ඒ ජෙට්ටෙකේ ගියේ මහින්දමද?

පසුගිය දෙසැම්බර් 23 දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එතුමාගේ ප්‍රිය බිරිඳ, අභ්‍යාවකාශ ඉංජිනේරුවෙක් බව කියන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ඇතුළු කණ්ඩායමක් ඉන්දියාවට ගියේ සුප්‍රකට තිරුපති දෙවොල වැඳගෙන එන්න. මේ වෙනකොට මේ ගමන විශාල කතාබහකට අවකාශය හදලා, ඒකට හේතුව මේ ගමන වෙනදා යන ආකාරයේ ගමනක් නොවුණ එක. වෙනදානම් සාමාන්‍යයෙන් මේ වගේ ගමනක් යන්නේ ශ්‍රී ලංකන් එයාර් යානයකින්. ඒත් මෙදා පාර මහින්ද රාජපක්ෂ ඇතුලු සේනාව තිරුපති වදින්න යන්නේ නිල් කුරුල්ලෙක් වගේ (ටී7- ජේ එස් ඩී) ජෙට් යානයක. මේක දැනගන්නට තියෙන විදිහට සැන්මරීනෝවල ලියාපදිංචි කරපු ජෙට් යානයක්. මේ යානය පසුගිය දෙසැම්බර් 16 දා රත්මලාන ගුවන්තොටුපළට පියාඹන්නේ උගන්ඩාවේ කම්පාලා අගනුවර ඉඳලා. 23 ඉන්දියාවේ තිරුපති යන මේ පුද්ගලික ජෙට් යානය නැවත 24 ලංකාවට එනවා.

විනිමය අර්බූදය සහ රාජපක්ෂ සෙල්ලම්

ලංකා රාජ්‍ය විශාල විදෙස් විනිමය අර්බූදයක ගිලිලා රට බංකොළොත් වෙන්න ඔන්න මෙන්න ඉන්න කොට මේ ගිය ගුවන් ගමන ගැන විශාල කතාබහක් ඇතිවුණා. මේ ගැන මුලින්ම හඬ අවධි කරපු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ ප්‍රශ්න කළේ – ‘රටේ මිනිසුන්ට වාහන වෙනුවට පයින් යෑම සඳහා යෝජනා කරද්දී, තුන්වේල වෙනුවට දේවෙලක් කන්න යෝජනා කරද්දී, පුද්ගලික සංචාරයක් සඳහා අගමැතිවරයා මෙපමණ මුදලක් ඩොලර්වලින් වියදම් කරන්නේ කොහොමද?’

මේක පුද්ගලික ගුවන් යානයක් නම් මේ ගුවන් යානය උගන්ඩාවේ ඉඳලා තිරුපති යන්නම ගෙන්වා ගත්තානම් මේ ප්‍රශ්න කිරීම බොහොම සාධාරණයි. ඒ මොකද රුපියල් අච්චු ගහලා මේ වගේ ජෙට් එකක හයර් එකක් ගෙවන්න හැකියාවක් නැහැ. මේගැන පැහැදිලි කිරීමක් කරන අග්‍රාමාත්‍ය කාර්‍යාලය කියන්නේ මේ ගමනේ වියදම සම්පූර්ණයෙන්ම දැරුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා තමන්ගේ පුද්ගලික වියදමෙන් බව. ඒක ඇත්ත නම් ඒ ගණන් වාර්තා සමග අදාළ තොරතුරු රටට හෙළි කිරීම මේ වෙලාවේ ඉතාමත් වැදගත්. ( පුබුදුගේ කතාව මෙතනින් : https://theleader.lk/cyber-window/9623-2021-12-27-07-28-12 )

සැන් මැරීනෝ

රිපබ්ලික් ඔෆ් සැන් මැරිනෝ ගැන අපි නොදන්න කෙනෙක් නැහැ. කළු සල්ලි සුදු කරන්න පුලුවන් එවැනි තැන් ලෝකයේ ඕනෑ තරම් තියෙනවා. සමහර වෙලාවට අපේ ෆෝට් සිටියත් එවැනි තැනක් විදිහට දියුණු වෙන්න පුලුවන් ඉදිරි කාලයේ. මේ යානය සැන් මැරිනෝ ලියාපදිංචි කරපු යානයක් උන පළියට අපි කවුරුවත් මේ යානය මහින්ද මහත්තයාගේ පවුලට අයත් එකක් කියලා කියන්නෙ නෑ. 1994 ඡන්දය කරපු හැටි, එතුමා මේ රටේ කම්කරු ඇමතිතුමා වෙනකොට එතුමාගේ ආර්ථිකයේ දිගපළල දන්න අපි, කවදාවත් විශ්වාස කරන්නෙ නැහැ එතුමාට මේවගේ ජෙට් යානා තියෙනවා කීවත්.. ඒත් මෙවැනි ප්‍රශ්නයක් උද්ගත වුණාම රාජ්‍ය නායකයෝ තමන්ගේ සුපිරිසිදුකම පෙන්වන්න ඉක්මන් වෙන්න ඕනෑ. විශේෂයෙන් රට කරවටක් ආර්ථික අර්බූදයක ගිලිලා ඉන්න මේවගේ මොහොතක ඒක ඉතාමත් වැදගත්. වාටියේ පොහොට්ටුවට ඡන්දය දුන් දුප්පතුන් දැන් දවසට කන්නේ එක වේලයි. එහෙම තත්ත්වයක් උඩ මේවා දකිනකොට ඌරු ජුවල් යෑම අසාධාරණ නැහැ.

