මරණය හමුවීම….

අද උදේ ඇහැරුණේ හීන් සර සරයකට. ඇහැ ඇරගන්න හිතෙන්නේ නැති දවස්. එහෙට මෙහෙට වැනෙනකොට බාගෙට ඇරුණු ජනේලය මලානික එළියක් තමයි ඇතුලට වීසි කළේ. කාලෝස් රෙගඩාස්ගේ Post Tenebras Lux කියන ෆිල්ම් එක පටන් ගන්න සීනෙක වගේ හැඟීමක් ඒක. ඒ හැඟීම අකුරු කරන්න අමාරුයි, මෙහෙම දෙයක් පෙන්වලා ආන් ඒවගේ කියනවා ඇරෙන්න. මේ දවස් එහෙමයි. ඔව්.. මරණය හැම තැනම..!

ඊයේ රෑ නින්දට ගියේ මරණය පෙනි පෙනී තවමත් හුස්ම අල්ලගන්න උත්සාහ කරන ඥාතියෙක් ගැන ආපු තොරතුරක් එක්ක. ඒ අස්සේ ගෑස්හැදිලා මරණීය වේදනාවක්..! එහෙම නැතත් වට්සප් එක ඕපන් කරන්න බැරිගානට මිනිස්සු මැරිලා වැටෙන, මැරෙන්න බෑ කියලා දඟලන වීඩියෝස් ඇහැට පනින්න බලාගෙන ඉන්න දවස් මේ..

මම මරණයට සෑහෙන්න ආසා කරපු මනුස්සයෙක්. දැනටත් ඒකේ ලොකු වෙනසක් නෑ. බැඳීම් නිසා මරණය තෝරාගන්න බැරි අවුල තමයි තියෙන්නේ. සේකරගෙ නොමියෙමි අස්සේ කැකෑරෙන මරණයේ සවුන්දර්‍ය්ට මම මාර ආදරෙයි. ජීවත් වීමේම, ජීවිතය අස්සේ අපි හොයාගත්ත ආදරේ අස්සෙම මරණයේ දියවෙන්න තියෙනවානම්, දැනුවත්ව මේක අතාරින්න තියෙනවා නම් ඒක මාරයි. ඔව් එහෙම පුලුවන්. එහෙම කරපු කරන මිනිස්සු ඉන්නවා. කෝබියන්ගේ ජීවිතයේ අවසන් දවස් ගැන ගස් වැන් කරපු ලාස්ට් ඩේස් ෆිල්ම් එක බලන්න.. මරණයට යන මාර්ගය අඳුරුයි හැබැයි ඒකෙත් මාර ලස්සනක් තියෙනවා. සමහරු මරණය වෙත යන්නේ නොදැනීම. එහෙම ගියාම ඒ දිහා බලාගෙන ඉන්න අපිට දුකයි.

මේක මරණය ගැන වගේම ආදරේ ගැන පොඩි මතකයක්. මම හිතන්නේ මම එතකොට හතවසරේ වගේ වෙන්න ඇති. අපේ ගේ ඉස්සරහා ගඟේ සකර් මැෂින් වලින් මැණික් ගරන පතළක් තිබුණා. මේකෙදි දියට කිමිදිලා වරුගානක් හිඳිමින් තමයි උඩට මැණික් තියෙන ඉල්ලම පොම්ප කරන්නේ. මේ පතල් තහනම් උනා අධික පරිසර දූෂණය නිසා. කොහොම වුණත් මේ පතල්වල වැඩකරන අයට හොඳට කිමිදෙන්න පුලුවන්. අඩි 20, 30 කිමිදිලා දවස් භාගයක් එක දිගට වැඩකරන්න මේ මිනිස්සු මාර දක්ෂයි. විනාඩියක් දෙකක් දියයට අඩි විස්සක් තිහක් ඉඳලා බාල්දිවලට මැණික් ඉල්ලම් පුරවලා එවපු අපේ ගම්වල හිටිය කොල්ලන්ට මේ අලුතින් ආපු පතල් ක්‍රමයත් නැඟලා ගියා.

