වගකිවයුත්තන්ගේ වගකීමක් හෝ වගවීමක් නැති ළමයින්ගේ ආරක්ෂාව..!!

කාලයක් රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයේ ප්‍රධාන පුවත බවට පත්වී තිබුණේ රටේ කොවිඩ් වසංගත තත්වය පිළිබඳවය. එහෙත් දැන් බදියුදීන්ගේ නිවසේ මියගිය දැරිය පුවත් විකාශ වල ප්‍රධාන පුවත බවට පත්ව ඇත.  වසර එකහමාරක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ උද්ගත වී ඇති කොරෝනා තත්ත්වය හේතුවෙන් බොහෝ ජනතාවගේ ජීවනෝපාය මාර්ග අහිමි වී ඇති අතර ඔවුන් ආර්ථික වශයෙන් විශාල අපහසුතාවන් වලට මුහුණ දී සිටී.

මෙවැනි තත්ත්වයක් තුළ කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි හිංසනවල වැඩිවීමක් නිරීක්ෂණය කළ හැකිය. මෙම මාසය තුළ පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන්ගේ නිවසේ සේවය කළ දැරියකගේ මරණය ඇතුළු ප්‍රධාන සිදුවීම් හතරක් පිළිබඳ පුළුල් ලෙස සමාජයේ කතාබහට ලක්විය.

  1. නාවලපිටි ප්‍රදේශයේ පදිංචි දහතුන් හැවිරිදි දැරියක්, අවුරුදු හතේ සිට තමන්ගේම පියා විසින් නැවත නැවතත් ලිංගික අතවර කර තිබීම.
  2. පහළොස් හැවිරිදි දැරියක් අන්තර්ජාලය හරහා විකිණීමේ සිද්ධිය
  3. වයස අවුරුදු 12 සහ 14 වියේ පසුවූ පසුවූ තමන්ගේම දරුවන් දෙදෙනාව අපයෝජනය කර ගැබ් ගැන්වීම
  4. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ සේවය කල අවුරුදු දාසයක දැරියගේ මරණය

ඉහත ඛේදවාචක හතරටම මුහුණ දෙන්නේ වයස අවුරුදු 18 අඩු පුද්ගලයන්ය. එනම්, දරුවන්ය. පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ අවුරුදු දාසයක ඉශාලිනී දැරිවියට සිදුවූ ඉරණමට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්  ඇතුළු රජයේ නිලධාරීන් ද වගකිවයුතු බවට චෝදනා එල්ල වෙමින් ඇත. අප රටේ නීතියට අනුව අවුරුදු 16ට අඩු සෑම පුරවැසියෙකුටම අනිවාර්ය අධ්‍යාපනය ලබා දිය යුතුය. එහෙත් මේ හිංසනයට ලක්වන දැරියන් බොහෝ දෙනෙකුට ඒ අයිතිවාසිකම අත්විඳින්නට අවසරයක් නැත. මේ සම්බන්ධයෙන් වගකීම ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරියාටය. එහෙත් ඒ වරද ඔහුට පටවා අත්පිසදා ගැනීමට නොහැකිය. ඒ වරද සමාජයක් ලෙස අප සියලුම දෙනාගේ පිට පැටවෙනවාය.

නීතිය රැකීමටත්, පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමටත් මහජන නියෝජිතයන්ට අන් සියලුම දෙනාට වඩා වගකීමක් ඇත. ලංකාවේ දුප්පත්කම නැතිකරන්නට කියා මහජන ඡන්දයෙන් බලයට පත්වන ජනතා නියෝජිතයන්ම දුප්පත් පවුලක “ළමයෙක්ව” මෙහෙකාර සේවයේ යෙදවීම කොතරම් දුරට සාධාරණීකරණය කළ හැකිද ?

මීට සති තුනකට පෙර පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික ක්‍රියාකාරකම් සඳහා විකුණා දැමූ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වෙනවිටත් පුද්ගලයන් 35 දෙනෙකුට වැඩි පිරිසක්  අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අතර කන්දලායි ප්‍රාදේශීය සභාවේ උප සභාපති වරයා, නාවික හමුදාවේ විශේෂඥ වෛද්‍යවරයෙක්, උප පොලිස් පරීක්ෂකවරයෙකු, රත්මලාන ප්‍රදේශයේ හිටපු බැංකු කළමණාකරුවෙක්, නුවර ප්‍රදේශයේ නළුවෙක්, නැවක කපිතාන් කෙනෙක් සහ රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙක්ද මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබෙන අතර භික්ෂූන් වහන්සේ කෙනෙක්ව ද මේ සිද්ධිය සම්බන්ධ සැක කෙරෙන බව පොලිසිය සදහන් සදහන් කර තිබුණා.

