නැගෙනහිර මාධ්‍යවේදියෙකුට පොලිසියෙන් බාධා!

මළවුන්ගේ අනුස්මරණයක් වාර්තා කිරීම පදනම් කරගනිමින් ප්‍රශ්න කිරීම සඳහා දිගින් දිගටම පොලීසියට කැදවීම නිසා  නැගෙනහිර  පළාතේ දෙමළ මාධ්‍යවේදියෙක් හිරිහැරයට පත්ව සිටින බව වාර්තා වේ.

මෙසේ හිරිහැරයට පත්ව සිටින්නේ මාධ්‍යවේදී පුන්‍යමුර්ති සසිකරන්ය.

මාස දෙකක් තුළ දෙවැනි වතාවටත් අගෝස්තු මස 23 වැනි සඳුදා දිනයේද මාධ්‍යවේදී පුන්‍යමුර්ති සසිකරන් මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ ස්ථාපිත කර තිබෙන විශේෂ අපරාධ විමර්ශන ඒකකයකට කැඳවා  තිබුනි.

පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසු ඔහු ප්‍රදේශයේ මාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ මේ වසර මුලදී මහසයුරේ මරණයට පත්වූ ඉන්දීය ධීවර පිරිසක් අනුස්මරණය කිරීමේ අවස්ථාව වාර්තා කිරීමට  මාධ්‍යවේදියකු ලෙස සහභාගි වූ තමන් එය සංවිධානය කළ බව තහවුරු කිරීම අරමුණු කරගෙන විමර්ශන කෙරෙමින් පවතින බවයි.

එම විමර්ශන කටයුතු සදහා පොලීසියට කොළඹීන් උපදෙස් ලැබී තිබෙන බව මාධ්‍යවේදියාට විශේෂ අපරාධ විමර්ශන ඒකකයේදී දැන ගන්නට ලැබී තිබේ.

ඔහු පවසන්නේ අසත්‍ය චෝදනාවක්  එල්ල කරමින් තමන් අත්අඩංගුවට ගැනිමේ උත්සාහයක්  පොලීසිය විසින්   ක්‍රියාත්මක  කරමින් සිටින  බවට තමන්ට ඇගවෙන බවයි. ඒ හරහා සිය මාධ්‍ය ජීවිතය නැවැත්වීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවටත් මාධ්‍යවේදී පුන්‍යමුර්ති සසිකරන් බිය පළ කරති.

ශ්‍රී ලංකා නාවික හමුදාවට චෝදනා එල්ල වන ඝාතනයකට ලක්වූ  ඉන්දීය ධීවරයන් වෙනුවෙන්  පැවැති  අනුස්මරණ රැස්වීමක් සංවිධානය කළේ මාධ්‍යවේදී පුන්‍යමුර්ති සසිකරන්  යන්න මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ ස්ථාපිත කර තිබෙන විශේෂ අපරාධ විමර්ශන ඒකකයක මාධ්‍යවේදියාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර තිබේ.

සිය පවුලේ සමීපතමයන්ගේ පුද්ගලික විස්තරද පොලීසිය විසින් සටහන් කරගත් අතර “පරිස්සමින් වැඩ කරන ලෙස” පොලීසිය අනතුරු ඇඟවූ බවද පුන්‍යමුර්ති සසිකරන් පවසයි.

‘අබිරහස් අයුරින්’ හටගත් ගින්නකින් ඉන්දියානු ධීවර බෝට්ටු දෙකක් මේ වසරේ ජනවාරි මාසයේදී මුහුද මැද දී දැවී යෑම සම්බන්ධයෙන් ඉන්දියාව හෝ ශ්‍රී ලංකාව විසින් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදු කර නොමැත. කෙසේ වෙතත් ඉන්දියානු ධීවරයන් සිව් දෙනෙකුගේ දැවී ගිය සිරුරු ගිනිගෙන මුහුදුබත් වූ බෝට්ටුවකින් සොයා ගෙන තිබුනි.

වේග ප්‍රහාරක නෞකාවක වම්පස බඳේ ඉහල තට්ටුව ආසන්නයේ කඩතොළු වීමක් දැක්වෙන ඡායාරූප පෙළක් ප්‍රසිද්ධියට පත් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව පවසා තිබුනේ  නීති විරෝධී ලෙස මාළු බෑමේ යෙදී සිටි ට්‍රෝලරයක් හමුදා යාත්‍රාවේ “ගැටීමට සලස්වා පැනයාමට” ගත් උත්සාහයේදී ගිලුණු බවයි.

අනතුරෙන් මිය ගිය  මෙසියා අන්තෝනිරාජ්, සෑම් නේසපෙරුමාල්, නාගරාජ් වෙල්ලෙයිසාමි සහ සෙන්දිල්කුමාර්, සෙල්වම් ගේ මළ සිරුරු  නාවික හමුදාව ගොඩ ගෙන තිබුනේ දින දෙකක් තුලදී ය. ඔවුන් අතරින් සෑම් නේසපෙරුමාල් ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් බේරී පලාගොස් මණ්ඩපම් අනාථ කඳවුරේ ජීවත්වූවෙකි.

ඉන්දීය විදේශ අමාත්‍යාංශය “මෙවැනි සිදුවීම් නැවත සිදු නොවීමට සියලු වීරිය දැරිය යුතුය,” යි දැඩි ස්වරයෙන් යුත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ රජයට විරෝධය පල කර තිබුණි.

වේග ප්‍රහාරක නෞකාවක් හප්පා බෝට්ටුව ගිල්වා ධීවරයන් සිව්දෙනා මරා දැමූ බවට චෝදනා ශ්‍රී ලංකා නාවික හමුදාවට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩු පවරන ලෙස ඉන්දීය ධීවරයන් තමිල්නාඩු ආණ්ඩුවට බලකර තිබුණි.

ඝාතනයකට ලක්වූ  ඉන්දීය ධීවරයන් වෙනුවෙන්  පැවැති  අනුස්මරණ රැස්වීමකට සම්බන්ධ වු බවට වන චෝදනා යටතේ 2021 ජුලි  මස මුලදී  ද මාධ්‍යවේදි  පුන්‍යමුර්ති සසිකරන් කැදවා මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ ස්ථාපිත කර තිබෙන විශේෂ අපරාධ විමර්ශන ඒකකයක ප්‍රකාශ සටහන් කරගෙන තිබුනි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මඩකලපුව ශාඛාවට  2021 ජුලි 15 බ්‍රහස්පතින්දා සිදු කළ පැමිණිල්ලක් මගින් මාධ්‍යවේදී පුන්‍යමුර්ති සසිකරන් අවධාරණය කර තිබුනේ  පොලීසියේ ක්‍රියා කලාපය තමන්ගේ මාධ්‍යකරණයට මහත් සේ අනිටු  බලපෑම් එල්ල කරන බවයි.

මෙවැනි කැඳවීම් නියෝග, මාධ්‍යවේදීන් නිතර විමර්ශනවලට ලක්කිරීම හා හිරිහැර කිරීම මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පසුගිය සමයේ දැඩි ලෙස හෙළා දැක තිබුණි.

Social Sharing
නවතම