ඉතිං කේඩීයූ ලා අපේ ගේ ඉස්සරහා ගඟේ මේ පතළය පටන් ගත්තට පස්සේ මේ පතළේ වැඩකරන්න ආවා බුද්ධික කියලා තරුණයෙක්. අහලා තියෙන විදිහට මිනිහා ඒ වෙනකොට රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්. මිනිහා පැල්මඩුල්ලේ. හොඳ කිමිදුමා. ඉතිං අපේ ගඟ අයිනේ ඉඩමේ වාඩි ගහලා කස්ටිය වැඩ පටන් ගත්තා. තෙල් ටැංකි බෝට්ටුව උඩ මහසෝනා වගේ ඩීසල් මැෂිම තිබුණා. ගොඩ ඉඳලා ඔක්සිජන් සපයන මැෂිම තිබුණා. පතලේ හොඳටම නැඟලා ගියා. අපි ඉතිං නිතරම මේ වාඩියේ තමයි කල් ගෙව්වේ. ඉතිං මේ කාලය අස්සේ බුද්ධිකයා මට කිමිදුම් කට්ටලය එක්ක දියයට යන්න පුරුදු කළා. ඒ වෙනකොටත් අපිට දියයට යන්න, පිහිනන්න හොඳට පුලුවන්. හැබැයි ඔක්සිජන් අරගෙන දියයට යන්න දැනන් හිටියේ නෑ. මිනිහා ඒ දැනුම ආසාවෙන් දුන්නා. ඒක ජීවිතේ රහාම කාලයක්.

ඉතිං ඉස්කෝලේ ගිය නැති එක දවසක උදේට වාඩියට ඇවිත් කරවල හොද්දක් එක්ක බත් ටිකක් එහෙම කාලා ගෙදර ගියා. ඒ යනකොට බුද්ධිකයා දියයට කිමිදෙන්න ඇඳුම අදිනවා. මේදවස්වල ඉල්ලම තමයි ගහන්නේ. හොඳට මැණික් හම්බවෙනවා.

ඇඳුම ඇදලා කිලෝගානක් බර යකඩ බරු බෙල්ට් එක එහෙම දාගෙන වළට බහිනකොට මාත් සන් කරලා ගෙදර ගියා. එහෙම ගෙදර ගිය මම අම්මගේ කීමට බෙහෙත්වගයක් ගේන්න ගෙදර ඉඳලා කිලෝමීටර් දෙකක් විතර ඇවිදලා ආයෙත් පැයකට දෙකට පස්සේ ගෙදර එනකොට පතල් පොලේ එක ජරමරයක්. මාත් ඒ දිහාට දිව්වා. පතලේ බලාගත්ත මැනේජර්, ඔක්සිජන් මැෂින් එක පනගන්වන්න ට්‍රයි කරනවා. මිනිහගේ හදිස්සිය කොච්චර ද කියනවා නම් අදින ලනුවත් කැඩුනා. උඩ ඉන්න හැවෝම තුෂ්ණිම්භූත වෙලා. මට ඒ මොහොත ගැන තාම හිතාගන්න බෑ. හැවෝම හීනයෙන් අතපත ගානවා වගේ තමයි වැඩ කළේ. බුද්ධිකගෙන් කිසිම පණිවිඩයක් නෑ. එකෙක් නිකං දියයට ගිහිං ඇවිත් මෙහෙම කියනවා..

වළක් හොයාගන්න නෑ සේරම යටවෙලා…

තවම උදේ, ඒ වෙලාවේ හිතට ආපු දුක මූසලකම පිරුණු ඒ හැඟීම හිතාගන්න බෑ.

වළට උඩින් මයිකා කන්ද උඩ තිබුණ හිරිගල් කුට්ටිය වැටිලා. මම යනකොටත් කිව්වා හොඳා බලලා ගහන්න පටන් ගන්න කියලා.

