ඩෙල්ටා බෙදන ආණ්ඩුව…!

ඊයේ සමාජ මාධ්‍ය තුළ සෑහෙන්න සංසරණය වූ වීඩියෝවක් සහ අද උදෑසන සිට එම මාධ්‍යයේම දක්නට ලැබුණ ඡායා පෙළක් නිසා සිත සසල වුණා කීවොත් හරියටම හරි. පසුගිය කාලයේ කොවිඩ් අරඹයා අප ඉන්දියාවෙ දැක්ක ඒ බියකරු දසුන් මේ වීඩියෝව තුළ සහ ඡායාරූප තුළ තිබුණා. මෙවැනි ඡායාරූපයක් හරි වීඩියෝවක් හරි ගියාම ඒකේ හරිවැරැද්ද සොයන ආණ්ඩුවේ මාධ්‍ය කල්ලි මේ වෙලාවේ නිහඬයි. නිහඬතාවය කියන්නේ මේ වීඩියෝ සහ ඡායාරූපයන් සත්‍ය බව ද? ඉතිං  මේ පිළිබඳව සොයන්නට හිතුනා.

මුලින්ම කතා කළේ කළුබෝවිල රෝහල ගැන. ඒ මිතුරු වෛද්‍යවරයෙක් සමග. ‘ඔව් බන් ඒ පොටෝ ඇත්ත ඒවා. ඊයේ (4දා) කළුබෝවිල තත්ත්වය තමයි. ඒ විතරක් නෙවෙයි රෝගීන් බලහත්කාරයෙන් ඔක්සිජන් ගහගෙන තියෙනවා. තත්ත්වය ඒ තරමට දරුණුයි’ මේ වෛද්‍යවරයාගේ කතාවට පසුව හෙද නිළධාරියෙක් සමග කළුබෝවිල රෝහලේ වර්තමානය ගැන කතා කළා.

‘රෝහලට ඇතුල් කරන්න එන ලෙඩ්ඩුන්ගෙන් 50%කට විතර ඇන්ටිජන් පොසිටිව් වෙනවා. පහුගිය පළවෙනිදා ඉඳලා ඇන්ටිජන් කරන්නේ රෝග ලක්ෂන තිබුණොත් විතරයි. අයිසීයූ ඇඳන් අටම පිරිලා. එච්ඩීයූ ඇඳන් 20ක් තියෙනවා ඒකත් පිරිලා. කොවිඩ්වලට වෙන්කරපු වාට්ටු දෙකම පිරිලා. පිරිමි ඉන්න වාට්ටුවේ 100ක් විතර ඉන්නවා. 16, 17 වාට්ටු පිරිලා. ගර්භණීය අම්මලා පොඩි ළමයි කොවිඩ් ආසාදනය වෙලා ඉන්නවා. 15A වාට්ටුව එළියේ තමයි ඔය කට්ටිය ඉන්න පොටෝස් ගිහිං තිබුණේ. ඇන්ටිජන් කරලා ප්‍රතිපල එනකම් එතන තමයි රඳවන්නේ. ඉඩ නැහැ. එළියෙත් ඉන්නවා ඉතිං. සාමාන්‍යයෙන් වාට්ටුවක දාන්න පුලුවන් 28 ත් 30ත් අතර ගානක්. හැබැයි දැන් ඒක සීමාව අසීමාන්තිකව වැඩිවෙලා. අපි පිටට යවන්න ට්‍රයි කළත් පිටත් ඉඩ එන්න එන්නම ඉඩ අඩුවෙනවා. දැන් මේ තත්ත්වය උඩ කොවිඩ් කියලා වෙන්කරලා දාන්න විදිහක් නෑ. අනෙක් වාට්ටුවලටත් දැන් දාන්න වෙලා. එහෙම දාලත් දැන් ඉඩ නැහැ. රෝහලට එන රෝගීන්ගෙන් 50%කට වගේ කොවිඩ් ආසාදිතයි. රෝග ලක්ෂණ පෙන්වන අයගෙන් 80%කට විතර කොවිඩ්..’ මේ කතා අස්සේ පෙනෙන්නේ ඇඳන් හිඟකම ඔක්සිජන් නොමැතිකම විතරක් නෙවෙයි අපි රටක් විදිහට කොතරම් බයානක තැනක මේ වෙනවිට ඉන්නවාද කියන එක මේ චිත්‍රය පැහැදිලි කරනවා. හැබැයි අපි මේ චිත්‍රය හරියට දකිනවාද?.. කොවිඩ් වැඩිවීම ගුරු උද්ඝෝෂණයේ ප්‍රතිපලයක් බව ආණ්ඩුව කියනකොටම ආණ්ඩුවේ පටු කෝණී දැක්ම එළිය එනවා.  මේ ආණ්ඩුවට මේ බරපතළ තත්ත්වය ගැන තවමත් වගේ වගක් නැහැ. ආණ්ඩුව ධම්මික පැණියෙන් සයිනොෆාම් එන්නතට මාරුවෙන්නට  ගත්ත කාලය  අපව මරු තුරුලට තල්ලුකරලා ඉවරයි.. තත්ත්වය මෙහෙම වෙනකොට කළුබෝවිල රෝහල පවත්වාගෙන යන රත්මලානේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේද රෝගී ධාරිතාවය ඉක්මවා ගිහිං කියලා ආරංචි වෙනවා.. රැල්ලට ඇඳන් හදපු රාජපක්ෂ පුතාලා දැන් හාවක් හූවක් නැතිව බලන් ඉන්නවා. නැත්නම් ජෝසප් ස්ටාලින් කියන මුව හමට තලනවා. ඔවුන්ට ඡන්දය දුන් ජනතාව කොවිඩ් ආසාදිතව ගෙදර රෝහලේ ඔක්සිජන් නැතිව හුස්ම අල්ලාගෙන ඉන්නේ බොහොම ආයාසයෙන්. ඉතිං මේ පිංකෙත හෙළ රණ් දෙරණ ගැන තව මොනවා කියන්නද?

