තමිලන් කතුවරයාගේ ආරක්ෂාව තහවුරු කරන්න – FMM පොලිස්පතිගෙන් ඉල්ලයි!

තමිලන් නම් දෙමළ පුවත්පතේ කර්තෘවරයා සොයා ආ පිරිස පිලිබඳ පරික්ෂණයක් සිදු කොට වහා හෙළිදරව් කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සීතා රංජනී මහත්මියගේ හා එහි ලේකම් ලසන්ත ද සිල්වා මහතාගේ අත්සනින් යුත්කව මෙම ලිපිය පොලිස්පති සි.ඩී.වික්‍රමරත්න මහතා වෙත යොමු කර ඇත.

තමිලන් (Thamilan) නම් දෙමළ මාධ්‍ය පුවත්පතේ කර්තෘවරයා වන ආර්. සිවරාජ්  පදිංචිව සිටින ගල්කිස්ස ප්‍රදේශයේ පෞද්ගලික නිවාස සංකීර්ණයට අගෝස්තු 12 අළුයම 2. 30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි හඳුන්වා දුන් සැක කටයුතු පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ ඇති බවට ඔහු විසින් මේ වන විට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ගේට්ටුව විවෘත කර තමන්ට කතුවරයා පදිංචි නිවාස ඒකකය වෙත යෑමට ඉ‌ඩ දෙන ලෙස එම පුද්ගලයන් දිගින් දිගටම ඉල්ලීම් කළ ද, නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියා විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බව සිවරාජ් මහතා කියා සිටියි.

මෙම සැක කටයුතු පුද්ගලයන් කවුරුන්ද, ඔවුන් කතුවරයා සොයා මෙවැනි අළුයම් කාලයක පැමිණියේ කුමක් නිසාද යන්න සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් කොට හෙළිදරව් කර, ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත්, කතුවරයාගේ ජීවිත  ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් වහා පිළියම් යොදන ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

ශානි

Social Sharing
නවතම