පතලේ බාස්සුන්නැහේ කියනවා. යටින් ඉල්ලම් සහිත පස උඩට පොම්ප වෙනකොට උඩ තිබුණ ගල වළට පෙරළෙන එක සාමාන්‍ය දෙයක්. බුද්ධියකයා අතුරුදන්. ඒක පුදුම දවසක්. පෙරහැරපොළ වගේ මිනිස්සු. ඒ මදිවට වැස්ස. අන්තිමට රෑ ගංවතුර. දවසක් ගතවෙනකොටත් බුද්ධිකයා ඔක්සිජන් නැතුව වතුර යට. මිනිස්සු කඩි රැල වගේ අව්ව වැස්ස රෑ දහවල් නැතුව මහංසිය. බුද්ධිකයා ගොඩගන්න. අන්තිමට තවත් මැෂින් එකක් සහ කිමිදුම් පතල්කරුවෝ ටිකක් වැඩට බැහැලා වැටුණ පස්, උඩට පොම්ප කරලා, ගලට කම්බි දාලා ගල උඩට ඇද්දා. එහෙම ඇඳලා පහුවදා රෑ 9 ට 10ට විතර තමයි බුද්ධිකයා උඩට ගත්තේ. ටටා කියලා කිමිදුන මිනිහා ලනුවක එල්ලිලා උඩට ආවා. මිනිය කිමිදුම් ඇඳුම ඇදගෙනම ඉදිමිලා. ඒක තමයි මරණයේ වේදනාව ඉතාමත් ළඟින් තදින් ජීවිතේ බදාගත්ත දවස..!. ඒක ජීවිතයේ තවමත් මතකයි.. පස්සේ මිනිස්සු ඒ වළ අතෑරලා දැම්මා බිල්ලක් ගත්තා කියලා. ඒත් මම නාන්න ගියාම පුරුද්දක් විදිහට වළට පැනලා කිමිදෙනවා. කිමිදිලා බුද්ධිලයා එක්ක පොඩි කයියක් ගහලා ගොඩ එනවා.. ඒක වෙන විදිහක මුණගැහීමක්. මරණය එක්ක එකතරා කතාවක්..

මේ වෙනකොට මිනිස්සු රැල්ලට මැරෙන්නේ ඔක්සිජන් නැතුව. හුස්ම ගන්න බැරුව. හිට්ලර්ගේ වඳකඳවුරු අස්සේ මිනිස්සු හුස්ම හිරවෙලා මැරුණ විදිහ ඒ වේදනාව අපි චිත්‍රපට අස්සේ කොච්චර දැකලා තියෙනවද?..

Andrei Tarkovsky ගේ  The Sacrifice කියන චිත්‍රපටියේ වීදුරු ගැටෙන හඬයි මම මුලින් කීව කාලෝගේ චිත්‍රපටියේ මුල් දර්ශනයේ එන හරකුන් බැඳි ගෙජ්ජි හඬයි මට තවමත් එක සමානයි වගේ ඇහෙන්නේ. Tarkovsky ගේ මේ චිත්‍රපටයත් එක්තරා විදිහකට මරණය දැකීමක්. මේවගේ නිර්මාන අස්සෙන් මරණය දකිනකොට ඒක අස්සේ විඳින්න පුලුවන් ඒ වගේම තමන්ට ලංකරගන්න ඕනෑ කියන ලස්සනක් පේන්න ගන්නවා. හැඟෙනවා. ආසාවෙනවා. එහෙම ආසාවෙන්න වෙන්න අපි ජීවිතයටත් ආසා වෙනවා. අන්න ඒකයි වැදගත්.. අපි මරණය සවුන්දර්‍යක් ආට් එකක් විදිහට ගන්නකොට දකිනකොට අපිට තව තවත් ජීවිතය ඕනී වෙනවා. අපි වියලෙන්නේ නෑ. අපේ ඇග අස්සේ හොඳට ඔක්සිජන් ගලනවා..

ඉතිං මේ දවස්වල නින්දට යන්නේ මරණය එක්ක. අහරින්නෙත් මරණය එක්ක. යාලුවෙක් කෝල් කළත් කතා කරන්නේ මරණය ගැන. රත්නශ්‍රී ලියපු අමරදේව ගයන සුදු නෙළුම කෝ සොරබොර වැවේ කියන සිංදුව වගේම කපුගේ කියන සුමනෝ සිංදුව අහනකොට එන මූඩ් එක වගේ මූඩ් එකක තමයි දවසරින්න වෙලා තියෙන්නේ… අපි මරණය මේවා අස්සේ ආදරෙන් වැළඳ ගන්න නිසාම අපිට මේ මරණ දැනෙනවා වැඩියි.. ඉතිං මුලු දවසම ගෙවෙන්නේ එකම වගේ හැඟීම් පොකුරක..

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග