වින්දිතයා නැවතත් වින්දිතකරණය නොකළ යුතුයි!

Child abuse and media Ethics Deepanjalie Abeywardana

(ළමා අපයෝජන සහ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව මාධ්‍ය පිළිබඳව පර්‍යේෂිකාවක් වන දීපාංජලී අබේවර්ධන දැක්වූ අදහස්)

ළමා එහෙම නැත්නම් බාලවයස්කරුවන් සම්බන්ධ අපරාධයන් වාර්තාකරණයේ යෙදෙද්දී මාධ්‍ය මොනවගේ වාර්තාකරණයකද යෙදිය යුක්තේ කියන කරුණ කාරණා තුනක් හරහා අපට දකින්න පුළුවන්. බහුතරයක් මාධ්‍ය බාලවයස්කරුවන් සම්බන්ධ ලිංගික අපරාධ වාර්තාකරණයේදී ගොඩක් වෙලාවට (sensationalism) භාවාතිශමය ආකාරයෙන් වාර්තාකරණයේ නියැලෙනවා. 2016 සිට අපි ‘එතික්ස් අයි’ (Ethics Eye) කියන පිටුවක් කරගෙන යනවා. එයින් කරන්නේ මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කිරීම සම්බන්ධව කතා කිරීම. ඒ ගැන යම් හඬක් ඇති කිරීම. එතැනින් අපට මතුවුන උදාහරණ කිහිපයක් මම බෙදා ගත්තොතින් එකක් තමයි – “ඥාති මල්ලිව නිවසටම ගෙන්වා ගෙන 18 අක්කා පෙන් වූ සෙනෙහස” මේ බාල වයස්කරුවන් සම්බන්ධ ලිංගික අපයෝජනයක් සම්බන්ධව තියෙන සිරස්තලක්. මේ සිරස නිසා මේ අපරාධය ගැන අවධානය අඩුවෙනවා. ඒකට හේතුව මේක භාවාතිශ්‍ය විඳිහට තමයි ලියවෙලා තිබෙන්නේ. මෙවැනි අපරාධ රසකරලා සමාජයට අරගෙන යාම මගින් මොනාද සමාජයට වෙන්න පුලුවන්? අපි මාධ්‍යකරුවන් විඳිහට ඒ ගැන සිතිය යුතුයි.

Deepanjalie Abeywardana

පර්‍යේෂිකා දීපාංජලී අබේවර්ධන

“අන්තර්ජාලයෙන් සිසුවියන් සූම් කරන්න ගිය අනංගයා දැලේ” මේකත් එවැනිම සිරස්තලයක්. බාලවයස්කරුවෙක් සම්බන්ධ ලිංගික අපරාධයක් ගැන තමයි මෙහෙම ලියලා තියෙන්නේ. පිපී විකසිත වෙන්නට ගිය මල් කැකුළු තළා විනාශ කළා වගේ සිරස්තලත් අපි දකිනවා බාලවයස්කාරයන් සම්බන්ධ අපරාධ වාර්තා කිරීමේදී. බාලවයස්කාරයන් මේ වගේ විනාශකාරී අපරාධයකට ලක් උනාට පස්සේ ඔවුන් දිහා අපි බලන විදිහ, ඒ බලන කෝණය නිසා ඔවුන්ව සමාජයේ කොන් වන ආකාරය ගැන අපි අමුතුවෙන් කියන්න ඕන නැහැ. නැවතත් මෙය මාධ්‍ය වාර්තාකරණය තුළිනුත් මේ ආකාරයෙන්ම සිදුවෙනවා නම් ඒක එක්තරා ආකාරයකින් ඩබල් වික්ටිමයිසේෂන් එකක්. එහෙමත් නැතිනම් නැවතත් වින්දිතයා වින්දිතකරණය වීමක් තමයි එතන සිද්ධවෙන්නේ. එනිසා එවැනි මාධ්‍ය වාර්තාකරණයක් අපි පිටුදැකිය යුතුයි. යම් කිසි කෙනෙක්ට කියන්න පුලුවන්, භාවාතිශ්මය ආකාරයට වාර්තා කිරීම කරලා ඒ අදාළ ගැටලුව සම්බන්ධයෙන් යම් හඬක්, යම් අවධානයක් යොමු කරන්න පුළුවන් කියලා. නමුත් අපිට පේන්නෙ නැහැ එහෙම අවධානයක් යොමු වෙනවා. එය ඉතාමත් සිල්ලර ගණයේ සාකච්ඡාවකට මඟ පෙන්වන බවක් තමයි අපට නම් පෙන්නේ.

බාලවයස්කරුවන් සම්බන්ධ ලිංගික අපරාධ ගැන කතා කරද්දී මතුවෙන දෙවැනි කාරණාව තමයි සෙක්ස්ෂුවලයිසේශන් (sexualization). සෙක්ස්ෂුවලයිසේශන් එහෙමත් නැතිනම් ලිංගික භාණ්ඩ ලෙස සලකනවා කියන එක අපට පැති ගණනාවකින් කතා කරන්න පුළුවන්. මේ ගැන විවිධ ආකාරයෙන් පලවෙච්ච පර්යේෂණ තියෙනවා. උදාහරණයක් විදියට ගොඩක් වෙලාවට රියැලිටි ටීවි ප්‍රෝග්‍රෑම්වල ළමයි කොහොමද වැඩිහිටියන් අනුකරණය කරන විදිහ, වැඩිහිටියන් විදිහට රඟ දක්වන විදිහ, ලිංගික ආකර්ෂණයන් ඇතිවන ආකාරයට කටයුතු කරන ආකාරය පිළිබඳව විශාල විවේචන තිබෙනවා. ඒ සඳහා බොහෝ සමීක්ෂණ කරලා තියෙනවා. නමුත් මෙතැන මම අදහස් කරන්නේ ඒ වගේ තැනක් නෙමෙයි. ඒකත් අදාළ වෙනවා පැහැදිලිවම. නමුත් මෙතන සෙක්ස්ෂුවලයිසේශන් කියලා මම මතු කරන්න කැමති කාරණාව තමයි ලිංගික අපරාධයකට බදුන් වෙච්ච, යම් අපයෝජනයකට ලක්වුණ බාලවයස්කරුවන් ලිංගික භාණ්ඩ විදියට සැලකීම. දැන් ගොඩක් වෙලාවට මේ වගේ අතවරයට බඳුන්වන දැරියන්ව මෙන්න මෙහෙම හඳුන්වනවා අපි දැකලා තිබෙනවා. ඇයට විශේෂයෙන් පන්තියේ අනෙක් සෙසු ළමයින්ට වඩා කැපී පෙනෙන ලස්සනක් තිබුණා, ඇයට කැපී පෙනෙන ආකාරයේ ශරීරයක් තිබුණා, රූපයක් තිබුණා, එහෙම නැතිනම් ඇයගේ ඉන ළඟට කොණ්ඩය තිබුණා, එහෙම නැතිනම් ඇයගේ පන්තියේ සිසු සිසුවියන් එක ඇයව සංසන්ඳනය කරපුවාම ඇයට ඇත්තටම ඇයගේ වයසට වඩා මුහුකුරා ගිය පෙනුමක් තිබුණා වගේ දේවල්.

මේ වගේ වාර්තාකරණයන් තුළින් නැවතත් සෙක්ෂුවලයිස් (sexualize) කිරීමක්, නැවතත් ලිංගික භාණ්ඩයක් විදියට භාවිතා කිරීමක් වෙනවා. එහි නැවතත් බාලවයස්කරුවන් සම්බන්ධයෙන් ලිංගික අපරාධයක් ගැන කතා කරනවට වඩා එතැනින් එහා ගිහින් මෙය සෙක්ස් ඔබ්ජෙක්ට්ස් (sex objects) එහෙම නැතිනම් මොවුන් ලිංගික භාණ්ඩ ලෙස සැලකීම තමයි ඒ ආකාර වාර්තා කිරීම් තුළින් සිද්ධ වෙන්නේ. එහෙමත් නැතිනම් ඒ බාලවයස් කාරයන් සහ ලිංගික අපරාධයන් සම්බන්ධයෙන් තියෙන සාකච්ඡාව වෙනුවට එයට වෙනම මුහුණුවරක් මේ වාර්තාකරණය හරහා ලැබෙනවා.