වසර ගණනාවක් තිස්සේ කිසිදු නියාමනයක් නොමැතිව අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන ලිංගික සේවා සපයන වෙබ් අඩවි සම්බන්ධයෙන් මීට පෙරද අප වාර්තා කර තිබුණා. එම වෙබ් අඩවිවල කිසිදු වයස් සීමාවකින් තොරව දහස් ගණන් කාන්තාවන් විකිණෙන අතර ප්‍රසිද්ධියේම අන්තර්ජාලය හා බැංකු ගිණුම් හරහා  ලිංගික සේවා සැපයීම එහිදී සිදු වනවා. මේ දැරිවියගේ සිද්ධියට පසු  විදුලි සංදේශක නියාමන කොමිෂම විසින් එක් වෙබ් අඩවියක් අවහිර කර තිබෙන නමුත් තවත් බොහෝ වෙබ් අඩවි තවමත් අන්තර්ජාලයේ ක්‍රියාත්මකයි.

මීට අමතරව, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් වන චාන්යා හේරත් විසින් මීට අවුරුදු 5 කට පෙර මෙම වෙබ් අඩවිය සම්බන්ධයෙන් ඇයගේ සමාජ මාධ්‍ය පිටුවේ, එම වෙබ් අඩවියේ නම සදහන් කර මෙවැනි වෙබ් අඩවියක් online හරහා ලිංගික ගණිකා වෘත්තීය ප්‍රමෝට් කරන බවත් “දැන්ම මොනාහරි නොකළොත් ඉදිරියේදී ලොකු විනාශයක් වීමට ඉඩකඩ” ඇති බව සදහන් කර තිබූ අතර ඇය විසින්ම ලිඛිතව විදුලි සංදේශක නියාමන කොමිසම වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා. නමුත් එහි බලධාරීන් මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන තිබූ බව ඇය ෆේස්බුක් සටහනක් මගින් සදහන් කර තිබුණා.

(https://www.facebook.com/chanya…/posts/4060917107356118)

එම වෙබ් අඩවිය මේ වන විට අක්‍රීය  කර ඇතත්, එය වසර 12ක් තිස්සේ කිසිදු බාධාවකින් තොරව මුදලට කාන්තාවන් විකිණීම සිදුකරගෙන ගොස් ඇත. අවුරුදු 15 ක බාලවයස්කාර මේ දැරිවිය සේ තවත් දැරිවියන් කොපමණ ප්‍රමාණයක් මේ හරහා විකිණෙන්නට ඇත්ද ? ලංකාවේ රාජ්‍ය සේවය තරම් දැනුම් කාන්තාරයක් වෙන කොහේවත් නැත. ලංකාවේ තරම් යල් පැණගිය නීති ද වෙනකොහේවත් නැත.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන් සේම නීති ද අප්ඩේට් වීමට කැමති නැත. අන්තර්ජාලය ඔස්සේ කෙතරම් දරුවන් අලෙවි වුවද ළමා ආරක්ෂක අධිකාරිය මර නින්දෙන් අවදිවන්නේ නැත. ඔහු ද හිටපු ජනාධිපතිවරයා සේ දේවල් දැන ගන්නේ මාධ්‍යයෙහි පළවුවහොත් හෝ කවුරුන් හෝ ඔහුට පැවසුවොත් පමණය. සභාපතිවරයා යහ පාලන ආණ්ඩු සමයේත් අධිකාරියේ සභාපතිය, වත්මන් ආණ්ඩුව සමයෙත් අධිකාරියේ සභාපතිය. ඔහු සභාපති පුටුවේ හිඳින් සිදු කළ එකම දෙය නම් සිය තනතුර රැක ගැනීමට ආණ්ඩු දෙකේම රෙදි සේදීමය. ළමා ආරක්ෂාව පිළිබඳව සිදු කළ එකම දෙය නම් හිංසනයක් සිදුවූ විට මාධ්‍ය ඉදිරියට පැමිණ බරපතල මුහුණක් මවාගෙන ප්‍රකාශ දීමය. එසේත් නැතිනම් රාජ්ය නොවන ආයතනක් හෝ වෙනත් සංවිධානයක් වෙහෙසී සිදුකළ ව්‍යාපෘතියකට තමන්ගේ මුහුණ ඔබාගෙන මාධ්‍ය ආවරණයක් ලබා ගැනීමය.

දැන් කියන්නේ බදියුදීන්ගේ නිවසේ බාළවයස්කරුවන් එකොළොස් දෙනෙකු සිටි බවය. එසේම එයින් දෙදෙනෙකු මියගොස් ඇති බවය. එකොළොස්දෙනා ලොරියක පටවාගෙන එක පිම්මේ බදියුදීන්ගේ නිවසට ගෙන ආවේ නැත. එයට වසර කිහිපයක් ගතවන්නට ඇත. එතෙක් ළමාරක්ෂක අධිකාරිය කලේ මොනවාද? එවැනි අපචාර වළක්වන්නට ළමාරක්ෂණ අධිකාරියට තිබූ වැඩපිළිවෙල කුමක්ද? කිසිවක් තිබුණේ නැත.