දැන් අපි රාගම රෝහල දෙසට හැරෙමු. රාගම වැඩ කරන හෙද නිළධාරියෙක්ට කතා කළාම ඔහුගේ හඬ තමයි මේ… ‘මෙහෙත් ඉතිං කළුබෝවිල වගේ තමයි වෙනසක් නෑ. ඕපීඩී එකට එන අයගෙන් 30%කට විතර කොවිඩ්. රෝග ලක්ෂණ පෙන්වන අයගෙන් 80%කට කොවිඩ් ආසාදනය වෙලා. දැනට 30, 26, 15, 16, 17 වාට්ටුවල කොවිඩ් රෝගීන් ඉන්නවා. 26 තමයි ඇතුල් කිරීමේ වාට්ටුව. එතන තදබදය හොඳටම වැඩියි. ළමා වාට්ටුවෙත් 10ක් විතර ඉන්නවා. එතන ළමයින්ට අමතරව ඔවුන්ගේ භාරකාරයනුත් ඉන්නවා.’ ඔහුගෙන් මේ සංසරණය වෙන වීඩියෝව ගැන ඇහුවාම ඔහු කියන්නේ එය සත්‍යක් කියලා.  ඒ වාට්ටුවේ පහසුකම්  වැඩිකරන්නට සහ පිරිසිදුකම වැඩිකරන්නට මේ වෙනකොට කාර්‍ය මණ්ඩලය කටයුතු කරන බව ඔහු පවසනවා.

මරණයට පත්වෙන අයගේ සිරුරු ජීවත්වෙන අය සමග එකට තැබීම ගැන ඇහුවාම ඔහු දුන්නේ මේ වගේ පිළිතුරක්.. ‘ලෙඩෙක් මැරුණාම ඔහු ඒ වාට්ටුවෙන් අයින් කරන ක්‍රමයක් තියෙනවා, ඒකට ඉතිං යම් කාලයක් ගතවෙනවා..’ මෙම රෝහල් දෙකට අමතරව දිවයින පුරා ප්‍රධාන රෝහල් බොහෝමයක තත්ත්වය මේක බව ආරංචි පැතිරෙමින් තිබෙනවා. රාගම රෝහල සීදුවේ පවත්වාගෙන යන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේද මේ වෙනකොට ඉඩකඩ අහවරයි.

රෝහල්වල පිරෙන රෝගීන් ගණන වැඩිවීමට සාපේක්ෂව ජීවිතය අල්ලාගෙන සිටීමට ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමානයද එන්න එන්නම ඉහළ යමින් තමයි තියෙන්නේ. මේක තමයි බරපතළ තත්ත්වය. අපි ඩෙල්ටා ප්‍රබේදය ගැන කයි ගැහුවට දොස්තරලා කියන්නෙත් මේක ගැන තවම හරිහැටි මොකුත් දන්නේ නෑ කියලා. ඒ සමගම ඔවුන් කියනවා අනෙක් ප්‍රබේදවලට වඩා මේ ප්‍රබේදය ආසාදනය වුණාම රෝග ලක්ෂන පෙන්වීම වැඩියි කියලා. ඒ වගේම මේක ආසාදනය වුණාම ගොඩක් අයට ජීවිතය රැකගන්න ඔක්සිජන් දෙන්න වෙනවා. ඉතිං අපි ඔක්සිජන් අවැසි හැවෝටම ඔක්සිජන් සහ ඇඳක් දෙන්න සූදානම් ද රටක් විදිහට. ඇඳන් රැලි හදපු අයට මොළ කළදක්වත් තිබුණානම් ධම්මික පැණිය පස්සේ යන කාලයේ ෆයිසර් වගේ ලෝකය පිළිගත් එන්නත් මාත්‍රාවක්  තමන්ගේ ජනයාට දෙන්න.. අද මේවගේ බිහිසුණු තත්ත්වයක් උදාවෙන්නේ නෑ. අනික තමයි නිවැරදි තොරතුරු ජනතාවගෙන් සැඟවීම. එහෙම හංගන්නේ නැතුව ඇත්ත ඇතිසැටියෙන් එළියට දැම්මානම් මිනිස්සු බයට හරි මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න පොඩි හරි උත්සාහයක් දරයි. ඒත් අපිට ඉන්නේ කනාමුට්ටිය සෙල්ලම් කරන පාලකයෙක් සහ ඔහුට විසිල් ගහලා පාර කියන මැති ඇමතිලා ටිකක් විතරයි.

-කේ. සංජීව-

Social Sharing
නවතම විශේෂාංග