තුන්වෙනුව ප්‍රර්වර්ශන් සහ සිම්ප්ලිෆිකේශන් (simplification) කියන දෙකම ගැන එකට කතා කරන්න මම කැමතියි. එකක් මේ වගේ සිදුවීම් ඉතාම විකෘති ආකාරයට සඳහන් වෙනවා විතරක් නෙමෙයි මේවා බොහොම සරල ලෙස විස්තර කරන ආකාරයකුත් තියෙනවා. උදාහරණයක් විදියට මේ තියෙන්නෙ අපි ‘එතික්ස් අයි’ ඔස්සේ කතා කරපු සිරස්තල කිහිපයක්. ඔන්ලයින් පෙම්ලයින් වී සිසුවිය ගැබිණියක් වෙලා, බාලවයස්කාර දැරිවිය තරුණයන් ගෙන්වාගෙන අනඟ රැඟුම් පාලා, පාසල් සිසුවිය කාගෙත් සුන්දරිය වෙලා, පෙම්වතා සමග දවස් හතක් කම් සැප විඳලා. මේ අවුරුදු 12, 13 බාලවයස්කාර දරුවන් සම්බන්ධව තියෙන වාර්තාකරණයන්. මේ වාර්තාකරණයේ දී අපි දකිනවා ලිංගිකමය හැඟීමක් සමග එය යම් ආකාරයක බොහොම විකෘති ආකාරයකින් දක්වනවා. ඒ විතරක් නෙමෙයි, ඒක බොහොම සරල සාමාන්‍ය සිදුවීමක් විදිහට භාවාතිශ්මය ආකාරයෙන් වාර්තාකරණය කරනවා. මේ නිසා අපරාධය ගැන අවධානය යොමුවිය යුතු තැනට නැතුව පැහැදිලිවම අවධානය වෙනතකට යෑමක් මේ වාර්තාකරණය හරහා සිද්ධ කරනවා. ඒක මේ අපරාධ පිටුදැකීමේදී විශාල ප්‍රශ්නයක්.

අන්තිම කාරණාව තමයි මම කැමැති කෙටියෙන් කතා කරන්න ප්‍රවසි ඉන්වේශන් (privacy invasion) එහෙම නැතිනම් පෞද්ගලිකත්වය කියන කාරණාව. බාල වයස්කාරයෙක් විදිහට විතරක් නෙමේ වැඩිහිටියකු වුණත් පෞද්ගලිකත්වයට අපි ගරු කරලා, වාර්තාකරණය කරන්න ඕනේ. නමුත් ගොඩක් වෙලාවට අපි දකිනවා, උදාහරණයක් විදියට ව්‍යාභිචාර (incest) වගේ දේවල් වාර්තා කරද්දී, ඒ වැඩිහිටියා සහ එම බාලවයස්කාරයා අතර තිබෙන ඥාතීත්වය සඳහන් කරන එක ප්‍රවේශමෙන් කරන්න ඕන. මොකද එහෙම කිරීම තුළින් සමහර වෙලාට බාල වයස්කාරයාගේ අනන්‍යතාව හෙළි විය හැකියි. අපි ගොඩක් වෙලාවට දකිනවා බාලවයස්කරුගේ අනන්‍යතාවය සඟවනවා, හැබැයි ඒ අපරාධය කළා කියන පුද්ගලයාගේ සියලුම තොරතුරු නම ලිපිනය ඔක්කොම සඳහන් කරනවා. එතකොට හරි ලේසියෙන් අර ඥාතිත්වය එක්ක ඊට බඳුන් වූ දරුවාගේ තොරතුරු සොයාගන්න පුලුවන්. ඒ හරහා පෞද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම අහිමි වී යනවා. ඉතින් මේ සියලුම කාරණා වලින් මතුවෙන එකක් තමයි මාධ්‍ය ආචාර ධර්මයන් වල තිබෙන වැදගත්කම. මාධ්‍ය ආචාර ධර්මවල මූලිකම පරමාර්ථය තමයි පුළුවන් තරම් හානිය අවම කරගැනීම (minimizing damage).

නමුත් දැන් බොහෝ විට වාර්තාකරණයන් හරහා සිදුවෙන්නේ බාලවයස්කරුවන්ව නැවතත් වින්දිතයන් බවට පත්වීමයි. ඒක නිසාම තමයි මාධ්‍ය ආචාර ධර්ම වලින් ඒක වළක්වන්න හදන්නේ. මම හිතන්නේ බාලවයස්කරුවන් සම්බන්ධව වාර්තාකරණයන් කරද්දී මීට වඩා අපි ගොඩක් සැලකිලිමත් වෙලා ඒ තියෙන ආචාර ධර්මවලට අනුකූලව කටයුතු කළ යුතුයි. එයින් සිදුවිය හැකි හානිය අපට විශාල වශයෙන් අවම කරගන්න පුළුවන්.

ඒ හා බැඳි පුවත් පහතින්…👇👇👇

https://www.aithiya.lk/wp-admin/post.php?post=12628&action=edit

https://www.aithiya.lk/wp-admin/post.php?post=11841&action=edit

https://www.aithiya.lk/wp-admin/post.php?post=10037&action=edit

https://www.aithiya.lk/wp-admin/post.php?post=8027&action=edit

https://www.aithiya.lk/wp-admin/post.php?post=4825&action=edit

Social Sharing

Related posts