එබැවින් අප විසින් මේ කාරණා සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණගෙන් විමසීමක් කළේය. නමුත් අපගේ ප්‍රශ්න වලට මහාචාර්යවරයා දුන් පිළිතුරු මහත් කලකිරීමක් හා පිළිකුලක් ඇති කළේය. එමෙන්ම ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය යම්කිසි පක්ෂ ප්‍රවර්ධන කාර්යාලයක්දෝ යනු සැකයක්ද මතුවිය.

එයට හේතුව වූයේ ළමා අපයෝජන වැඩිවීමට හේතුව කුමක්දැයි විමසූ විට ‘ 2019 දී සිදුවීම් 8558ක් සහ 2020 දී සිදුවීම් 8165 ක් පමණ වාර්තා වී තිබෙන අතර 2021 අවුරුද්දේ මුල් මාස 6 තුළ සිදුවීම් 4740ක් වාර්තා වී තිබෙනවා. එබැවින් මෙහිදී වැඩි වීමක් නැහැ. මෙය සාමාන්‍ය තත්ත්වයකි. ජනමාධ්‍යවේදීන් සහ ජනතාව මේ ගැන උනන්දු වෙන නිසා වැඩිවීමක් තිබෙන බව පෙනෙනවා යයි පැහැදිලි කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් විමසූ විට, මෙවැනි සිදුවීම් ලංකාවට අලුත් දෙයක් නොවන අතර මීට පෙර ද මෙවැනි දේවල් සිදු වූ බව සදහන් කරමින් තමන් විසින් නිතර ජනමාධ්‍යවේදීන් සමග සමීපව කටයුතු කරන නිසාවෙන් සහ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මෑත කාලයේ සිදු කළ ප්‍රවර්ධන කටයුතු හේතුවෙන් ම ජනතාව අතරට මේ පණිවිඩ ගොස් ඇති බවත් පැහැදිලි කළේය.

2010 සිට පසුගිය වසර දක්වා සිදු වූ ළමා අපයෝජන සංඛ්‍යාව දෙස බලනවිට කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකිය. මේ ගැන ඔහුගෙන් විමසූ විට ඔහු පැවසුවේ ළමා අපයෝජන නැති රටක් ලෝකයේ නොමැති බවය. එම පදනම මත ඔහු කියා සිටියේ, මේ කාරණාවේදී  ශ්‍රී ලංකාව ලෝක මට්ටමේ ඉතාමත් ඉහළ තැනක සිටින බවත්ය. කෙසේ වෙතත් The Economist සංවිධානය විසින් කරන ලද අධ්‍යනයකට අනුව ජාත්‍යන්තරව ළමුන් ජීවත්වීමටහොද පරිසර ඇති රටවල් අතර ශ්‍රී ලංකාව සිටින්නේ 60 වන ස්ථානයේය.

https://www.savethechildren.org/…/global-childhood…

මීට පෙරද මීගහවත්ත පොලීසියේ මෙම පහළොස් හැවිරිදි දැරිය ලිංගික අපයෝජනයට ලක් වූ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති බවත් එහිදී මීගහවත්ත පොලිසිය නිසිආකාරව විමර්ශන සිදු කලා නම් මෙතරම් ඛේදවාචකයක් සිදු නොවන්නට තිබූ දැයි මාධ්‍යවේදිනියක් ඉකුත් ජූලි විසි වෙනිදා පැවති මාධ්‍ය හමුවකදී  ප්‍රශ්න කළ විට හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා, අදාල ලිංගික අපයෝජනයට ලක්වූ බවට මීගහවත්ත පොලිසිය පැමිණිල්ල ඇති නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම පැමිණිල්ල අදාළ නොවන බව සදහන් කර තිබුණා.

අන්තර්ජාලය හරහා අපයෝජනයට ලක්වූ මෙම පහළොස් හැවිරිදි දැරිය 2013 වසරේ තම පියා විසින් ම අතවරයට ලක්වූ බවට මීගහවත්ත පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මහර අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අතර එහිදී දැරියට වයස අවුරුදු අටක් පමණ වී තිබුණු බව අනාවරණය වී තිබිණි. නමුත් මේ කාරණය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මුදිත විදානපතිරණ මහතාගෙන් විමසීමක් කළ විට ඔහු මෙසේ පැවසුවේය. ” එය 2013 නෙමෙයි. අවුරුදු තුනකට කලින්, ඒ කියන්නේ 2018 ළමයාගේ වයස 13දි ඒක වෙලා තියෙන්නෙ, ඇත්තටම සමහර ඒවා එයාගෙ වෙන සම්බන්ධතා, දැන් මේ අවස්ථාවේ ඒක සම්පූර්ණයෙන් වෙනස්”  බව කිසිදු වගකීමක් හෝ වගක වීමකින් තොරව මහාචාර්ය වරයා පිළිතුරු දුන්නේ ය.