සුවිශාල මුදල කාගෙද?

මේක මහින්ද රාජපක්ෂ මහත්තයා සිය පුද්ගලික වියදමෙන් ගියත් ඒ ගිය ගාන කීයද ඒ ගාන සොයාගත්තේ කොහොමද කියලා රට වැස්සාට අහන්න පරම අයිතියක් තියෙනවා. ඒ පරම අයිතිය ගොඩක් මාධ්‍ය පාවිච්චි කරලා තියෙනවාත් අපි දැක්කා. ඉතිං දැන් පිළිතුරු දීම රජය සතු වැඩක්.

‘අගමැතිවරයා දෙවියො ඇදහීම අපිට ප්‍රශ්නයක් නොවෙයි. ඔහු සාමාන්‍ය ගුවන් ගමනක් නොගිහින් ඉතාම මිල අධික පුද්ගලික ගුවන් යානයක් භාවිත කළේ ඇයි?  ඒ සුවිශාල මුදල ඔහු වැය කරන්නෙ ඔහුගෙ පුද්ගලික මුදලින් ද?  පුද්ගලික මුදලින් වැය කරන්න ඔහු ඩොලර් උපයාගෙන තියනව ද? සමහර ව්‍යාපාරිකයෝ පුද්ගලික ජෙට් යානා පාවිච්චි කරනවා. ඔවුන් වැය කරන්නෙ ඔවුන් උපයා ගත්තු ඩොලර්. අගමැතිවරයාට පඩි ගෙවන්නෙ ඩොලර්වලින් නොවෙයි. රුපියල්වලින්. එහෙනම් අගමැතිවරයා පාවිච්චි කරන්නෙ මොන ඩොලර් ද?’

මේක තමයි පුබුදු අහන වැදගත් ප්‍රශ්නය. අපිටත් අහන්න තියෙන්නේ මේකම තමයි. මේ ගිය වියදම කීයද? ඒක වියදම් කළේ කොහෙන් හම්බ කරපු සල්ලිවලින්ද? එහෙම නැත්තං කවුරු හරි ධනවතෙක් මේ සල්ලි ටික වියදම් කළාද? මේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනවානම් එතන විනිවිද පෙනෙන සුළු පාලනයක් තියෙනවා කියලා කියන්න පුලුවන්.

ගිය මිල

අපි මෙහෙම මේ ගමනට කොපමන වියදමක් ගියාද කියලා හිතනකොට කල්පනා කරනකොට ‘සටහන්’ කියන බ්ලොග් අඩවියට ඒ ගැන ලියන තරිඳු උඩුවරගෙදර මෙහෙම ලියනවා :

‘සාමාන්‍යයෙන් මේ වගේ යානයක් හයර් කරනවා නම්, පැයට ඩොලර් 6,700ක් පමණ වන බව පැරමවුන්ට් බිස්නස් ජෙට්ස් වෙබ් අඩවියේ සඳහන් වෙනවා. පැයක් වෙනුවෙන් වැය වෙන මුදල අපේ මාසික පඩියට වැඩියි. ඒ කියන්නේ රුපියල් මිලියන 1.3ක් විතර. ඒ අනුව මහින්දට පැය 24ක් සඳහා මේක වෙන් කරගන්න පෞද්ගලිකව සල්ලි වියදම් කළා නම් ඩොලර් 160,800ක් කොහෙන්ද? ඒ කියන්නේ රුපියල් මිලියන 32.6ක් විතර කොයින්ද?’  මේ ලිපියේ ඉතිරිය මෙතනින් බලන්න පුලුවන් : https://satahan.blog/2021/12/27/mahindaaircraft12-27/

රාජ්‍ය නායකයින්ට මෙහෙම ගමන් යන්න පුලුවන්, ඒකේ අවුලක් නෑ, ඒ වගේම ඒ රාජ්‍යයේ පුරවැසියාට මේ ගැන අහන්න අයිතියක් තියෙනවා. එහෙම ඇහුවාම පුරවැසියාට උත්තර දෙන එක ප්‍රජාතන්ත්‍රවාදී පලනයක මූලික ගුණයක්. කෙනෙක් තර්කයක් කරන්න පුලුවන් දෙවතාවක් ජනාධිපති වුණ මනුස්සයාට ජෙට් එකක් හයර් එකට අරගෙන තිරුපති යන්න බැරිද කියලා. බැරි නෑ පුලුවන් හැබැයි ඔහු කියන්න ඕනෑ ජනාධිපති පුටුවේ ඉන්නකොට ගත්ත පඩිය කොහොමද මේ තරම් විශාල මුදලක් වියදම් කරන්න පුලුවන් මට්ටමට ප්‍රවර්ධනය කරගත්තේ කියලා. අපි විමල් වීරවංශ අමාත්‍යවරයාගෙන් අහනවා කෝච්චියේ හොරාට කොළඹ ආපු ඔයා කොහොමද ඔච්චර විශාල මාළිගාවක් හැදුවේ කියලා. ඒ ප්‍රශ්නය අති සාමාන්‍ය ප්‍රශ්නයක් මට හිතෙන්නේ. ඒ නිසා මේ ජෙටෙකේ ගිය ගමන ගැනත් ඇත්තම කතාව රටට හෙළි කිරීම පාලකයන්ගේ යුතුකම. ඒක එහෙම නොවෙනවා නම් රාජ්‍ය මැදිහත්වෙලා ඒ ගැන සෙවිය යුතුයි.

කේ. සංජීව

Social Sharing
නවතම