ගෑස් පෙන්වන ගෑස් මාෆියාව !

කොවිඩ් වලින් හෙම්බත්ව සිටි ජනතාවගේ කරමතට එක්වරම කඩා වැටුණේ ගෑස් හිඟයක් හා කිරිපිටි හිඟයකි. පොහොර අර්බුදයක් තිබුණද එය ගෑස් හා කිරිපිටි තරමට ජනතාවට දැනුනේ නැත.

නමුත් ජනතාවගේ අතවශ්‍ය ද්‍රව්‍ය හිඟ වෙද්දී එය ජනතාවට වඩාත් පීඩාකාරී ලෙස දැනෙන දෙයක් විය. වෙළඳසැල් වල කිරිපිටි රාක්ක හිස්ව යද්දී එදෙස බලා සුසුම් හෙලා හිස් අතින් නිවසට පැමිණි බොහෝ දෙනෙක් අප අතර ඇත. එමෙන්ම ගෙදර ඉවුම් පිහුම් කටයුතු කළ ගෑස් සිලින්ඩරය ඉවර වී අලුත් ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට තැනක් නොමැතිව දහ අතේ ගෑස් සොය සොයා ගිය පුද්ගලයෝද බොහෝය.

ජනතාවගේ හිස මතට කඩා වැටුණු මේ පොහොර, ගෑස්, කිරිපිටි අර්බුද නිසා ඔවුන්ට කොරෝනාද අමතක විය. ගෑස් සිලින්ඩරයක් වෙනුවෙන් ඔවුන් කිලෝ මීටර් ගණන් පෝලිම් වල සිටින්නට වුයේ අව් රශ්මියද නොතකාය. මෙම තත්ත්වය තව දුරටත් තිබුණේ නම් අපට ඉදිරියේදි ගෑස් පොකුරක්ද බිහි වෙනු නොඅනුමානය.

ගෑස් මිල ඉහළ දැමීමට අදාල සමාගම් ඉල්ලා සිටියේ දැන් මෑතක සිටය. නමුත් ආණ්ඩුව ඊට ප්‍රතිචාර දැක් වුයේ නැත.

මේ සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පහුගියදා සඳහන් කර තිබුණේ ගෑස් අර්බුදයට විසඳුම් සෙවීම ‘අද නොවෙයි හෙට‘ ට කල් දැමීම හේතුවෙන් රට තුල දැවැන්ත ගෑස් අර්බුදයක් මතුව ඇති බවය. ඉදිරි දින 4 ගෑස් හිඟය උපරිම මට්ටමට පැමිණෙනු ඇති අතර, සෑම දින 2 ½ කට වරක්ම රටට ගෑස් නැවක් ගෙන්වා ගැනීමට අසමත් වන්නේ නම් රටේ දෛනික ජන ජීවිතය බිඳ වැටෙත තත්වයක් නිර්මාණය විය හැකි බව ඔහු කියා තිබුණි.

ලිට්රෝ සමාගමේ ගෑස් වෙළෙදපොල පංගුව 71% ක් වු අතර ඉතිරි 29% ලාෆස් සතු විය.  රටේ ගෑස් සිලින්ඩර      ලක්ෂ 101 ඇත. එයින් ලාෆස් සමාගම සතු සිලින්ඩර ලක්ෂ 29 කි.

ගෑස් හිඟයත් සමඟම ලක්ෂ 29 ක් සිලින්ඩර හිස් විය. දෙවන සිලින්ඩරය ලෙස නිල් ගෑස් ලබාගත් පිරිස වහා ගෑස් ලබාගැනීමට පොරකන්නට විය.  ඒ් අනුව කහ පාට ගෑස් ද නිල් පාට ගෑස් ද දෙකම හිඟ විය.

ලාෆ්ස් කි.ග්. 12.5 සිලින්ඩරය භාවිතා කරන ලක්ෂ 9 කට ද, ක්.ග්. 5 සිලින්ඩරය භාවිත කරන ලක්ෂ 4 කට ආසන්න ප්‍රමාණය ද දැන් අන්ත අසරණය. ඉදිරි දින 4 තුල අර්බුදය පුපුරා යන්නේ  ලිට්රෝ සමාගමේ කි.ග්. 12.5 සිලින්ඩරය ලක්ෂ 60 න් ආසන්න වශයෙන් ලක්ෂ 38 තනි සිලින්ඩර හිමිකරුවන් වන නිසා බවද ඒ් මහතා සඳහන් කර තිබුණි.

එමෙන්ම ඔහු සඳහන් කර තිබුණේ ලිට්රෝ සමාගම සතු එකම සක්‍රීය ගෑස් සිලින්ඩර් පිරවුම් අංගනය කෙරවලපිටියේ පිහිටා ඇති බවත්  එහි සම්පූර්ණ ගෑස් ධාරිතාවය මෙ.ටො. 8000 ක් බවය.  සාමාන්‍ය  තත්වය යටතේ ගෑස් ටැංකියක 10% – 15% ක ඇත්තේ වායුව යි. දියර ගෑස් 85% ක් ආසන්න ප්‍රමාණයකි. ඒ අනුව, ලිට්රෝ දියර ගෑස් ධාරිතාව මෙ.ටො. 7000 කි.

ගෑස් මෙ.ටො. 3000 ක් පමණ ඉතිරිව තිබිය දී රටට ගෑස් නැවක් රැගෙන ඒම ලිට්රෝ සමාගමේ ව්‍යවහාරයයි. ලිට්රෝ සැපයුම්කාර ඕමාන් ට්‍රෙිඩින් සමාගම සතුව නැව් දෙකක් ඇති අතර ඒවා මෙ.ටො. 3500 ට ආසන්න ධරිතාවයෙන් යුතුය. ඕමානයේ සිට ලංකාවට ගෑස් නැවක් පැමිණීමට දින 5 ½ ක් ගත වන අතර මෙහෙයුම් කටයුතු සඳහා අතිරේක දිනක් ගත වේ.

කහපාට ලාෆස් ගෑස් වෙළෙඳපොලට නිකුත් වූ අවධියේ ලිට්රෝ දිනකට ගෑස් මෙ.ටො. 1150 ක් පුරවා බෙදාහරිනු ලැබීය. දැන් එය මෙ.ටො. 1350 දක්වා ඉහළ ගොස් ඇත. ඉදිරි දින 2 තුල පොලිම්වල ගෑස් සැපයීමට නම් දින 2 ½ වරක් ගෑස් නැවක් (මෙ.ටො. 3500) ක් කෙරවලපිටියට පැමිණිය යුතු බවද අවධාරණය කර තිබු හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා කියා තිබුණේ එවැනි අඛණ්ඩ සැපයීමක් සිදු කිරීමේ හැකියාව ලිට්රෝ සමාගමට දැනට නැති බවකි.  ඊට හේතු ලෙස කියා තිබුණේ ලාෆස් ආයතනය මෙන් ගෑස් ගබඩා කිරීමේ පර්යන්ත පහසුකම් ද, තම සමාගම සතු ඔවුනගේම නැව් ද ලිට්රෝ සමාගමට (ලාෆස් සමාගමට නැව් 3 ක් හා කුලියට ගත් නැවක් ඇත) නැති බවය.

දිනෙන් දිනම උග්‍ර වු ගෑස් අර්බුදය හමුවේ රජයේ නිල නොලත්  ආරංචි වලින් පැවසුනේ රජය අලුත් ගෑස් සමාගමක් ආරම්භ කිරිමට යන නිසා මේ තත්ත්වය මතු වු බවය. නමුත් එය කිසිවිටෙකත් තහවුරු වුයේ නැත.

මේ අතර ගෑස් මිල ඉහළ දැමීම සදහා ලාෆ් ගෑස් සමාගමට ඊයේ (12)  රජයෙන් අවසර හිමි විය.

ඒ අනුව ගෘහස්ත ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහළ ගිය අතර  ඒ අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1856කි.

මේ  අතර කිලෝ පහක ගෑස් සිලින්ඩරයක් රුපියල් 145කින් ඉහළ දැමීය.  ඒ අනුව කිලෝ පහක ගෑස් සිලින්ඩරයක මිල වන්නේ රුපියල් 743කි.

මේ ඉහළ දැමීමත් සමඟ ඊයේ ප්‍රධාන මාර්ග වල ගෑස් ලොරි රැසක් ධාවනය වනු දක්නට ලැබුණි. එසේ නම් ඔවුන් රජය ගෑස් මිල ඉහළ දමන තුරු ගෑස් සඟවාගෙන සිටියාද යන්න සැකයට හේතු වේ.

මේ අතර ගෑස් මිල ඉහළ දැමීමත් සමඟ රජය තව අපූරු පුවතක් හෙළි කර තිබුණි. ඒ් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව නව සමාගමක් ආරම්භ කර ඒ හරහා LP ගෑස් නිෂ්පාදනය කර තරගකාරී මිල ගණන් යටතේ වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය සුදානමක් පවසතින බවටය.

මේ සඳහා බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාට බලය පැවරීමට 09 දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය වී ඇත.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනට ශ්‍රී ලංකාවේ එල්.පී. ගෑස් අවශ්‍යතාවයෙන් 5%ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර ලිට්රෝ ගෑස් සමාගමට සහ ලාෆ් ගෑස් සමාගමට එම නිෂ්පාදන සමව ලබා දෙනු ලැබේ. ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය ලෙසින් නව තෙල් පිරිපහදුවක් සපුගස්කන්ද ප්‍රදේශයේ ම ඉදිකිරීමට මේ වන විට මූලික කටයුතු බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති අතර එම තෙල් පිරිපහදුව ඉදිකිරීමෙන් අනතුරුව දේශීය ගෑස් අවශ්‍යතාවයෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමිවේ.

ඒ අනුව නව ගෑස් සමාගම ස්ථාපිත කිරීමෙන් අනතුරුව තරඟකාරී මිල ගණන් යටතේ වෙළඳපොළට එල්.පී. ගෑස් ලබාදීමට එම සමාගමට හැකියාව ලැබෙනු ඇති බව රජය කියා සිටියි.

කෙසේ නමුදු අවසානයේ තට්ටු වුයේ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින අහිංසක ජනතාවගේ තුට්ටු දෙකට බව නම් පැහැදිලිය.

ශානි

Social Sharing
නවතම විශේෂාංග