දිනකට කොවිඩ් මරණ 150 ක්?

තෙදිනක්ම එක දිගට මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 100 පන්නවා ගියහ. දිනෙන් දිනම මිය යන සංඛ්‍යාව වැඩි වෙනවා මිස අඩු වීමක් නැත.

සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය අනුව අවම වශයෙන් ටික දිනක්වත් රට වසන ලෙසටය. නමුත් ඊට පිලිතුරු වශයෙන් පහුගියදා කැබිනට් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර තිබුණේ නීති දැඩි කරනවා මිසක් රට වැසිමක් සිදු නොවන බවත් ඉතිරිය දෙවියන්ට භාර දෙන බවත්ය.

මේ වන විට ලංකාවේ සෑම පැයකටම වරක් මරණ 05 ක් වාර්තා වන තත්ත්වයට පත්ව ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසන්නේ ලංකාවේ ඇඳිරිනීතිය පැනවුවහොත් ඉදිරි දින කිහිපය තුල සිදුවිය හැකි මරණ වළක්වා ගත හැකි බවය.

සති දෙකක් තුළ ශ්‍රී ලංකාවේ දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 150 දක්වා ඉහළ යා හැකි බවට මහාචාර්යවරයා පසුගියදා අනතුරු ඇඟවීය. නමුත් තීරණ ගැනීමේදී දින 5 ක ප්‍රමාදයක්, අවම වශයෙන් 700 දෙනෙකුටවත් ජීවිත අහිමි කරනු ඇති බව මහාචාර්ය අගම්පොඩි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

රට තුළ වහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ඉදිරි දින 20 තුළ සිදුවන මරණ 1,200 ක් පමණ වළකාගත හැකි බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි පවසයි. මිනිස් ජීවිත බේරා ගැනීමේදී කඩිනම් තීන්දු තීරණ ගැනීම අතිශය තීරණාත්මක බව ඔහු පෙන්වා දෙයි.

ශානි

Social Sharing
නවතම