2018 සැප්තැම්බර් 13 මාධ්‍යවේදියෙකු විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත අයදුම්පතක් යොමු කළ අතර එයට පිළිතුර ලැබී තිබුණේ 2021 අප්‍රේල් මාසයේදීය. එනම් එම තොරතුර ඔවුන් ලවා ඇත්තේ මාස තිස් එකකට පසුවය. එමෙන්ම ළමා ආරක්ෂණ අධිකාරියේ හිටපු මාධ්‍ය නිලධාරියාට ද ළමා අපයෝජනයකට උත්සාහ කිරීම පිළිබඳව චෝදනාවක් එල්ලවූ අතර ඒ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු අතරමග නතර විය.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ මූලස්ථානය කොළඹ තිබෙන නමුත් බිම් මට්ටමේ ජනතාව සමග වැඩ කරන්නේ ප්‍රාදේශීය ළමා ආරක්ෂණ නිලධාරීන්ය. අදටත් ඔවුන්ගේ බහුතරයකට පත්වීම් ලබාදීමට කටයුතු කර නැත. සමහර ප්‍රදේශවල එක් නිලධාරියෙකුට වසම් කිහිපයකම රාජකාරිය කිරීමට සිදුව ඇත. ඊට අමතරව ඔවුන්ට වැටුප් ප්‍රශ්න, ගමන් කිරීමේ ගාස්තු වැනි භෞතික හා තාක්ෂණික ප්‍රශ්න රාශියක් තිබෙනවා. මේ කිසිදු ප්‍රශ්නයකට පිළිතුරක් ලබා නොදීමෙන් කිසිවිටෙකත් ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ජාතික ළමා රක්ෂණ අධිකාරියට නොහැකිය.

ශ්‍රී ලංකාව තුළ ළමා අපයෝජනයට එරෙහිව හඬ නගන සංවිධාන බොහෝමයක් තිබෙනවා. යම්කිසි සිදුවීමක් සිදු උනාට පසු මාධ්‍යයට සහ සමාජ මාධ්‍යයේ අදහස් ප්‍රකාශ කර ජාතික ලමා රක්ෂණ අධිකාරිය විවේචනය කර ටික කලකින් නිශ්ශබ්ද වනවා. ඒවා සක්‍රීය වන්නේ ටික කාලයකට පමණයි. ඊට අමතරව බොහෝ ආයතන කිසිවිටෙක බිම් මට්ටමේ ජනතාව සමග ක්‍රියා කරන්නේ නැත. චෝදනා කිරිම සඳහා පමණක් සීමා වුණු මෙවැනි විවේචකයන් කිසිවිටෙක නිසි වැඩපිළිවෙළක් මේ සඳහා යෝජනා කරන්නේ නැහැ. ඒ වගේම බොහෝ සංවිධාන අතර ද කිසිදු එක්සත් භාවයක් නැති වීම කනගාටුවට හේතුවකි.

2020 ජුනි මස එකොළොස් වැනිදා විගණකාධිපතිවරයා විසින්  ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ගැන විශේෂ වාර්තාවක් එළි දක්වනවා. එම වාර්තාවේ එක් තැනක මෙසේ සඳහන් කර තිබෙනවා.

ළමා අපචාර වැළැක්වීමත්, එවැනි අපචාර වලට ගොදුරු වූ ළමුන් ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිපත්තියක් සකස් කිරීම අධිකාරිය පිහිටුවීමේ අරමුණ වුව ද , වර්ෂ 20ක් පමණ ගතවී තිබුණද, එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අධිකාරිය අපොහොසත් වී තිබුණි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානම් තත්වයක් හදුනා ගන්නා ලදී.

ඊට අමතරව පසුගිය වර්ෂ අටක කාලය තුළ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ලබී තිබුණු පැමිණිලි සංඛ්‍යාව 79,259 ක් වූ අතර, ඉන් පැමිණිලි 42,073 ක් විසඳීමට කටයුතු කර නොතිබුණු අතර එය ලද පැමිණිලි වලින් සියයට 53 ක ප්‍රමාණයක් බව මෙම විශේෂ විගණන වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

https://www.auditorgeneral.gov.lk/…/Final-Report-Child…

ඉතින්, රටේ දරුවන්ගේ අනාගතය ගැන තව කවර කතාද?

✍……ශබීර් මොහමඩ්

( මෙය ශබීර් මොහොමඩ්ගේ මුහුණු පොතෙන් උපුටා ගැනීමකි)

 

 

Social Sharing
නවතම විශේෂාංග