සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු නීතිය ඉදිරියට කැඳවයි!

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු විය යුතු බවට මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වූ තරුණයෙක්ව අද (24) දින  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  බුද්ධි ඒකකයට කැඳවා ඇත.

මෙසේ කැඳවා ඇත්තේ ගාල්ල, හිනිදුම පදිංචි පෝංගිලිය ගමගේ ශෙහාන් මාලක නම් තරුණ සමාජ ක්‍රියාකාරුවය.

ඔහු පහුගිය 08-17 දා  මාධ්‍ය හමුවකදී කියා සිටියේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිටුපස දේශපාලන සම්බන්ධයක් ඇති බවත් මේ  ගැන ආණ්ඩුව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්ය.

එමෙන්ම ආණ්ඩුවේ  බුද්ධි අංශ වෙතින් වැටුප් ලබාගත් පිරිසක්, පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධවී ඇති බව කෙහෙලිය රඹුක්වැල්ල ඇමැතිවරයා, අගමැතිවරයා පිළිගෙන ඇති බවද ඔහු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කීයා තිබුණි.  මෙය ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට කළ කුමන්ත‍්‍රණයක් යැයි පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ කොමිසම් වාර්තාවේ සදහන්ව ඇති බවද ප්‍රකාශ කර තිබුණි.

එසේම 2009 සිට 2015 කාලය තුළදී අන්තවාදී කණ්ඩායම් වර්ධනය වී ඇති බව පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ දැක්වෙන බවද ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් කියා තිබුණි.

මේ සම්බන්ධව විමසිම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  බුද්ධි අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කැලුම් කරුණාරත්න විසින් මෙම තරුණයාට 08-23 දින පස්වරු 4.00 ට එම බුද්ධි ඒකකය හමුවේ  පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම්දී ඇත.

නමුත් එදිනට ඔහුට පැමිණිය නොහැකි බව ශෙහාන්ගේ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා විසින් දන්වා ඇති අතර ඒ් වෙනුවට අද (24) දින පෙරවරු 9.00 ට පැමිණෙන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

මේ අතර කළුබෝවිල රෝහලේ යැයි පවසා කොවිඩ් රෝගය නිසා රෝහලේ වාට්ටුවල මියයන පුද්ගලයින්ගේ සිරුරු තැනින් තැන දමා තිබෙන බව සඳහන් ව්‍යාජ ඡායාරූපයක් මුහුණු පොතේ දැමු බවට චෝදනා කර තවත් පුද්ගලයෙකුවද ඊයේ (23) දින පොලිස් පරිගණක අපරාධ විමර්ශණ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි.

එසේ අත්අඩංගුවට පත්ව තිබුණේ නුගේගොඩ පදිංචි නුවන් සාරංග පරණහේවා නම් 36 හැවිරිදි පුද්ගලයෙකුවය.

මළමිනී ගොඩ ගැසෙන්න පටන් අරන් අපට සරණක් නැද්ද? යන්න හෙඩිමෙන් යුක්තව කලුබෝවිල රෝහලේ මිනි ගොඩ ගසා තිබෙන අයුරු යැයි සඳහන් කරමින් ඔහු විදේශ ඡායාරූපයක් ව්‍යාජ ලෙස සකසා සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවට පොලිසිය මොහුට චෝදනා එල්ල කර අත්අඩංගුවට ගෙන තිබුණි.

ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ හා පරිගණඛ අපරාධ පනත යටතේ මොහුට චෝදනා ගොනු කර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇපමත මුදා හැර ඇත.

මීට පෙරද මුහුණු පොතේ හා මාධ්‍ය හමු වල අදහස් දැක් වු සමාජ ක්‍රියාකාරීන් රැසක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබු අතර සමහර අයව අත්අඩංගුවටද ගෙන තිබුණි. මෙය ආණ්ඩුව විවේචනය කරන පුද්ගලයින් දඩයම් කිරිමක් ලෙස සිවිල් සංවිධාන පෙන්වා දෙන අතර මාධ්‍ය සංවිධාන එකතුව විසින් මේ පිලිබඳ වහා අවධානය යොමු කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාටද ලිඛිතව දන්වා තිබුණි.

ශානි

 

Social Sharing
නවතම