින් දන්නවා. අපි දැනට වෛද්‍යවරුන් හා අපේ යුධ හමුදා වෛද්‍ය බලකාය හෙද හෙදියන් එක්ක මේ තත්ත්වය ඉතාම  හොදින් කළමනාකරණය කරගෙන යනවා. ඒ සදහා විශාල කැප කිරීමක් කරනවා. දැන් අපි ගත්තොත් හිගුරක්ගොඩ ප්‍රදේශයේ ඥාතින් පිරිසක් ඉන්නවා ආසාධනයට ලක් වූවන්ගේ ළගම ඥාතීන් ස්වයං නිරෝධායනයකට ලක් කරලා තියෙනවා. එතැනින් හෝ කිහිප දෙනෙක් එකවරම මතු වුණොත් අලුත් පොකුරක් ලෙස අපට ඒ අය යොමු කරන්න නිරෝධායන මධ්‍යස්ථාන නෑ. රෝහල්තුළත් එහෙම විශාල පිරිසක් රදවලා ප්‍රතිකාර කරන්න පහසුකම් නෑ. ඒ නිසා තවත් 500ක් වත් යොමු කළ හැකි නිරෝධායනයට යොදා ගන්න පුළුවන් ස්ථාන කිහිපයක් ඕන. වැසිකිලි පහසුකම් ජල පහසුකම් විදුලිය පහසුකම් ආදි පහසුකම් තියෙන තැනක් වෙන්න ඕන. එහෙම තැන් කිහිපයක් හදුනාගෙන තියෙනවා. දැනටම ඉදිකරලා භාර දීමට නියමිත නිවාස සංකීර්ණයක් තියෙනවා. ඔබතුමා ප්‍රකාශ කළේ එක තදාසන්න මිනිසුන් ගැවසෙන ප්‍රදේශයක් කියලා. වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ඒක ලබා දෙන්න පුළුවන් ද නැතිනම් වෙනත් ස්ථාන මේ සදහා සුදානම් කරන්න ඕන ද කියලා අපට කඩිනමින් දෙන්න කියලා ඉල්ලිමක් කරනවා. අවම වශයෙන් 500ක් දෙනා නිරෝධායනයට යොමු කරන්න පුළුවන් මධ්‍යස්ථාන හදන්න ඕන. දැනට මගේ යටතේ තියෙන නිරෝධායන මධ්‍යස්ථාන 14 ම සම්පූර්ණයි.”

මෙහි දී මහ දිසාපති ඩබ් . ඒ ධර්මසිරි මහතා ආණ්ඩුකාර මහීපාල හේරත්, පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙකුම අදහස් දැක්වූහ.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Social Sharing
නවතම